(ඩයනා උදයංගනී)

මේ වන විට අතරමග නැවතී ඇති ‘අමරදේව අසපුවේ’ ඉදිකිරීම් කඩිනමින් අවසන් පියවර ගන්නා බවත්, ඒ සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයාගේ අවධානය යොමු කිරීමට බලාපොරොත්තු වන බවත්, කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය.

ජාතියේ මහා ගාන්ධර්වයා වූ පණ්ඩිත් අමරදේවයන්ගේ භස්මාවශේෂ මේ මොහොත වන විටත් ජයරත්න මල්ශාලාවේ තිබෙන බව දැනගත් විට තමාට දැඩි කම්පනයදක් දැණුන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

මෙහි කොතනක හෝ අඩුපාඩුවක් වරදක් වී තිබෙන බව කී ඇමතිවරයා වරදක් ඇති බව තේරුම් ගෙන එය කඩිනමින් අවසන් කිරීමට කටයුතු කරන බව ද කීවේය.

කටයුතු ආරම්භ වී ඇත්තේ ජනමාධ්‍ය අමාත්‍යාංශය යටතේ වුවත් මීට මාස හය හතකට පෙර එය සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයට පැවරී ඇතැයි කී ඇමතිවරයා ඒ අනුව එයට අදාළ ලිපිගොණු සියල්ල මේ වන විට සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව ලබාගෙන ඇතැයි තමාට අමාත්‍යාංශ ලේකම්වරයා දැනුම් දුන් බව ද පැවසීය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ අමරදේව අසපුවේ ඉදිකිරීම් අතරමග නැවතී ඇති බවට ‘ලංකාදීප’ පුවත්පත හා වෙබ් අඩවිය වාර්තා කර ඇති ප්‍රවෘත්තිය සම්බන්ධයෙන් කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියකු නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.

කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (22) පැවැත්විණි.

'ලංකාදීප' මේ ගැන කර ඇති අනාවරණය සම්බන්ධයෙන් ස්තුතිවන්ත වන බව කී ඇමතිවරයා අමරදේවයන් යනු තවත් එක් කලාකරුවෙක් පමණක් නොව ජාතික වස්තුවක් යැයි ද පැවසීය.

ඒ නිසා මෙය තමාගේත් වගකීමක් ලෙස සලකා අවංකවම කණගාටු වන බවත්, ඒ කම්පනය සමාජය සමඟ බෙදාගනිමින් හැකි ඉක්මනින් ගත යුතු පියවර ගන්නා බවත් ඇමතිවරයා කීවේය.