(පුෂ්පකුමාර ජයරත්න )
වීසා රහිතව නීති විරෝධීව කුවේට් රාජ්‍යයේ රැඳී සිටින සහ එරට රැකියාවල නිරත ශ්‍රී ලාංකිකයන් විශාල පිරිසක් මේ වනවිට කොරෝනා වයිරසයට ගොදුරු වී සිටින බව කුවේට් ශ්‍රී ලංකා එකමුතු සංවිධානය පවසයි.
එරට ෆර්වානියා , අහමදි , හවාලි , ජහරා සහ කුවේට් සිටි යන ප්‍රදේශ වල රැදී සිටින ශ්‍රී ලාංකිකයන් විශාල පිරිසක් මෙසේ කොරෝනා වයිරසයට ගොදුරු වී සිටින බවත් මේ වනවිට එම පිරිසෙන් කාන්තාවක් ඇතුළු සිවුදෙනෙකු වයිරසය ආසාදනය වීමෙන් මරණයට පත්ව ඇති බවත් කුවේට් ශ්‍රී ලංකා එකමුතු සංවිධානයේ කැඳවුම්කරු නිශාන්ත සංජීව මඩපාත මහතා ප්‍රකාශ කළේය .
නීත්‍යානුකූලව එරට රැඳී සිටින ශ්‍රී ලාංකිකයන් අතරින් වයිරසය ආසාදනය වී ඇති බහුතරය කුලී රථ රියදුරන් ලෙස රැකියාවල නියුතුව සිටින අය බවද කියයි.
මෙසේ රෝගාතුර වන විදේශිකයන්ට කුවේට් රජයෙන් කිසිදු සැලකිල්ලක් නොලැබෙන බවත් රෝගාතුර වූවන්ට බෙහෙත් පෙත්තක්වත් නොලැබෙන බවත් මඩපාත මහතා පැවසීය.
මීට දින කීපයකට පෙර කොරෝනා වයිරසය ආසාදනය වී මරණයට පත්වූ ශ්‍රී ලාංකීය කාන්තාවගේ සැමියාට සහ දරුවන් දෙදෙනාටද වයිරසය ආසාදනය වී ඇතැයි සැක කැන අතර ඔවුන් කිසිදු පරීක්ෂාවකට ලක් නොකොට නිවසට වී සිටින ලෙස එරට සෞඛ්‍ය නිලධාරීන් නියමකර ඇතැයි මඩපාත මහතා කීය.
මේ ආකාරයට වයිරසයට ගොදුරු වී සිටින ශ්‍රී ලාංකිකයන්ගෙන් වැඩිම පිරිස වීසා බලපත්‍ර රහිතව නීති විරෝධි ආකාරයට කිසිදු පහසුකමක් නොමැතිව ඉතා අසරණව එරට රැඳී සිටින අය බවත් මේවනවිට ශ්‍රී ලංකාවේ වැඩියෙන්ම වාර්තා වන කොරෝනා ආසාදිතයන් පිරිස මේ ආකාරයට කුවේට් රටේ රැඳී සිට ශ්‍රී ලංකාවට පැමිණි පිරිසක් බවත් නිශාන්ත මඩපාත මහතා සඳහන් කළේය .
මේ ආකාරයට එරට රැඳී සිටින ශ්‍රී ලාංකිකයන් ශ්‍රී ලංකාවට ගෙන්වා ගන්නා ලෙස මීට මාසයකට පමණ ඉහතදී ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටි බවත් එම ඉල්ලීමට අනුව ඔවුන් ශ්‍රී ලංකාවට ගෙන්වා ගත්තානම් ඔවුන් කොරෝනා වයිරසයට ගොදුරු නොවන බවත් ඒ මහතා කීය.
තවත් විශාල පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණීමේ බලාපොරොත්තුවෙන් සිටින බවත් ඔවුන්ට ආහාරපාන පවා නොමැතිව අසරණවී සිටින බවත් ඒ මහතා සඳහන් කළේය.
කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් මේවනවිට කුවේට් රාජ්‍යයේ පුද්ගලයන් 172 කු මියගොස් සිටින අතර ඊයේ (26) දිනට එරටින් වාර්තා වූ ආසාදිතයන් සංඛ්‍යාව 22575 කි .
මේවනවිට දිනකදී එරටින් කොරෝනා වයිරසය ආසාදනය වූවන් දහසක් පමණ වාර්තා වන බවද පැවසේ . මෙම තත්ත්වය හමුවේ මේවනවිට දින 20 කට වැඩි කාලයක සිට එරට අඛණ්ඩව ඇඳිරි නීතිය ක්‍රියාත්මක කර ඇති බවද ඒ මහතා පැවසීය.

