( තිළිණි ද සිල්වා )
වීසා නොමැතිව නීතිවිරෝධීව කුවේටයේ රැඳී සිටින ශ්‍රී ලාංකිකයන් හාරසියයකට ආසන්න පිරිසක් යලි ශ්‍රී ලංකාවට පැමීණීම සදහා ලිපියක් නිකුත් කරන ලෙස ඉල්ලා එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඉදිරිපිටට පැමිණ උද්ඝෝෂණයක නිරතවී ඇතැයි කුවේටයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ආරංචි මාර්ග සදහන් කරයි.
මෙම පිරිස ඊයේ (21) පෙරවරුවේ මෙම උද්ඝෝෂණයේ නිරතව ඇතැයිද පැවසේ.
මෙලෙස මෙම ලාංකිකයින් පිරිස කොරෝනා වෛරසය නිසා කුවේටය පුරා පනවා ඇති දැඩි නීතිරීතිද නොතකමින් මෙම උද්ඝෝෂණය කළ බවද එම ආරංචි මාර්ග වැඩිදුරටත් සදහන් කර සිටී.
වීසා නොමැතිව එරට රැඳී සිටින ශ්‍රී ලාංකිකයන්ට ඇතුළු විදෙස් ශ්‍රමිකයින්ට එරටින් පිටවීම සඳහා කුවේට් රජය විසින් පොදු සමා කාලයක් ලබා දී ඇති අතර ඔවුන්ට යළි ශ්‍රී ලංකාවට යෑමට නොමිලේ ගුවන් ප්‍රවේශ පත්‍ර ලබා දෙන බවට ශ්‍රී ලංකා තානාපති කාර්යාලයෙන් ලිපියක් ගෙන එන ලෙසට කුවේට් රජය දැනුම් දී ඇත.
මෙම ලිපිය ලබා ගැනීම සඳහා තමන් දින කීපයක් තිස්සේ තානාපති කාර්යාලයට පැමිණී බවත් , එලෙස ඊයේ (21) අලුයම හතරේ සිට එහි රැඳී සිටියත් තානාපති කාර්යාලයේ එම ලාංකික ශ්‍රමිකයින් සමග කිසදු සාකච්ඡාවක් පවත්වා නැතැයිද එම තානාපති ආරංචි මාර්ග කියා සිටී.
වීසා නොමැතිව රැඳී සිටින ගෘහ සේවිකාවන් ඇතුළු ශ්‍රී ලාංකීය ශ්‍රමිකයන් මෙම මාසය ඇතුළත එරටින් පිටවිය යුතු බවට නීති පනවා ඇතත් තානාපති කාර්යාලයේ නිලධාරීන් ඊට අදාළ ලිපි ලේඛන ලබා නොදෙන්නේ යැයි එම ලාංකිකයෝ චෝදනා කර සිටිති.
මේ අතර අද (22) එරට සිටින ලාංකික ශ්‍රමිකයින්ට විශේෂ නිවේදනයක් නිකුත් කරමින් කුවේටයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කියා සිටියේ කුවේට් රජය විසින් ප්‍රකාශයට පත් කර ඇති පොදු සමා කාලය තුළ ශ්‍රී ලංකාවට යාමට බලාපොරොත්තු වන ශ්‍රී ලාංකිකයින් දඩ මුදල් ගෙවීමකින් තොරව සියරට යැවීම සඳහා ශ්‍රී ලංකා රජය කුවේට් රජය සමඟ නිරන්තරයෙන් කටයුතු කරමින් සිටින බවය.
නමුත් යලි දිවයිනට යැවීමේ ක්‍රියාවලිය ඇරඹිය හැක්කේ ලංකාව තුළ කොරොනා වෛරසය ව්‍යාප්තිය පාලනය කොට කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල විවෘත කිරීමෙන් අනතුරුව යැයිද ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වැඩිදුරටත් කියා සිටී.
COMMENTS
මේ තානාපති කාර්යාල තනිකර සුදු අලි. සල්ලි කකා ඉන්නව කිසිම සේවයක් නෑ. වීසා නැතුව ඉන්න අය ගැන නං කතා කරල වැඩක් නෑ. ඒ වුණාට ඒ මිනිස්සුන්ට අඩුගානෙ සාකච්ඡාවක් දෙන්න තිබුණා.
අපේ සල්ලි පිටට ගෙනියන ශිෂ්‍යයින්ව ගේන්න පුළුවන් නම් අපේ රටට සල්ලි ගේන මිනිස්සුන්ට සාධාරණයක් කරන්න බැරි ඇයි? ඇයි මේ දෙවිදියකට සලකන්නේ?
