(නිමල කොඩිතුවක්කු)
කැබිනට් අනුමැතිය හිමිව ඇති අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශණ කොමිෂන් සභා සංශෝධිත පනත් කෙටුම්පත සම්මත කරගැනීමට වහාම පියවර ගන්නා ලෙසට ජනාධිපතිවරයා කතානායකවරයා වෙත ලිපියක් මගින් දැනුම් දීමට නියමිත බව ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය ප‍්‍රකාශක මහින්ද සමරසිංහ මහතා කොළඹදී පැවසීය.
මහබැංකු වංචාවේ මුදල් අයකර ගැනීම සඳහා එම පනත් කෙටුම්පත සම්මත නොවීම බාධාවක් වී ඇති බව පෙන්වා දුන් ඒ මහතා කඩිනමින් පනත සංශෝධනය කර එම බලය අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශණ කොමිෂන් සභාව වෙත ලබා දිය යුතු බවද සඳහන් කළේය.
කොළඹ ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ අද (09) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.
එම සංශෝධිත පනත් කෙටුම්පතට කැබිනට් අනුමැතිය හිමිව බොහෝ කාලයක් ගතවී තිබුණද පාර්ලිමේන්තුවේ එය සම්මත නොවීම සම්බන්ධයෙන් අවධානය යොමු කර ජනාධිපතිවරයා එම පියවර ගෙන ඇතැයිද සමරසිංහ මහතා කියා සිටියේය.
මහබැංකු වංචාවේ වැරදිකරුවන්ට දඩුවම් දී එම මුදල් යළි අය කරගැනීම සඳහා පාර්ලිමේන්තුවේ සියලු දෙනාගේම සහාය ජනාධිපතිවරයා අපේක්ෂා කරන බවද මහින්ද සමරසිංහ මහතා එහිදී වැඩිදුරටත් පැවැසීය.
COMMENTS
මහබැංකු හොරුන්ට දඬුවම් දීම අනිවාර්යයෙන්ම සිදුවිය යුතුයි. එ්ත් ඊට කලින් සිද්දවෙච්ච හොරකම් සම්බන්ධ ෆයිල් ගල් කරගෙන ඉන්න එක ගැන මොකද... එතුමා මොකක්ද ජනතාවට දෙන උත්තරේ?
මෙයාගේ කතා හොඳයි කොන්ඩේ බැඳපු චීන්නුන්ට - කොහොමත් මහබැංකු හොරු ටික අල්ලාගෙන ඒ මිනිස්සුන්ගේ ගිණුම් තහනම් කරලා නඩු දාලානේ තියෙන්නේ.. නමුත් විමර්ශනය කරලා නීතිපති ළඟට යවලා තියන ෆයිල් වල ඉන්න හොරුන්ටයි, ජනාධිපතිතුමා ළඟ තියෙනවාය කියන පයිල් වල ඉන්න හොරුන්ටයි විරුද්ධව ක්‍රියාත්මක නොවෙන්නේ මොකද?
අවංක දුප්පත් පුරවැසියන් වන අපට ශ්‍රී ලංකාවේ මුල් පුරවැසියාගෙන් මෙසේ ඇසීමට කැමැත්තෙමු. "අල්ලස් හෝ දූෂණ චෝදනා, විමර්ශණ කොමිෂන් සභා සංශෝධිත පනත් කෙටුම්පත සම්මතකර ගැනීමට " ඉල්ලීමක් කරන්නේ කුමක් අරභයාද? එමගින් ගම්‍යවන්නේ 225ක් වූ මහජන නියෝජිතයන්ගෙන් 224 ක්ම (ඔබහැර) තක්කඩි හොරුන් යන්න නොවේද? මෙවන් පනත් මීට දශක කීපයකට පෙර රටේ සම්මත විය යුතු පනත් නොවේද? රටේ දෙවැනි පුරවැසියා කවටයා යයි නිතරම සිතූ අපට මුල් පුරවැසියා ගැනත් එසේ සිතීම නිවැරදිද මන්දා?
මහ බැංකු බැඳුම්කර ප්‍රෝඩාවට වඩා සිය ගුණයක් විශාල ග්‍රීක බැඳුම්කරය ගැන හොයනවා කිව්ව ඒවා දැන් මතක නැතුව ඇති නේද?
