(හර්ෂණ තුෂාර සිල්වා)
මහරගම අපේක්ෂා රෝහලට පිළිකා සඳහා ප්‍රතිකාර කෙරෙන යන්ත්‍ර දෙකක් මිලදී ගැනීම සඳහා සෞඛ්‍ය පෝෂණ සහ දේශීය වෛද්‍ය අමාත්‍යාංශය සහ ‘ෆයිට් කැන්සර් සමාගම’ අතර අවබෝධතා ගිවිසුමකට අද (1) අත්සන් තැබුවේය.
සෞඛ්‍ය පෝෂණ සහ දේශීය වෛද්‍ය අමාත්‍යාංශය වෙනුවෙන් අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා එම ගිවිසුමට අත්සන් තැබූ අතර ‘ෆයිට් කැන්සර් සමාගම’ වෙනුවෙන් එහි සභාපති දේශමාන්‍ය එම්. එස්. එච් මොහමඞ් මහතා එම ගිවිසුමට අත්සන් තැබීය.
මහරගම අපේක්ෂා රෝහලට පිළිකා සඳහා ප්‍රතිකාර කිරීමට යොදාගන්නා ටොමෝතෙරපි සහ ලීනියර් ඇක්සලරේටර් යන යන්ත්‍ර මිලදී ගැනීම සඳහා එම අවබෝධතා ගිවිසුමට අත්සන් තැබිණි. මෙම අවබෝධතා ගිවිසුම යටතේ එම යන්ත්‍ර දෙක මිලදී ගැනීම සඳහා අරමුදලක් ස්ථාපිත කිරීමට නියමිතය.
‘ෆයිට් කැන්සර් සමාගම’ යනු දේශමාන්‍ය එම්.එස්.එච් මොහමඞ් මහතා ආරම්භ කරන ලද අරමුදලකි. මොහමඞ් මහතා ‘ෆයිට් කැන්සර් ට්‍රස්ට් (ගැරන්ටි) ලිමිටඞ් සමාගම ආරම්භ කරන ලද්දේ සිය පුතුගේ අභාවයෙන් පසුවය. මොහමඞ් මහතාගේ එකම දරුවා වූ ඔහුගේ පුතා පිළිකා රෝගයේ පීඩා විඳිමින් සිට මරණය වැළැඳ ගත්තේය. සිය පුතුගේ ඉල්ලීම පරිදි මහරගම අපේක්ෂා රෝහලට පෙට් ස්කෑනර් යන්ත්‍රයක් මිලදී ගැනීම සඳහා මොහොමඞ් මහතා ෆයිට් කැන්සර්’ අරමුදල ස්ථාපිත කළේය.
සෞඛ්‍ය පෝෂණ සහ දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය ෆයිසාල් කාසිම්, එම අමාත්‍යාංශයේ ලේකම් නිමල් බාලසූරිය, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ, මහරගම අපේක්ෂා රෝහලේ අධ්‍යක්ෂ වසන්ත දිසානායක, ෆයිට් කැන්සර් කණ්ඩායමේ උප සභාපතිවරුන් වන රුක්මන් වීරරත්න, අනිල් සතාස් යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්වූහ.
ඡායාරූප - රොමේෂ් ධනුෂ්ක සිල්වා



COMMENTS
මොහමඩ් මහතාගේ උතුම් සත්කාර්යයට මේ සටහන උපහාරයක් වේවා.
දේශමාන්‍ය එම්.එස්.එච් මොහමඞ් මැතිතුමනි ඔබට ඔබ අදහන ආගම අනුව අල්ලා දෙවියන්ගේ පිහිට ලැබේවා ! එහෙත් දිගින් දිගටම මෙවැනි කටයුතු කිරීමෙන් ඇමැතිවරුනට ලැබෙන කොමිස් මුදල ලැබීම අහිමිවීමේ කෝපය ඔබට "අනුකම්පාව භූමිකම්පාවක්" ලෙස පැමිණිය හැක. මේවා කඩාකප්පල් කිරීමට, අසාර්ථක කිරීමට ගන්නා උත්සාහයන් ඉදිරියේදී එන බව දැනුවත්ව සිටින්න. අපේ ආගම අනුව ඔබතුමාට බුදු සරණයි !
