IMG-LOGO

2024 පෙබරවාරි මස 21 වන බදාදා


යථාර්ථයට බුද්ධියෙන් මූණදීම


සබරගමුව විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මහින්ද පතිරණ

දේශපාලනික අර්ථයෙන් ගතහොත් කොරෝනා යනු පක්ෂ විපක්ෂ දෙපිරිසටම බලපාන කරුණකි. අප මේ රටේ දේශපාලන ප්‍රවාහයකට අයත් නම් ඒ දේශපාලන ප්‍රවාහය පවා රඳා පවතින්නේ අප වසංගත තත්ත්වයට දක්වන ප්‍රතිචාරය මතය. අපට දේශපාලනය කිරීමට පවා නීරෝගී පරිසරයක් නිර්මාණය වන්නේ ඒ අනුවය. අපට අපගේ දේශපාලන දෘෂ්ටි මතිමතාන්තර ප්‍රවර්ධනයට පවා ඉඩක් ලැබෙනු ඇත්තේ මෙම කොන්දේසිය සැපිරීම මතය. ජනාධිපතිවරයා ජාතිය අමතා කළ කතාවේ දී හරයාත්මක වර නැගුවේ මෙම කරුණයි. සරලව කිවහොත් ජාතියක් හැටියට සිතන්න යන්නයි. ජාතික ව්‍යසනකාරී අවස්ථාවක දී කවර රටකට වුවත් සිල්ලර දේශපාලනය ගැළපෙන්නේ නැත. එහිදී ප්‍රධාන වශයෙන්ම අපගේ අවධානය යොමුවිය යුත්තේ වසංගතය අතරේම ආර්ථිකය පවත්වා ගැනීම ගැනය.

දේශපාලනික වශයෙන් සමාජය දැනුවත් කිරීම එහිදී දෙවැනියට වැදගත්ය. මන්දයත් රටක වසංගත තත්ත්වයක් යනු හුදු සෞඛ්‍යමය ප්‍රශ්නයක් පමණක් නොවන සමාජීය ප්‍රශ්නයක් ද වන බැවිනි.

ජනාධිපතිවරයා තම කතාවේ දී අවධාරණය කළ ‘කැපකිරීම’ නමැති කරුණ ගැන විවිධ අර්ථකතන ලැබෙමින් තිබේ. කෙසේවෙතත් මා සිතන අයුරින් ජනාධිපතිවරයා මෙහිදී ඉන් අදහස් කළේ ආර්ථිකය ගැනයි.

අද වනවිට මෙරට ආර්ථිකය තිබෙන්නේ අභියෝගාත්මක තැනක බව අපි සියලුම දෙනාම දනිමු. අද අප සිටින්නේ වාර්ෂිකව ඩොලර් බිලියන පහක පමණ උපැයීම් ගෙන ආ සංචාරක කර්මාන්තය අපට මුළුමනින්ම අහිමි වූ තත්ත්වයකය. එමෙන්ම එබඳුම විදෙස් මූල්‍ය මූලාශ්‍රයක් වූ විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමයෙන් ලැබුණු ආදායම ද තිබෙන්නේ අඩපණවීය. මීට සමාන්තරව වසංගතය සමග දේශීය ව්‍යාපාර කඩා වැටීම තුළ රජයේ බදු ආදායම තිබෙන්නේ ද කඩා වැටුණු තත්ත්වයකය. ඇතැම් ව්‍යාපාරවලට සිය ශ්‍රම බලය පවත්වා ගැනීමට පවා සිදුව තිබෙන්නේ රජයෙන් දෙන ණයාධාර මත යැපෙමිනි. මෙසේ රටේ ආදායම් පක්ෂය බිඳ වැටුණ ද උත්ප්‍රාසජනක ලෙස වියදම් පක්ෂය ඒ ආකාරයෙන්ම පවතී.

