IMG-LOGO

2025 ඔක්තෝබර් මස 22 වන බදාදා


මෛත්‍රීගෙන් යළිත් දේශපාලන බෝම්බයක්

ජිනීවා මානව හිමිකම් ප්‍රශ්නය සම්බන්ධයෙන් ආණ්ඩුවේ ක්‍රියාකලාපය ගැන ජනපති මෛත්‍රී මුල සිටම සිටියේ තරමක විරසකයෙනි. ජනාධිපතිවරයා ලෙස තමා දැනුවත් නොකර ආණ්ඩුවේ වෙනම කණ්ඩායමක් ජිනීවා මානව හිමිකම් සමුළුවට යැවීමට සැලසුම් කිරීම මානව හිමිකම් කොමසාරිස්වරියගේ වාර්තාවට ජිනීවාහි සිටින ශ්‍රී ලංකා තානාපතිවරයා අත්සන් කිරීම සංහිඳියා කාර්යාලයෙ අධ්‍යක්ෂවරයකු ජිනීවා තානාපතිවරයාට ලිපියක් යැවීම මේ ආදී කාරණා රැසක් ජනාධිපතිවරයාගේ විරසකයට හේතුවී තිබිණි.
මේ ගැන ප්‍රසිද්ධියේ දැඩි විවේචනයක් කිරීමට ජනාධිපතිවරයාට අවශ්‍යතාවක් තිබුණ ද පසුගිය සති කිහිපයේ පැවැති උත්සව ඊට වේදිකාවක් නොවූයේ ඒ උත්සව සියල්ලම පාසල් හා පන්සල් මුල්කරගෙන පැවැති උත්සව වූ බැවිනි. ජනාධිපතිවරයා ගිය බදාදා කළුතර මීගහතැන්න පොලිසිය විවෘත කිරීමේ උත්සවය ඒ සඳහා වේදිකාවක් කර ගත්තේය. ජිනීවා ප්‍රශ්නය සම්බන්ධයෙන් ආණ්ඩුවේ ක්‍රියාදාමය ජනාධිපතිවරයා දැඩි විවේචනයට ලක් කළේ කිසිවකුත් අපේක්ෂා නොකළ පරිද්දෙනි. ජිනීවාහි ශ්‍රී ලංකා තානාපතිවරයා මානව හිමිකම් කොමසාරිස්වරියගේ වාර්තාවට සම වගකීම් භාර ගනිමින් අත්සන් කළේ ජනාධිපතිවරයා ලෙස තමාගේ හා විදේශ කටයුතු අමාත්‍යාංශයේ හෝ කිසිදු අනුදැනුමකින් තොරව බව කී ජනාධිපතිවරයා එම අත්සන් කිරීම ප්‍රතික්ෂේප කරන බවත් ඊට දැඩි විරෝධය පළ කරන බවත් කියා සිටියේය. මෙය රටේ ත්‍රිවිධ හමුදාවත්, රටත් රටේ ජනතාවත් පාවාදීමක් බව කී ජනාධිපතිවරයා තානාපතිවරයා ඊට අත්සන් කර ඇත්තේ සංහිඳියා කාර්යාංශයෙ අධ්‍යක්ෂවරයා යැවූ ලිපියක් සැලකිල්ලට ගනිමින් බව ද කීවේය.   
රටේ විදේශ ප්‍රතිපත්තිය ජාත්‍යන්තර සම්බන්ධතා සම්බන්ධයෙන් තීන්දු ගැනීමේ බලය ඇත්තේ ජනාධිපතිට මිස ඊට පහළ අයට නොවන බව ජනාධිපතිවරයා දැඩිව කීවේය. තමාට ද නොදන්වා ජිනීවා යැවීමට ආණ්ඩුව සූදානම් කර තිබූ නියෝජිත කණ්ඩායම තමා මැදිහත්වී වෙනස් කළ බවත් තිලක් මාරපන විදේශ ඇමැතිවරයා හයිබ්‍රිඩ් අධිකරණ නොපිළිගන්නා බව කියමින් කළ ප්‍රකාශය තමා ඇතුළු කණ්ඩායම සකස් කරදුන් ලියවිල්ලක් බවත් ජනාධිපතිවරයා කියා සිටියේ ආණ්ඩුවට කනේ පහරක් එල්ල කරමිනි.  