ඉතාමත් ඉහලින් අගය කල යුතු සමාජ සත්කාරයක්, පින් ගොඩක් ලැබෙන වැඩක් . මෙවැනි පුත්ගලයන් සමාජයේ අගය කිරීමට ලක්විය යුතුවේ .
මහරගම අපේක්ෂා රෝහලට අත්‍යවශ්‍යම MRI scan යන්ත්‍රයක් ලබා දීමට ඇමතිතුමා අතපසු කරන්නේ ඇයි ?
පාසල් මට්ටමින් දරැවන් දැනුවත් කර සතියක් "කැන්සර් සතිය "යනුවෙන් නම්කර දරුවන් දවසක වියදම් කරන තේ පානය වෙනුවෙන් වෙන්කරන රැපියල් 50 එකතු කරන වැඩසටහනක් පාසල් මට්ටමින් දියත් කරීම. මේ සදහා වැඩ පිලිවෙලක් මම ඇතුළු පිරිසක් සුදානම් කරමින් සිටිනවා.
පාර්ලිමේන්තුවේ ලිෆ්ට් නන් ක්ෂනිකව ගත්තා මේවට තමා තටම තටම ඉන්නේ !
Mangalika කවුද ඔයා? අහිංසක පාසල් දරුවන්ගෙන් හිඟා කාලා ගානක් පර්ස් එකට දමා ගන්නද ඔයා මේ දඟලන්නේ? ඔය වගේ සුන්දර වචන එලියට දමලා, ගානක් කඩා ගන්න හොර තක්කඩි තමයි ලංකාව පුරාම ඉන්නේ? රජයේ රෝහල් වලට මෙවැනි යන්ත්‍ර දුන්නාම වෙන්නේ, පෞද්ගලික රෝහල් වලට ආදායම අඩු වෙනවා. ඕක ටික දවසකින් කැඩුනා කියලා පැත්තකට විසිකර දමන්න ඔය සිටින අය පසුබට වන්නේ නැහැ. ඔය යන්ත්‍ර මිලදී ගැනීමේදී මුදල් අක්‍රමික තාවයක් සිදුවෙන බව කියමින්, මෝඩ ජනතාව නොමග යවමින් වෛද්‍ය සංගමයේ දොස්තරලා වැඩ වර්ජනයක් කරන්න දැනටමත් සැලසුම් කරලා ඇති?
මංගලිකා ඔයා මොකටද අහිංසක දරුවන්ගේ තේ පානයට පික් පොකෙට් ගහන්න හදන්නේ, කියන්නකෝ මැති ඇමති ගොල්ලට එයාල හොරට විකුණන ඩියුටි ෆ්‍රී වාහන බලපත්‍රය ඕකට දෙන්න කියලා.
අනේ, මංගලිකා ඇයි මේ ඔයා ඇදගෙනම නාගන්නේ? G M O A ඔයාට මේ දිරච්ච ලනුව දුන්නේ?
බොහොම දුෂ්කර පලාතක දරුවෙකුගේ ජීවිතයක් බේරගන්න ඒ පැත්තෙ පාසල් කීපයක දරුවො එකතු උනා මේ ආකාරයට අප සමග. එදා ඒ දරුවා ඒ උතුම් සත්කාරයට එයාලව එකතු කරගත්තා කියලා ඇස් වල කදුළු පුරවගෙන ස්තුති කලා. දෙමාපියනුත් පින් දුන්නා. ඒ වගේම මමත් පිලිකාවෙන් දුක් විදපු අම්මා කෙනෙක්. මගෙ දරුවො දැන් ලැබෙන හැම මොහොතකම ආධාර කරන්න පුරුදු වෙලා ඒ තවත් එක අම්මා කෙනෙක් රැකගන්න චේතනාවෙන්. ඒ අත්දැකීමයි මම ගෙනාවෙ. සමාවෙන්න මට වැරදි අදහසක් ගෙනාවනම්..දරුවන්ව මේ සත්කාරයට පුංචිවට හෝ දායක කරගන්නවට මම හිතුවා අපේ දෙමාපියන් කැමති වෙයි කියලා..