මෙහි අර්ථය ඉපැයීම් නැති තත්ත්වයක දී පවා සමාජයක් හැටියට අප අපේක්ෂා අඩුකරගෙන නැති බවය. නව සාමාන්‍යකරණය යන වදන ව්‍යවහාර කළ ද සැබැවින්ම නව සාමාන්‍යකරණය තුළ අපේ ජීවන භාවිතාව කවරාකාර විය යුතුදැයි අප කතාකරන්නේ නැත. සමාජයක් හැටියට අප තවමත් ක්‍රියාකරන්නේ පූර්ව කොරෝනා සමාජ ගතිකයන්ට සාපේක්ෂවය. ඒ නිසා අප වෙනුවෙන් රජය හා අනෙකකු සියල්ල කරනු ඇතැයි අපි සිතමු. එහෙත් නව සාමාන්‍යකරණ තත්ත්වය තුළ අපේ ජීවන පැවැත්ම පෙර පැවැති ආකාරයෙන් පවත්වාගෙන යාම කළ හැක්කක් නොවේ. සියල්ලට පූර්වයෙන් අප එය තේරුම් ගත යුතුය.

එනිසා පවතින තත්ත්වයට සාපේක්ෂව අපේ ජීවන භාවිතය පවා නැවත සකස්කර ගන්නැයි යන ගෝලීය පරිමාණයෙන් කෙරෙන ඉල්ලීම අපට ද පොදු බව මෙහිදී අවධාරණ කටයුතුය.

කැපකිරීම යන්නෙහි විස්තෘත අර්ථය එයයි. වසංගතයට පිළිතුරක් හැටියට මුළු රටම වසා දැමිය යුතුය යන්න එක් ප්‍රවාදයකි. විවිධ වෘත්තිකයෝ දේශපාලන කණ්ඩායම් එහිදී මූලිකත්වය ගනිති. එහෙත් ඔවුන් තේරුම් නොගන්නා කරුණ වන්නේ රටේ සියල්ල රඳා පවතිනුයේ ආර්ථික ව්‍යුහය මතය යන්නයි. මිනිස් ජීවිතවල වටිනාකම නොතේරේ ද යන්න මේ බොහෝ දෙනකු නගන ප්‍රශ්නය වී තිබේ.

එහෙත් යථාර්ථයේ දී මේ මිනිස් ජීවිත බේරා ගැනීමට පවා මුදල් අවශ්‍ය බවත් ඒ සඳහා රාජ්‍ය යාන්ත්‍රණය ප්‍රමුඛව ආර්ථික ව්‍යුහය ආරක්ෂා කරගත යුතු බවත් ඔවුහු නොකියති. රෝහල් පද්ධතිය පවත්වා ගැනීමට, අවශ්‍ය කළමනා මිලදී ගැනීමට, සෞඛ්‍ය අංශයේ වැටුප් ගෙවීම ඇතුළු සියල්ලට විශාල මුදලක් අවශ්‍යය. මිනිස් ජීවිත ආරක්ෂා කරන්නැයි සටන් පාඨය ඉදිරියට දමන කණ්ඩායම් මේ මාතෘකාවේ දී මුනිවත රකිති. අපේ ජීවන ගතිකය රඳා තිබෙන්නේ ආර්ථික ගතිකය මත බව නොකියති. එනිසා සමාජීය වශයෙන් මේ සම්බන්ධයෙන් යම් සාකච්ඡාවක් නිර්මාණය වීම අත්‍යවශ්‍යය.   

ලංකාව සිංගප්පූරුවක් කිරීම මෑත කාලයේ පොදු සමාජ සාකච්ඡාවේ ජනප්‍රිය වූ තේමාවකි. එහෙත් සිංගප්පූරුවක් සඳහා අවශ්‍ය සමාජ ආර්ථික පිළිවෙත් ගැන සමාජයේ ඇත්තේ එවැනි ජනප්‍රිය සාකච්ඡාවක් නොවේ. එහෙත් කොරෝනා මර්දනය ඇතුළු බොහෝ කරුණුවල දී නැවතත් ගෝලීය උදාහරණ දක්වමින් විවාදාත්මක කාරණා මතුකර ගැනීමට පමණක් බොහෝ දෙනා මේ සංවාදය භාවිත කරති. නිදසුනකට නවසීලන්තයේ කොරෝනා මර්දනය ගැන කියන පිරිස් එහි ඒක පුද්ගල ආදායම ගැන කියන්නේ නැත. නවසීලන්තයේ ඒක පුද්ගල ආදායම ඇමෙරිකානු ඩොලර් 40,000 ඉක්මවා ඇත. ඕස්ට්‍රේලියාවේ ඊටත් අධිකය.