COMMENTS
මේක ලොකු ප්‍රශ්නයක් දැන්, දකුණු ආසියානු දුප්පත් රටවල් වලින් සේවයට පැමිණි මිනිස්සුන්ව මේ අය පුළුවන් තරම් වැඩ අරන් දැන් ලෙඩ වුණාට පස්සේ ඒ ගොල්ලොන්ගේ වියදමින් කිසිම බෙහෙතක් නොකර ඒ ඒ රටවල වලටම පටවන්න බලන්නේ, අරාබි කාරයින්ගේ හැටි දැන්වත් ලෝකෙම මිනිස්සු දැනගත්තොත් හොඳයි...
අපේ තානාපති සේවාව කියලා එකක් මහ ලොකුවට තියෙනවා... එකෙන් කරන්නේ දේශපාලන හෙන්චයියන්ට ලොකු පඩියක් දීලා පිටරටවල සැපගන්න යවන එක... අර අහිංසක දුප්පත් මිනිස්සුන්ගේ බදුමුදල් වලින්... මේ වගේ වෙලාවකවත් අඩුම තරමේ මේ තානාපති කාර්යාලවල පින්බත් ගිලින අයට බැරිද පොඩිහරි සේවාවක් කරන්න මේ අහිංසක මිනිස්සුන්ව බේරගන්න...
මිනිසුන් ලෙඩ වුණාම අනුකම්පා කළ යුතුයි. ඒක ඇත්ත. මේ මඩපාත නැමැත්තා කියන්නේ නීතිවිරෝධී අයුරින් රටගිය අය ගැන. ඒ කියන්නේ, එයාපෝට් එකට හා රටේ නීතියට හොරෙන් හොර පාස්පෝට්වලින් රටගිය අය ගැන කොහොමත් ඒ රජයන් පියවරක් ගන්නේ නැහැ. ඒ වගේම මේ අය නීතිවිරෝධීව ආ අය බව දන්නා නිසා ඒ රජයෙන් පසු කාලෙක හිරේ දමාවි. ඒ රටවල අපේ මෙන් නීතිය නවන්න බැහැ. මතකද හමුදාපතිතුමා කිව්වා ඔය විදිහේ නීති විරෝධීව ගිය කට්ටියක් එයාපෝට් එකෙන් පැන්නා හොර ඇඩ්රස් දීලා. තවත් හොයනු බොරු. කොහොම වුණත්, රජය ප්‍රථමයෙන්ම සිතන්නට ඕනෑ මේ රටේ ඉන්න නිරෝගී පුරවැසියන්ව ආරක්ෂා කරගන්න. මෙහි කොරෝනා හැදුණු ලෙඩෙක්ව පිටරට වලින් බාරගන්නේ නැහැ. සුවවූ පසුව තමයි බාරගන්නේ. අප හිත්පිත් නැති අය නොවෙයි. ඒ වුණාට වරදට අනුබල දෙන්න නැහැ. මේ අය ගෙන්වනවා නම්, ඔවුන්ට ප්‍රතිකාර කොට සුවවූ පසු නීතිවිරෝධී ලෙස රටගියාට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්න. හොර පාස්පෝට් හැදූ තැන් සොයා වැටලීම් කරන්න. නීතියට බිය ඇති නීතිගරුක පුරවැසියන් තමයි රටකට අවශ්‍ය වන්නේ... එතකොට තමයි රටක් වටින්නේ.
ලංකාවේ විතරයි... ලංකාවේ කට්ටියට එන්න එපා කියලා නැවැත්තුවේ, අනිත් රටවල් වල තමන්ගේ ජනතාවට එන්න කිව්වා.
හාමුලටයි ඔවුන්ගේ බත් බැලයින්ටයි මේ ප්‍රවෘත්ති පේන්නෙත් නෑ.. ඇහෙන්නෙත් නෑ...
කොහේ හොර පාස්පෝට් හදපු තැන හොයන්නද? පාස්පෝට් දෙක ගණනේ තියන් ඉන්න දේශපාලකයෝත් යහතින් ඉන්දැද්දී...
කුවේට් රජය වීසා නැති අය සමා කාලයේදී කුවේට් ගුවන්යානා වලින් නොමිලේ ඔවුන්ගේ රටවලට ගෙනිහින් දානවා. ඔවුන්ව බාරගන්න එක විතරයි ලංකාව කරන්න ඕනෑ. නමුත් අපේ ගුවන්තොටුපොළ වහලා, නොමිලේ රටේ මිනිස්සු ගෙනත් දාන්න එන යානයක්වත් බස්සන්න විදියක් නෑ. නමුත් ලොක්කන්ගේ දරුවන්ව ගෙන්නගන්න ඕන වුනාම ගුවන්තොටුපොළ අරිනවා.