ජනාධිපති, අගමැති, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඇතුළු සියලුම දේශපාලකයින් (පළාත් සභා/ ප්‍රාදේශීය සභා ඇතුළුව) ගැන රටේ ජනතාවගේ ප්‍රසාදය ගැන අමුතුවෙන් කිව යුතු නොවේ. තම තමන්ගේ පැවැත්ම ගැන පමණක්ම වග කියන ඉතා ජරාජීර්ණ වූ දේශපාලනයක් නින්දා සහගත ලෙස අප රටේ ජනිත කර ඉවරයි. එය දැන් ඔවුන්ගේ දුවා දරුවන්ද වාසගම මෙන් ඉදිරියට ගෙනියන බව සැවොම දන්නා පැහැදිලි සත්‍යයක්... කණගාටුවට ඇති කරුණ නම් මේ වෙනුවෙන් විකල්පයක් කිසිම විටක කිසිම දේශපාලකයෙක්වත් ගෙන නැති බව නොවේද? හැමදේටම එහෙයි කියන වහල් මානසිකත්වයක් ඇති පරගැති පුද්ගලයන් හා බැඳුණු මේ දේශපාලනය අපි හෝ අපේ මින්මතු පරම්පරාව මියෙන තුරාවට නොමියෙන බවත් අප සිහියේ තබා ගත යුතුයි. හරකා පසුපස යන ගැල මෙන් මොවුන්ද මේ ලේ උරාබොන කුඩැල්ලන් සමගම ඉවක් බවක් නැතුව යයි. එනිසා ඉතා වටිනා දේශපාලන තීන්දු තීරණ කිසිම විටෙක මේ පුද්ගලයන්ගෙන් අපට බලාපොරොත්තු විය නොහැක. කෙතරම් වටිනා ජීවිත අකාලයේ මිය යනවද? මොවුන්ගේ සුඛ විහරණය පතා...
මේකේ දාලා තියෙන සමහර අදහස් දැක්කාම තේරෙනවා ලංකාව දියුණු නොවන්නත්, හොරු පාර්ලිමේන්තු යන්නත් හේතුව මොකක්ද කියලා. මේකේ ජනාධිපති කියන්නේ අල්ලස් හෝ දූෂණ කොමිසමට බලතල දෙන්න කියලනේ .. එතකොට මහබැංකු වංචාව විතරක් නෙමෙයි අනෙත් ඔක්කොම හොරකම් වලට දඬුවම් දෙන්න පුළුවන්... අැයි එ්ක සම්මත නොකර තියෙන්නේ? කාගේ වුවමනාවකටද..? මහජනතාව මේවා සම්මත කරන එක ගැන උනන්දු වෙන්න ඕනේ. මේක හොඳ ක්‍රියාවක්. ලංකාවේ දූෂිත ඡන්ද දායකයෝ.. උද්ඝෝෂණ කරන්න ඕනේ මේවගේ පනත් සම්මත කරගන්න මිසක් දෙපැත්තේම ඉන්න හොරු රැකගන්න නෙමෙයි.
පාර්ලිමේන්තුවේ අයට විතරද තවම නීති නැත්තෙ දඩුවම් දෙන්න රජයේ සේවකයෙක් අහිංසක මිනිහෙක් රුපියල් සීයක් දෙසීයක් හොරකම් කරත් ඒවාට නීති තියෙනවා.
ජනාධිපතිතුමාටත් දූෂණ චොදනා එල්ලවෙනවා. එතකොට එතුමා ඒවා පෙන්වාදෙන මාධ්‍යයට තහංචි දානවා. ෆෝබස් සගරාව හෙළිකලා.. මෙතුමා ලංකාවේ දෙවැනි ධනවත් දේශපාලකයා බව. එතුමා නැහැ කිව්වෙත් නැහැ. ගොවියාගේ පුතෙක් මෙතරම් ධනවත් වුනේ කොහොමද කිව්වෙත් නැහැ. මෙතුමලා කවුරුත් එකයි... නැද්ද?
දුෂණ මන්තර ජප කිරීමෙන් සිදුවන්නේ තවත් ඔබගේ නොහැකියාව ප්‍රදර්ශන වීම. දැන්වත් මෙය නවත්වා ඒවාට සම්බන්ද අයට විරුද්ධව පියවර ගන්න. මන්ද ඔබ රටේ නායක වශයෙන් රටේ නීතිය පවත්වාගෙන යාමට ඔබට සියලු බලතල පවතී. ඕනෑම රටක දුෂණ සිදුවෙනවා මෙන්ම සිදුවිය හැක. ප්‍රශ්නය වන්නේ ඒවාට විරුද්දව ක්‍රියා නොකරනවානම්. ඔබ කොමිෂන් පත්කළ. සමහර ඒවාට පමණක් නඩු දැම්මා. සියලු දෙනාට එක ලෙස ක්‍රියාකිරීම වැදගත්.