එහෙත් ලංකාව සිටින්නේ ඩොලර් හාරදහස නොඉක්ම වූ තැනකය. නවසීලන්තයේ ආර්ථික වර්ධනය අපේ මෙන් දෙගුණයකි. ඔවුන්ගේ මුදල් සංචිත ඉතා ඉහළය. පවතින තත්ත්වයෙහි නවසීලන්තය සමග සසඳමින් පිළිතුරු සෙවීම යථාර්ථයෙන් ඈත බව දැන් ඔබට වැටහෙනු ඇත. එනිසා කොරෝනා මර්දනයේ දී සමාජ ආර්ථික වශයෙන් අපට සොයන්නට වෙන්නේ දේශීය විසඳුමකි. නව ඩෙල්ටා ප්‍රබේදය වාර්තාවීම සමග නවසීලන්තය, ඕස්ට්‍රේලියාව රට දින කීපයකට වසා තැබූ අතර එය පවා ඇතැම් කණ්ඩායම් තේරුම්ගෙන තිබෙන්නේ වෙනස් ආකාරයකටය. වසා දැමීම යන්නෙන් ලංකාව තේරුම් ගන්නේ ඇඳිරි නීතිය දමා සියල්ල අක්‍රීය කර නිවෙස්වලට වී සිටීමය.

උදාහරණයට ගතහොත් ඕස්ට්‍රේලියාවේ ලොක් ඩවුන් කිරීමේ දී නිවෙසින් එක් අයකුට බැහැර යා හැකිය. ඊට පෙර ලංකාවේ හඳුන්වා දී තිබුණේ ද ඒ ක්‍රමයමය. ඔවුන්ගේ අත්‍යවශ්‍ය සේවා හා අපනයන සේවා සියල්ල ක්‍රියාත්මකය. කඩ සාප්පු, ඖෂධ සැල්, සුපිරි වෙළෙඳ සැල් සියල්ල විවෘතය. එහෙත් ලංකාවේ ඉල්ලන්නේ රටම නින්දකට යවන ඇඳිරි නීතියකි. එසේ නින්දකට යවා සතියකින් පමණ නැවත නැගිටිද්දී රටකට අහිමි වන දේ සුළුපටු නැත. ඇඟලුම් සම්බන්ධ ප්‍රශ්නය ඊට කදිම එක් නිදසුනකි. ලංකාවට ලැබෙන ඇඟලුම් ඇණවුම් අත්හිටුවා විවේක ගත හැකි ඒවා නොවේ. අප නතර වන ඕනෑම මොහොතක එම ඇණවුම් බාර ගැනීමට බංගලාදේශය, වියට්නාමය, ඉන්දියාව වැනි තරඟකරුවෝ සිටිති. ඉතින් අප ගන්නා තීරණ මෙවැනි ක්‍ෂේත්‍රවල සිටින විශාල ශ්‍රමික පිරිසකට පවා බලපායි. යම් හෙයකින් එවැනි ක්‍ෂේත්‍රවල සිදුවන වරදකින් එකී ශ්‍රම හමුදාව රැකියාවලින් එළියට තල්ලුවන තැනකට ගියහොත් එය රජය මුහුණ දෙන තවත් අර්බුදයක් වනු ඇත. එනිසා ගෝලීය උදාහරණ ගෙන සසඳද්දී ඒවා අවංක පරමාර්ථවලින් ඉදිරිපත් කරන්නේද යන්න ගැනත් අප සිතිය යුතුය.

මේ අතර ආර්ථිකයේ අර්බුදය සමග රාජ්‍ය සේවයේ වැටුප් කප්පාදුවක් ගැන ජනමාධ්‍යවල ද සාකච්ඡාවක් ආරම්භ වී තිබේ. ඒ සම්බන්ධයෙන් මැති ඇමැතිවරු ද අදහස් දක්වනු දැකිය හැකිය. එහෙත් මා දන්නා ආකාරයට ආණ්ඩුවට එවැනි ආකාරයේ වැටුප් කප්පාදුවකට කිසිදු අදහසක් නැත. මෙය ආණ්ඩුව හෝ මුදල් අමාත්‍යාංශය කිසිදු ආකාරයකින් සැලකිල්ලට භාජන නොකළ අදහසකි. රාජ්‍ය සේවකයන්ට ස්වෙච්ඡාවෙන් සිය වැටුපෙන් කිසියම් ප්‍රමාණයක් පරිත්‍යාග කළ හැකිය. එහි ඇත්තේ සදාචාර තර්කයකි. එය තවදුරටත් පැහැදිලි කළහොත් මෙසේ දැක්විය හැකිය.