ශ්රී ලංකාවේ කොරෝනා මරණ අනුපාතය 1% අඩුයි , එම නිසා මේක මාරාන්තික රෝගයක් ලෙස සලකන්න බැහැ. ඩෙංගු මරණ අනුපාතය මෙයට වැඩිය විශාල අගයක් ගන්නවා. මොනවා වුණත් මේ පිරිස ශ්‍රී ලංකික පුරවැසියන්, ඕනෑම අවස්ථාවක රටතුළට පැමිණෙන එක ඔවුන් සතුමූලික අයිතිවාසිකමක්..., එසේ පැමිණි පිරිස කොපමණ කාලයක් නිරෝධායනය කරනවද? මොවුන් පිටරට ගිහින් තිබෙන්නේ වැරදි ක්‍රමයකටද? එ්කට නඩු පවරනවාද? කොහොමද ඒක කරන්නේ කරන්නේ කියන ඒක තීරණය කරන එක බලධාරීන්ගේ වගකීමක්, ගුවන්තොටුපල තම පුරවැසියන්ට වසා දමා, වරප්‍රසාද ලත් පිරිසක් පමණක් රටට ඇතුල් කරගැනීමෙන් බලධාරීන් මෙම පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකම් බරපතල ලෙස කඩකර තිබෙනවා, ඔය සංවිධාන වලට දැන් කරන්න තිබෙන්නේ මෙම මූලික අයිතිවාසිකම් කඩවීම සම්බන්ධයෙන් බලධාරීන්ට විරුද්ධව සරණාගතයන් සිටින රටක හෝ ලංකාවේ හෝ අධිකරණයක් නඩු පවරන්න. ඔච්චර විශාල ප්‍රමාණයක් හොරෙන් මැදපෙරදිග ගිය කියන එක පිළිගන්න බැහැ. මොකද විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් ගුවන් තොටුපලේදී පිටරට යන සියලු දෙනාගේම පාස්පෝට් පරීක්ෂා කර ගාස්තු අයකරගෙන ඔවුන් රක්ෂණය කර ලියාපදිංචි කරගන්නවා.
ඒ අය කුවේට් වෙල ඉන්නේ නීති විරෝධී ලේසේද යන්න එක නොවේ... දැන් තියන ප්‍රශ්නේ මේ ලංකාවේ මිනිස්සු, මෙච්චර කාලයක් හම්බ කරපු හැමදේම ලංකාවට යවලා කන්න නැතිව දුක්වෙන අපේම මිනිස්සු. මේ අය රටට ගෙන්වා ගන්න බලධාරින් ක්‍රියාකළ යුතුයි.
ඔතන ඉන්න 75% ක් ම ගැහැණු. වීසා නැතුව බංගලි, පාකිස්තානු , ඉන්දියන්, ඇෆ්ගන් කාරයෝ එක්ක හිටිය අයට කොරෝනා ආපුවහමද මතක් වුනේ ලංකාව...?
faizal මේ අවස්ථාවේ මෙතන ඉන්නේ ගැහැණුද, පිරිමිද ඔවුන්ට කොරෝනා තිබෙනවද? නැද්ද? ඔවුන් කරන රැකියාව කුමක්ද ඉන්නේ කවුරු සමගද කියන එකෙන් වැඩක් නැහැ.. ලංකාවේ පුරවැසියන්ට ඇෆ්ගනිස්තානුවන්, පාකිස්ථානු, බංගලාදේශ ජාතිකයන් සමග සම්බන්ධකම් පවත්වන්න, විවාහවෙන්න තහනමක් නැහැ. ලංකාවේ නීතිය යටතේ ගැහැණුන්ට සහ පිරිමින්ට සමාන අයිතිවාසිකම් තිබෙනවා. (සමහර මුස්ලිම් ෂරියා නීති තිබෙන රටවල මෙම තත්වය වෙනස්) මොවුන් සියලුදෙනාම ලංකාවේ පුරවැසියෝ, කැමති අවස්ථාවක තම රටට එන්න ඔවුන්ට අයිතියක් තිබෙනවා. මෙතන එම අයිතිය බරපතල ලෙස උල්ලංගනය වෙලා... ඔවුන් රටට අාවට පස්සේ නිරෝධායනය කරන හෝ නොකරන එක..., ඔවුන් යම්කිසි නීතිවිරෝධී දෙයක් කරලා තිබෙනවා නම් නඩු පවරන එක බලධාරීන් සතු වගකීමක්.., ම්ලේච්ඡ ෂරියා නීතිය ක්‍රියාත්මක වන සෞදි අරාබිය වැනි මුස්ලිම් රටවල්වලින් පටන්ගත්තම යුරෝපය, ජර්මනිය, එංගලන්තය පවා තම පුරවැසියන්ට දොර වැහුවේ නැහැ. කොරෝනා නිසා තම පුරවැසියන්ට දොර වහපු රටවල් අතලොස්සට අපිත් එකතුවෙලා...
