(නිමල කොඩිතුවක්කු)

යෝජිත කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල පනත සම්බන්ධයෙන් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ නියෝජිතයන් සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර සාකච්ඡාවක් කොළඹදී පැවැත්විණි.

නිදහස් අධ්‍යාපනය සුරක්ෂිත කිරීම සිය පක්ෂයේ තිරසාර ප්‍රතිපත්තිය බවත්, එය සුරක්ෂිත කිරීම වෙනුවෙන් කැපවන බවත් විපක්ෂ නායකවරයා එහිදී සඳහන් කළේය.

කොළඹ මාක්ස් ප්‍රනාන්දු මාවතේ පිහිටි විපක්ෂනායක කාර්යාලයේ පැවති මෙම සාකච්ඡාවේදී යෝජිත කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල පනත සහ එයින් සිදුවන අනතුර පිළිබඳව මෙන්ම ඒ පිළිබඳව සමගි ජනබලවේගයේ ස්ථාවරය ද  සාකච්ඡාවට ගැනිණ.

නිදහස් අධ්‍යාපනය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් තම පක්ෂය අඛණ්ඩව සටන් කරන බවත් විපක්ෂ නායක වරයා එහිදී සඳහන් කළේය.

නිදහස් අධ්‍යාපනයට හානි නොවන යම් යම් ප්‍රතිසංස්කරණ සමග අධ්‍යාපනය ඉදිරියට ගෙන යෑමට  අදහස් කරන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

මෙම අවස්ථාව සඳහා හිටපු සෞඛ්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න, පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණී කවිරත්න, විශ්ව විද්‍යාල ආචාර්යවරුන්, අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ නියෝජිතයන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.