රාජ්‍ය ආදායමෙන් සියයට 80ක් පමණ වැයවන්නේ රාජ්‍ය සේවකයන්ගේ වැටුප් ගෙවීම සඳහාය. එහෙත් ඒ සා වැයක් දරන රාජ්‍ය සේවයෙන් නිසි ඵල ප්‍රයෝජන ගන්නේ ද යන්න ජාතිය හමුවේ තිබෙන ප්‍රශ්නයකි. මේ සදාකාලික ප්‍රශ්නයට විසඳුම් සෙවීමට විවිධ ආණ්ඩු බලයට පැමිණි පසු උත්සාහ කළත් අද වනතුරුත් ඊට නිසි පිළියමක් යෙදීමට හැකි වී නැත.

රාජ්‍ය සේවයේ සාතිශය බහුතරය සේවා අංශයයි. එනිසා රාජ්‍ය සේවය අක්‍රිය කළ පමණින් රටේ නිෂ්පාදන අංශය බිඳ වැටෙන්නේ නැත. එනම් ලංකාවේ රාජ්‍ය සේවය අත්‍යවශ්‍ය ජීවනාලියට සෘජුව බලපෑමක් නොකරයි. මෙය හොඳින්ම පැහැදිලි වූයේ කොරෝනා වසංගත සමයේදීය. එසේ බලද්දී ලංකාවේ රාජ්‍ය සේවය සැලකිය හැක්කේ ජාතියේ හිස මත්තේ එල්ලා ඇති මහා බරක් ලෙසය. මෙයින් මම කිසිසේත් රාජ්‍ය සේවය අවතක්සේරු නොකරමි. මගේ තර්කය වන්නේ රාජ්‍ය ආදායමින් සියයකට 80 පමණ වැය බරක් දරන රාජ්‍ය සේවයකින් පෙරළා ඊට සරිලන ඵලදායකත්වයක් නොලැබීමය. අනෙක් අතට මෙහි ඇති ආර්ථික සාධකය ද බලවත්ය. සංඛ්‍යාලේඛන දක්වන ආකාරයට ලක්ෂ දාහතරක් පමණ වූ රාජ්‍ය සේවකයන්ට ලැබෙන වැටුප නිසා රටේ සැලකිය යුතු ජන කොටසක ජීවන මට්ටම් ඉහළ ගොස් තිබේ. රාජ්‍ය සේවයට නව රැකියා ලක්ෂයක් ලබාදීමේ දී ඉතා අඩු ආදායම්ලාභී පවුල්වලින් සුදුස්සන් තෝරා ගැනීමට වත්මන් ආණ්ඩුව කටයුතු කළේ ද එහෙයිනි. හුදු රැකියා සම්පාදනයකින් ඔබ්බට ගොස් කිසියම් වෘත්තියකට පුහුණු කර එය නිෂ්පාදනයට සම්බන්ධ කරන වැඩපිළිවෙළක් එහිදී දියත් වේ. එහෙත් උපාධිධාරින්ට රැකියා දීමේදී මතුවන්නේ ඊට වෙනස් තත්ත්වයකි.

මේ ආණ්ඩුව ද බලයට පැමිණි විගසම පනස්දහසකට අධික පිරිසකට රැකියා ප්‍රදානය කළේය.

එහෙත් ඇත්තෙන්ම මේ කාරණයේ දී ඇත්තේ රැකියාවලින් ඔබ්බට ලංකාවේ අධ්‍යාපනය හා ගැට ගැසුණු ප්‍රශ්නයකි. පාසලකට ඇතුළු වූ අවස්ථාවේ සිට උසස් පෙළ දක්වා මතු නොව ඉන් නොනැවතී විශ්ව විද්‍යාලයේ තුන් හෝ සිවු වසරක අධ්‍යාපනය අපේ රටේ ලැබෙන්නේ නොමිලේය. යථාර්ථයේ දී නොමිලේ යනු රටේ සියලුම වැසියන් වැය බරක් දරන බවයි.

