(ලක්ෂ්මී ජයකොඩි)

අම්පාර දමන ප්‍රදේශයේ වරලන්දා ගම්මානයේ මවක සහ  පුතෙකු අද ( 01) කපා කොටා ඝාතනය කර ඇති බව පොලිසිය කියයි.
 
ඝාතනය කර තිබුණේ දමන වරලන්දා ගම්මානයේ පදිංචිව සිටි 33 හැවිරිදි බි. ජී දිනේෂිකා හා 13 හැවිරිදි එස්. ඒ ශ්‍රීමාල් නැමැති ඇයගේ පුතුවය.
 
සිද්ධිය වු ස්ථානයේ තිබී මෙම ඝාතනයට යොදා ගන්නට ඇතැයි සැක කළ හැකි ආයුධයක් සොයා ගෙන තිබේ.
 
මිය කාන්තාවගේ සැමියා හමුදා සෙබළෙකු වන අතර ඔහු යුද්ධයෙන් මිය ගොස් ඇති අතර මෙම කාන්තාව සිය දරුවා සමඟ නිවසේ තනිව ජීවත්ව ඇති බවද පොලිසිය කියයි.
 
කෙසේ වෙතත් පොලිස් විමර්ශනවලදි හෙළිවී ඇත්තේ මෙම නිවසට පිටස්තර පුද්ගලයෙකු පැමිණ එම කාන්තාව හා ජීවත් වී ඇති බවත් මෙම ඝාතනය වු දිනයේ  එම පුද්ගලයා නිවසට පැමිණ මත්පැන් පානය කර ඇති බවත්ය.තවද සිද්ධිය වු දිනයේදි එම පුද්ගලයා මිය ගිය කාන්තාවගේ මවට දුරකථනයෙන් බැණ වැදී ඇත. පසුව ඇය තම දියණියට දිගින් දිගටම දුරකථන ඇමතුම් ලබාදුන්නත් ඇය දුරකථන ඇමතුම් වලට ප්‍රතිචාර දක්වා නැත.
 
සිද්ධියෙන් පසු දින මිය ගිය දරුවා පාසල් නොයෑම පිළිබඳව සොයා බැලීමට අසල්වැසි  කාන්තාවක් එම නිවෙසට පැමිණෙනවිට  මිය ගිය කාන්තාව හා ඇයගේ පුතා ලේ විලක් මැද වැටී සිටිනවා දැක තිබේ.අසල්වාසීන් විසින් දමන පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව පොලිසිය පැමිණි මෙම සිදුවීම පිළිබඳව පරික්ෂණ ආරම්භ කර ඇත.
 
සිද්ධිය සම්බන්ධයෙන් සැකකෙරෙන මෙම නිවෙසට පැමිණෙන බව කියන තිස්සමාරාම ප්‍රදේශයේ පදිංචි බව කියන පුද්ගලයා ප්‍රදේශයෙන් පලා ගොස් ඇති බව පොලිසිය කියයි.