කරුණු කාරණා කෙසේවෙතත් මේ අපේ රටේ ජනතාව ඔවුන් නැවත මව්බිමට ගෙන්වා ගත්තේ නැතිනම් එය බලවත් වරදකි.. ඔවුන්ගේ රැකියා අහිමිව ඇත. එම රටවලින් ගුවන් යානා යොදවන්නේ නම් ආරක්ෂක පියවර ගෙන පැමිණීමට ඉඩහළ යුතුයි.. එසේ කළ නොහැකි නම් දැනට පවතින ආණ්ඩුව ඉල්ලා අස්වී කළහැකි අයෙක් පත්කළ යුතුයි. විශේෂයෙන් වගකීම් රහිත ප්‍රකාශ කරන කුවේටය අපේ ගුවන් සීමා උල්ලංඝනය කළ බව කියන අැමැතිවරිය සහ දූෂණ චෝදනා ඇති ඇමතිවරයා වහාම ඉවත් කිරීමට ජනපතිට හැකිවිය යුතුයි. ජනතාව ඡන්දය දුන්නේ ඔය කියන හොරුන්ට නොවේ නං දොඩවන පැරණි ඔලමොට්ටල කණ්ඩායමට නොවේ.. ගෝඨාභය නමැති පාලකයාට නව දැක්මක් බලාපොරොත්තුවෙනි...
ඔය හදල තිබෙනවා කියන හොර පාස්පෝර්ට් වලින් 95%ක් නිකුත් කරලා තිබෙන්නේ ආගමන විගමන දෙපාර්තමේන්තුව මගින්, මුද්‍රණය කරලා තිබෙන්නේ රජයේ මුද්‍රණාලේ, වෙනසකට තිබෙන්නේ එ්කේ ඇතුළත් කරලා තිබෙන්නේ වැරදි තොරතුරු, ඒවා ඇතුල් කරලා තිබෙන්නේ රජයේ නිලධාරීන් විසින් හොර පාස්පෝර්ට් කීයක් අසුවුණත් ඔවුන්ට විරුද්ධව කිසිම නීතිමය ක්‍රියාමාර්ගයක් ගන්නේ නැහැ... හිටපු මන්ත්‍රී විරවංසගේ හොර පාස්පෝර්ට් එකත් නිකුත් කරලා තිබෙන්නේ මම කලින් කියපු ක්‍රමයට, නමුත් ඒවා නිකුත් කරපු නිලධාරීන් දිගින් දිගටම රාජකාරි කරනවා...
මැද පෙරදිග වහල් සේවයේ වැඩිපුරම ඉන්නේ අපේ රටේ කාන්තාවන්. මේ අපේම සහෝදරියන්. මේ අයට අප කොන්දේසි විරහිතව අනුකම්පා කළ යුතුයි. මේ අවස්ථාවේ මොවුන් මව්බිමට ගෙන්වා ගැනීමට රජය ප්‍රමුඛතාවය දිය යුතුයි.
මම කලින් පෙන්වාදුන් පරිදි මෙම පුද්ගලයන් සියලු දෙනාම ලංකාවට ගෙනත් මාසයක් වැනි සුළු කාලයකදී නිරෝධායනය කර සමාජ ගතකරන්න අවශ්‍ය , ගුවන්යානා හෝටල් වැනි මූලික පහසුකම් අපේ රටේ තිබෙනවා. සමහර හෝටල් හිමියෝ තම හෝටල් නොමිලයේම නිරෝධායන කටයුතුවලට දීලා තිබෙනවා. ප්‍රශ්නෙකට තිබෙන්නේ මේවා භාරව සිටින දේශපාලකයන් සහ නිලධාරීන් එළුවන් මෙන් බැහැ බැහැ කියමින්, ගුවන්තොටුපල වසාගෙන, රටටම ඇඳිරි නීතිය දමාගෙන ඉන්න තීරණය කිරීම, රටේ ආර්ථිකය සහ පිටරටවල අනතුරේ වැටිලා තිබෙන ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ගේ ජීවිත තුට්ටුවකටවත් ගණන් නොගැනීම...