ඉතින් වසර දාහතක් පමණ මහජන ධනයෙන් අධ්‍යාපනය ලැබූවන් විශ්වවිද්‍යාල උපාධියත් ලබාගත් පසු නැවතත් මහජන ධනයෙන්ම රැකියා ඉල්ලන්නේ නම් එය කෙතරම් දුරට සාධාරණ ද? නැවතත් ඒ රැකියා රටේ නිෂ්පාදනයට ඵලදායී නොවන ඒවා නම් ඒ බර පෙරළා මහජනයා මතම පැටවේ.

ආර්ථිකය කළමනාකරණය ගැන වාද කරන පිරිස් මේ නොවිසඳුණු ප්‍රශ්න ගැනත් අවධානය යොමුකරන්නේ නම් මැනැවිය. මන්දයත් රටේ පවතින මෙබඳු ප්‍රවේණිගත රෝගවලට විසඳුම් නොමැතිව කිසිවකුටත් ලංකාව ගොඩගත නොහැකි බැවිනි.
‘සෞභාග්‍යයේ දැක්ම’ නමින් ජනාධිපතිවරයාට රට ගොඩනැගීම සම්බන්ධයෙන් කිසියම් ප්‍රතිපත්තිමය එළඹුමක් තිබිණි. එහෙත් ආණ්ඩුකරණය ආරම්භ වී මාස තුනක් වැනි කෙටි කලෙකින් මුහුණ දෙන්නට වූ මෙකී ගෝලීය ව්‍යසනය හමුවේ එකී ගමන්මගට අදාළ සමාජ සන්දර්භය වෙනස් විය. එය ප්‍රායෝගික තත්ත්වයකි. දැන් ආණ්ඩුකරණය පවතින්නේ වසංගතය හමුවේ හදිසි සැලසුමක් මතය. එනිසා පැරැණි උපායමාර්ගික පිළිවෙත මත පිහිටා කරන ප්‍රශ්න කිරීම් සාධාරණ නැති බව රටවැසියා වුව තේරුම් ගත යුතුය. මෙය දේශපාලනික වශයෙන් පොදුජනයාට ඒත්තු ගැන්වීම පහසු දෙයක් ද නොවේ.

එහිදී මා මේ ආණ්ඩුවේ දකින ලොකුම දුර්වලතාව නම් මේ තිත්ත ඇත්ත සන්නිවේදනය කිරීමට ආණ්ඩුවේ දේශපාලකයන් දක්වන අසමත්භාවයයි.

ජනාධිපතිවරයා ජාතිය අමතා කළ කතාවේ දී කිසියම් ආකාරයකට මේ හරයාත්මක පණිවුඩය රටවැසියන්ට කීමට උත්සාහ කළේය. එකී ආමන්ත්‍රණය අරභයා ඇතැම් විපක්ෂ කණ්ඩායම් අතරේ පවා කිසියම් සංවේදීභාවයක් හටගත්තේ එහෙයිනි. මේ කතාව ජනතාවට නොතේරෙනවා නොවේ. එහෙත් එය තේරෙන භාෂාවෙන් ජනතාවට කියන්නට ආණ්ඩුවට හොඳ සන්නිවේදනයක් අවශ්‍යය. එය නිසියාකාරව සන්නිවේදනය නොවනතාක් ජනතාව සිතන්නේ පූර්ව කොරෝනා ලංකාවේ සිටය.

අවාසනාවකට ආණ්ඩුවේ කැබිනට් හා අනෙකුත් ප්‍රකාශකවරුන්ගෙන් මේ නිර්මාණාත්මක කාර්ය සිදුවන බවක් නොපෙනේ. ආණ්ඩුවේ සන්නිවේදකයන් හා පොදුජනයා අතර ඇත්තේ පෑහිය නොහැකි පරතරයකි. එදා එල්.ටී.ටී.ඊ.ට එරෙහි යුද්ධයේ දී රටක් හැටියට ජනයා දේශපාලන විධායකය සමග පෙළගැසුණේ ඇත්ත ඇතිසැටියෙන් කීමත් හොඳ සන්නිවේදනයත් නිසාය. එදා ආණ්ඩුව පෙළෙමින් සිටි ප්‍රමුඛ ගැටලුවක් වූ යුද්ධයට අවශ්‍ය ශ්‍රම බලය සම්පූර්ණ වූයේ පාලනය සම්බන්ධයෙන් වූ විශ්වාසය නිසා ඉදිරියට පැමිණි තරුණයන්ගෙනි. මෙදා එළඹ ඇත්තේ ද එවැනිම අභියෝගාත්මක තත්ත්වයකි.

