(ප්‍රියාණි මංගලිකා)

මිනීමැරුමකට සහ අපරාධ රැසකට සම්බන්ධ වරෙන්තුකරුවෙකු වෙනත් නමකින් අඹන්පොල ප්‍රදේශයේ  කාන්තාවකගේ නිවසේ සැඟවී සිටියදී , ව්‍යාජ රියදුරු බලපත්‍රයක්ද සමග අත්අඩංගුවට ගත් බව නිකවැරටිය කොට්ඨාශ පොලිස් විශේෂ කාර්යාංශය අද (27) පැවසීය.

ව්‍යාජ නමකින් පෙනී සිටි සැකකරු වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි 32 වියැති දෙදරු පියෙකු වන බවද, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන් සහ පස්සර මහේස්ත්‍රාත් අධිකරණයෙන් මෙම සැකකරුට වරෙන්තු රැසක් නිකුත් කර ඇති බවද පරීක්ෂණවලදී අනාවරණය වූ බවද පොලිසිය සඳහන් කළේය.
                          
2017 වසරේදී තියුණු ආයුධයකින් කපා කොටා තරුණයෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතව සිට ඇප ලබා පැමිණ ඉන්පසු කිසිඳු නඩුවක් වෙනුවෙන් අධිකරණයට පෙනී නොසිටීමෙන් සැකකරුට මෙලෙස වරෙන්තු නිකුත් කර ඇති බවද පොලිසිය සඳහන් කළේය.

පොලිස් විශේෂ කාර්යාංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ඊ.එම්. වසන්ත ඒකනායක මහතාට ලැබුණු තොරතුරුකට අනුව, නිලධාරීන් විසින් වැටලීම සිදුකර වරෙන්තුකරු අත්අඩංගුවට ගෙන ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් අඹන්පොල පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.