ශිෂ්‍යයින්ව ගේන කොට ගුවන් තොටුපොලවල් කතාව අදාල වුනේ නෑනේ. ඇයි මේ මිනිස්සුන්ට විතරක් ඒක අදාල වෙන්නේ...? දේශපාලනය කරන අයගේ ළමයි නැති නිසාද..?
අපේ රටට සල්ලි ගේන මිනිස්සුන්ට සාධාරණයක් කරන්න බැරි ඇයි?
අපේ විදෙස් විනිමය කාල පිටරටවල්වල ගිහින් ඉගෙන ගන්නේ වෙනත් රටවලට සංක්‍රමණය වීමේ පරම පවිත්‍ර චේතනාවෙන්.... ඒ අය රටේ ඉහල පෙලන්තියේ අයගේ තොත්ත බබාලා. ඉතින් ඒ අයට නොසලකා කම්කරුවන්ට සලකන්න කියලද ඔහෙලා කියන්නේ?
සිසුන් ලංකාවට ගෙන්න ගන්න පුලුවන්නම් මේ ශ්‍රමිකයෝ ගෙන්න ගන්න බැරි මොකද ? මේ ශ්‍රමිකයෝ අපේ රටට විදේශ විනිමය ගෙනත් දීපු පුරවැසියන් , ඔවුන්ගෙන් බොහෝ දෙනෙකු විදේශ රැකියා කාර්යාංශය හරහා රක්ෂණය වුන පුද්ගලයන් ඔවුන්ට මොනවද දැන් ලැබෙන්නේ ? අසරණ වෙලා ඉන්න ඔවුන්ට අඩුම තරමේ කන්න , බොන්න ඉන්න හිටින්න තැනක්වත් සපයනවද ? රජය අසරණ වෙලා ඉන්න මිනිස්සුන්ගේ ලංකාවේ සිටින්න යැපෙන්නන් ගැන සොයල බැලුවද ?
ඩී සිල්වා ඔයා කියන විදිහට දැන් වැරදි රජයද? මෙච්චර කල් හිටියේ ඇයි? වීසා නැතුව අවසරයක් නැතුව අනික ලංකාවට විදේශ විනිමය ලැබෙන්නේ කියලා රට දියුණුවෙන් ඉන්නේ මෙයාලා කියලා ඔයාලා කියන එක වැරදි අපේ රටේ ගොවියෝ කරන්නේ එතකොට පිටරටට විදේශ විනිමය දෙන එකද? ගොන් කතා කියන්න එපා... අනික ලංකාවේ නොඉඳ රට යන්නේ වැඩිපුර යමක් හොයන්න හා අනිත් අයට වඩා හොඳ ජීවිතයක් ගත කරන්න. එහෙම නැතුව අපේ රටට විදේශ විනිමය ගෙනත් දෙන්න ඕන හින්දා රට යනවා නෙමේනෙ. අපි රටවල් වල හිටියට ආත්මාර්ථකාමී නොවී ඉමු...
ඇන්ටන් ඔබ ඉන්නේ ඔස්ට්‍රියාවේ නම් ඔබ හොඳින්ම දන්නවා ඔස්ට්‍රියන් රජය මෙවැනි ප්‍රශ්නෙකදී තීන්දු තීරණ ගන්න කොට ඔස්ට්‍රියන් පුරවැසියන් සියලු දෙනාටම එක හැන්දෙන් බෙදන බව. මෙතන වෙලා තිබෙන්නේ බලවතුන්ගේ දරුවන්ට එක විදිහකටත් රජය විසින් රක්ෂණ මුදල් අයකරගත් දුප්පත් ශ්‍රමිකයන්ට වෙන විදිහකටත් සැලකීමය, කවුරුවත් රට ඇතුලට ගන්නේ නැතිනම් සියලු දෙනාටම එම නීතිය එක ලෙස ක්‍රියාත්මක කරන්න, එහෙම නැතිනම් රජය විසින් රක්ෂණ මුදල් අයකරගත් රජයේ ලියාපදිංචි ශ්‍රමිකයන්ට ප්‍රමුඛත්වය දී ඔවුන්ව මුලින්ම ලංකාවට ගෙනත් නිරෝධායනය කර සමාජ ගත කරන්න එක රජයේ වගකීමක්, සිසුන් විදේශ ගතවන විට මෙවැනි රක්ෂණයක් රජය හරහා සිදු වන්නේ නැත, එමනිසා සිසුට ප්රමුඛත්වයක් දෙන්න රජය බැදී නැත.