මෙතරම් අර්බුදකාරී පරිසරයක පවා මේ ජූලි මාසයේ දී ලංකාවේ අපනයන ආදායම ඩොලර් බිලියනය ඉක්මවීය. එය 2019 ජූලියට සාපේක්ෂව වසංගතය තුළ පවා සියයට 12ක වර්ධනයකි. එහෙත් මේ කරුණු නිසියාකාරව මහජනයාට සන්නිවේදනය වූ බවක් අපට නොපෙනේ. එයින් සිදුවන ලොකුම හානිය නම් කැපකිරීම් සඳහා වූ ප්‍රේරණය මහජන අවකාශයෙන් ගිලිහී යෑමය. එකී අවධාරණය ජනාධිපතිවරයාටම පමණක් කළ නොහැකි අතර ඇමැතිවරුන් මන්ත්‍රීවරුන්ගේ සිට පහළ පාලන යාන්ත්‍රණය දක්වා වූ ඒකාබද්ධ සන්නිවේදන වැඩපිළිවෙළක් ඊට අවශ්‍යය. එමෙන්ම තමන්ගේ පැත්තෙන් ද කැපකිරීම් කෙරෙන බව අවංකව ජනතාවට පෙන්වාදීම අවශ්‍යවේ. එවිට ජනතාව ද කැපකිරීම් කරනු ඇත. යුක්තිය ක්‍රියාත්මකවීමෙන් නොනැවතී එය එසේ වන බව දර්ශනය ද විය යුතුය යන්න නීතියෙහි පිළිගැනීමකි. ආණ්ඩුකරණයට ද මේ පිළිගැනීම අදාළය.


(*** සංවාද සටහන - බිඟුන් මේනක ගමගේ )



අදහස් (6)

යථාර්ථයට බුද්ධියෙන් මූණදීම

Raveendra Monday, 23 August 2021 11:03 AM

"කවර රටකට වුවත් සිල්ලර දේශපාලනය ගැළපෙන්නේ නැත. එහිදී ප්‍රධාන වශයෙන්ම අපගේ අවධානය යොමුවිය යුත්තේ වසංගතය අතරේම ආර්ථිකය පවත්වා ගැනීම ගැනය." මෙය තේරුම් ගැනුමට රොකට් සයන්ස් දැනුම අවශ්‍ය නැත එසේ නමුත් දියවනාව පට්ටියේ දේශපාලුවන් වැඩි පිරිසකට මෙන්ම පුරවැසියන්ටද එය තේරුම් ගැනුමට තරම්වත් ඥානය නොතිබීම අවාසනාවකි.

:       1       8

Nirmal Monday, 23 August 2021 12:09 PM

මේවගේ කිසිම චාරයක් නැති හිස් මිනිස්සුන්ගේ අදහස් දාන්න පිස්සුද.

:       10       17

anon Monday, 23 August 2021 06:47 PM

ඕගොල්ලොනේ පාස්කු ප්‍රහරය ගහන ගමන් රටෙ හොදම හොටල් වලටත් බොම්බ ගහල සංචාරක කර්මාන්තය වැට්ටුවෙ.

:       0       9

ඒම්මානුවෙල් නෙල්සන් Tuesday, 24 August 2021 04:24 PM

වසංගත තත්වයේ බයංකර හෙවත් තිත්ත ඇත්ත මාධ්‍ය මගින් ප්‍රචාරය කරන්න. එතකොටවත් මේ ජනතාවගෙන් 70%ක්, 80%ක් වත් හැදෙයි. ඉතුරු විස්ස, විසිපහට මොනවා හරි කරන්න. මොකද භයානකකම පෙනිලත් හැදෙන්නේ නැතිඅයට ජීවිතේ වටින්නෙත් නැහැ. ඔවුන්ගේ ගෙවල්වල අයව වටින්නේ් නැතුව ඇති...

