(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )

කැබිනට් අමාත්‍යාංශ ලේකම්වරුන් තිදෙනකු  සහ රාජ්‍ය අමාත්‍යාංශ  ලේකම්වරුන්  සිවු දෙනෙකු  පත්කිරීමට  පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ  අනුමැතිය හිමිවූ බව පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා පැවැසීය .

උසස් නිලතල පිළිබඳ කාරක සභාව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී  ඉකුත්  (07) වැනිදා රැස්විය.

එම ලේකම්වරුන් කැඳවා ඔවුන්ගේ සුදුසුකම් පරීක්ෂා කිරීමෙන් පසු මෙලෙස අනුමැතිය ලබාදී  ඇත

උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමැතිය මෙසේ ලැබී ඇත්තේ  මුදල් අමාත්‍යංශයේ ලේකම් එස්.ආර්. ආටිගල, බුද්ධ ශාසන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය ජි. එච්. කේ. කේ. ගුණවර්ධන,කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජනරාල්දයා රත්නායක  යන මහත්වරුන්ටය.

මෙයට අමතරව අමතරව ප්‍රාථමික සෞඛ්‍ය සේවා වසංගත රෝග සහ කෝවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් සුනෙත්‍රා ගුණවර්ධන මහත්මියටද , විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළෙඳපොළ  විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් එස්. අරුමෙයිනායගම් මහතාටද, සමුපකාර සේවා අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් කේ. ඩී. එස්. රුවන්චන්ද්‍ර මහතාටද, පොල්, කිතුල්, හා තල් වගා ප්‍රවර්ධනය හා ආශ්‍රිත කාර්මික භාණ්ඩ නිෂ්පාදනය සහ අපනයන විවිධාංගකරණ රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස තිස්ස හේවාවිතාරණ මහතාටද අනුමැතිය හිමි වූ බව,පාර්ලිමේන්තු  මහලේකම්වරයා  ප්‍රකාශ කළේය .

මෙම උසස් නිලතල පිළිබඳ කාරක සභා රැස්වීමට  අමාත්‍යවරුන්වන නිමල් සිරිපාල ද සිල්වා, ඩග්ලස් දේවානන්ද, උදය ගම්මන්පිල රාජ්‍ය අමාත්‍යවරුනවන  විදුර වික්‍රමනායක සහ  විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ යනමහත්ම මහත්මීහු ද  සහභාගි වූහ.