(ශාන්ත චන්ද්‍රසිරි)

 
කොරෝනා වෛරසය රට තුල පැතිරීයාමේ අවධානම මත නවතා දමන ලද නුවරඑළිය වසන්ත උත්සවය ලබන අගෝස්තු මාසයේදි හෝ ඉන් පසුව කුඩා උත්සවයක් ලෙස පැවැත්වීමට අවධානය යොමුව ඇතැයි නුවරඑළිය මහා නගර සභාවේ නගරාධිපති චන්දන ලාල් කරුණාරත්න මහතා අද (09) පැවැසීය.
 
එහෙදී තවදුරටත් අදහස් දැක්වු  කරුණාරත්න මහතා මෙසේ කීය.
 
'2020 වසරේ නුවරඑළිය වසන්ත උත්සවය සඳහා නුවරඑළිය මහා නගර සභාව සුදානම් වුයේ 2019 වසරේ දෙසැම්බර් මාසේ සිටයි. රට තුල පැන නැගුනු විශේෂ තත්ත්වය හමුවේ එම උත්සවය තාවකාලිකව කල් දැමීමට තීරණය කරනු ලැබුවා.
 
ඉන් පසුව රටේ පවතින තත්ත්වය මත නුවරඑළිය නගරයේ සෞඛ්‍ය වැඩ සටහන්වලට මුල්තැන දෙමින් කටයුතු සිදු කිරීමට පියවර ගෙන තිබෙනවා. අඩු ආදායම්ලාභීන්ට නගර සභාව මගින් වියළි ආහාර ද්‍රව්‍ය සහණදායි  මුදලට ලබාදීමේ වැඩ සටහන් රැසක් මේ වනවිට  ක්‍රියාත්මක කර තිබෙනවා.
 
රටේ පවතින මෙම අර්බුධකාරී වතාවරණය හේතුවෙන් නුවරඑළිය නගරයේ මහා පරිමාණ හෝටල්වල සිට කුඩා හෝටල් හිමියා දක්වා සියළු දෙනාගේම ආදායම් මාර්ග නැවතී ගොස් තිබෙනවා. ඔවුන් අපි ආරක්ෂා  කර ගත යුතුයි. ඒ සම්බන්ධයෙන් විශේෂ වැඩ සටහන් කීපයක් ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. වතුර බිල් පත්, වරිපණම් බිල් පත් වැනි ගෙවීම්වලින් භාගයක් පමණක් අය කර ගැනීමේ වැනි වැඩ සටහන් සිදු කිරීමට ඒ අනුව අපේක්ෂා කරනවා.
 
කොරෝනා මර්ධන කටයුතු හා අනෙකුත් අත්‍යවශ්‍ය සේවාවන් පවත්නාගෙන යාම වැනි රජයේ වැඩ පිළිවෙල පිළිබඳව සෑහීමකට පත්විය හැකියි.මහ නගර සභාවක් හා පළාත් පාලන ආයතනයක් වශයෙන් අපේ බලාපොරොත්තුව සියළුම ශක්තිය යොදවලා අපේ වියදම් අඩු කොට රජයට සහයෝගය දැක්වීමයි. මේ අවස්ථාවේ පළාත් පාලන ආයතනයක් වශයෙන් රජයට සහයෝගය දිය යුතුමයි. අපි ඒ දෙය නොපිරිහෙලා ඉටු කරමින් සිටින්නේ යයි පැවැසීය.