(යොහාන් භාසුර)

නිරෝධායන ඇඳිනීතිය පැනවීමත් සමඟ එළවළු මිල ඉහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ ප්‍රකාශ කරති.

එළවළු සිල්ලර වෙළෙදාමේ නිතරවන්නන් පවසන්නේ කොළඹ එළවළු වෙළෙඳපොලේ තොග මිල ඉහළ යෑම නිසා එළවළු මිල ඉහළ ගොස් ඇති බවයි.

බෝංචි කිලෝවක තොග මිල රුපියල් 240ක් වන අතර බෝංචි කිලෝවක් සිල්ලර වෙළෙන්දන් රුපියල් 280ත් 290ත් අතර මිලකට අළෙවි කරයි. තොග මිල රුපියල් 140ක් වන කැරට් කිලෝවක් වෙළෙදපොලේ රුපියල් 200කට අළෙවි වේ.

මිල ඉහළම ඇති එළවළු වර්ගය බවට ලීක්ස් පත්ව ඇති අතර ලීක්ස් කිලෝවක මිල රුපියල් 320ක් බවට පත්ව තිබේ.

වට්බොටු සහ ගෝවාකිලෝවක මිල ද රුපියල් 250 කට ආසන්නව තිබූ අතර වට්ටාකා, පතෝල, බීට්රූට් සහ වැටකොළු යන එළවළු වර්ග හතරේ කිලෝවක මිල රුපියල් 200 ට අඩුවෙන් පැවතුණි.

‘කොරෝනා’ වසංගතයත් සමඟ ප්‍රතිශක්තිකරණ ඖෂධයක් ලෙස ද භාවිතා කරන ‘අමු ඉඟුරු’ කිලෝවක තොග මිල රුපියල් 650 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර සිල්ලර වෙළෙදපොලේ ‘අමු ඉඟුරු’ ග්‍රෑම් 100 ක් රුපියල් 80 ත් 90 ත් අතර මිලකට අළෙවි වේ.