:       0       0

මැක්ස් Tuesday, 24 August 2021 05:16 PM

මෙම ලිපියේ ඇති අදහස් විපක්ෂ හිතවාදීන්ට වහකදුරු මෙන් වුවත් වැදගත්ය. ඊට ඉඩදීම ගැන ලංකාදීපයට ස්තුතියි..

:       5       0

saman Wednesday, 25 August 2021 06:00 PM

නිරීක්ෂණ පමණි... ක්‍රමවේදයක් යෝජනා නොකරයි... අහෝ උගතුන්...

:       0       2

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

සත්‍යයට පිටුපෑමේ විපාකය
2024 පෙබරවාරි මස 21 919 1

එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ 37 වැනි ආසියා පැසිෆික් කලාපීය සමුළුව පෙබරවාරි 20 වැනිදා (ඊයේ) කොළඹ හිල්ටන් හෝටලයේදී ආරම්භ වූ අතර එය 22 වැනිදා දක


දරුවා පාසලට යැව්වාටම මදි නිරන්තර විමසිල්ලක් ඕනෑ
2024 පෙබරවාරි මස 21 131 0

‘‘ලොව හොඳම දේ දරුවන්ට’’ යැයි කීව ද, සම්මුති විරහිතව හිස් මුදුනින්ම එය පිළිගත්ත ද, අප රටේ දරුවන් ලොව නරකම දෙයෙහි පහසුම ගොදුරු බවට පත්ව ඇති බව ඒකාන්තය. වාර


දුප්පතාට අතදෙන අත්වැලක්
2024 පෙබරවාරි මස 20 135 0

ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික අර්බුදය හමුවේ දැඩි ලෙස පීඩනයට පත් කණ්ඩායම ලෙස අඩු ආදායම්ලාභීන් නම් කළ හැකිය. ආදායම් මාර්ග ඇහිරී යාම, දෛනික වියදම වැඩි වීම, ඔව


තෙල් සමාගමේ හොරුන් දඬුකඳේ ගහන්න ඕනෑ
2024 පෙබරවාරි මස 20 760 2

සාමාන්‍යයෙන් අමාත්‍යවරයකු විසින් තම අමාත්‍යාංශයේ සිදුවන දූෂිත හෝ වංචනික ක්‍රියාවක් සම්බන්ධයෙන් හෙළිදරව් කරනු ලබන්නේ කලාතුරකිනි. එසේ කලාතුරකින් වන


විධායකය අහෝසි කතා උප්පරවැට්ටියක්
2024 පෙබරවාරි මස 19 248 0

ණය ප්‍රතිව්‍යුහගතකරණ සාකච්ඡා, ඉදිරි ජනාධිපතිවරණය, ජාතිකවාදී දේශපාලන කඳවුරේ අනාගතය ආදී කාලීන ආර්ථික හා දේශපාලනික තේමා රැසක් ප්‍රශ්න කරමින් පිවිතුරු


ගොවි ගැටලුවලට සැබෑ විසඳුමක් ඕනෑ
2024 පෙබරවාරි මස 19 147 0

උතුරු ප්‍රදේශයට මහකනදරාව වැවේ ජලය මුදාහැරීමේ උත්සවයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැමිණ සිටියදී, එහි ප්‍රදේශය අවට විශාල උද්ඝෝෂණයක් පැවැත්විණි. ම


මේවාටත් කැමතිවනු ඇති

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 150 0
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

නීතිමය විභේදනයත් සමඟම ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් නව ගමනක් අරඹයි 2024 පෙබරවාරි මස 13 220 0
නීතිමය විභේදනයත් සමඟම ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් නව ගමනක් අරඹයි

දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ‍්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල

හලාල් කවුන්සිලය NCE අපනයන සම්මාන උළෙලේ දී රනින් පිදුම් ලබයි 2024 පෙබරවාරි මස 12 248 0
හලාල් කවුන්සිලය NCE අපනයන සම්මාන උළෙලේ දී රනින් පිදුම් ලබයි

හලාල් ප්‍රතීතන කවුන්සිලය (Halal Accreditation Council), ජාතික අපනයනකරුවන්ගේ මණ්ඩලයේ (NCE) සංවිධානත්වයෙන් 2023 දෙසැම්බර් 8වන දින පැවැත්වුණු 31 වැනි NCE අපනයන සම්මාන උළෙලේ දී අඛණ්

Our Group Site