ත්‍රිපිටකය ලෝක උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කරන්නැයි ඉල්ලා යුනෙස්කෝ සංවිධානයට භාරදෙන යෝජනාව ප්‍රකාශයට පත් කිරීම වෙනුවෙන් ඉකුත් සතියේ මහනුවර දළදා මාළිගාවේ මහමළුවේ පැවැති රාජ්‍ය උත්සවයට සහභාගි වීමට ජනපති මෛත්‍රී සෙනසුරාදා උදේ වරුවේ මහනුවර බලා පිටත්ව ගියේය. උත්සවය සවස 2.00ට ආරම්භ වීමට නියමිතව තිබුණ ද ජනාධිපතිවරයා මහින්ද අමරවීර ද සමග උදේ 11.00ට පමණ නුවරට පැමිණියේය. ජනාධිපතිවරයාට දිවා ආහාරය සූදානම් කර තිබුණේ මහනුවර ජනාධිපති මැදුරේය. ජනාධිපතිවරයා එනවිට එස්.බී. දිසානායක මන්ත්‍රීවරයාත් උතුරුමැද ආණ්ඩුකාර සරත් ඒකනායක ඇතුළු කිහිප දෙනෙක්ද මන්දිරයට පැමිණ සිටියහ. ජනාධිපතිවරයා දවල් කෑමට වාඩි වූයේ එම පිරිසට ද ආරාධනා කරමිනි. ‘ඔයාලා දන්නවද අලුත් නළුවෙක් මෙතන ඉන්නවා’ යැයි ජනාධිපතිවරයා කීවේය. මහින්ද අමරවීර හැර අනෙක් අය නළුවා කවුදැයි දැන සිටියේ නැත. ජනාධිපතිවරයාගේ කතාවට පාදක වූයේ කලින් දින රාත්‍රියේ තරංගනී සිනමා ශාලාවේ පැවැති චිත්‍රපටයක දර්ශනයකි. චිත්‍රපටිය දේවින්ද කෝන්ගහගේ විසින් අධ්‍යක්ෂණය කරන ලද චිත්‍රපටයයි. චිත්‍රපටය යන අතරේ එහි නිලමේ කෙනකුගේ දර්ශනය දුටු ජනාධිපතිවරයා ළඟ සිටි මහින්ද අමරවීරට කියා තිබුණේ අර ඉන්නෙ සරත් ඒකනායක නේදැයි යනුවෙනි. එහෙත් හඳුනාගත නොහැකි නිසා අමරවීර කියා තිබුණේ නෑ ඒක වෙන්න බෑ යනුවෙනි. ‘හොඳට බලන්න නාහෙත් ඒ වගෙනෙ’ ජනාධිපතිවරයා කීවේය. අමරවීරට එ්ත් සැකය. චිත්‍රපටයේ නිලමේ කතා කරද්දී ජනාධිපතිවරයා කීවේ ඔය මම කිව්ව සරත් තමයි යනුවෙනි. ජනාධිපතිවරයා එතන සිටි අලුත් නළුවා දන්නවා දැයි විමසුවේ කලින් දින චිත්‍රපටයේ සරත් ඒකනායකගේ රඟපෑම සිහිපත් කරමිනි.  
යහපාලන ආණ්ඩුවෙන් ඉවත්වූ 16 දෙනාගේ කණ්ඩායමේ වැඩි දෙනකු දේශපාලන කටයුතු කරන්නෙ පොහොට්ටුව සමගිනි. ඉන් 12 දෙනකු පමණ ගිය සතියෙ අඟහරුවාදා පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කාර්යාලයේ දී මහින්ද රාජපක්ෂ මහතා හමුවූයේ තමන්ට සිය දිස්ත්‍රික්කවල දී පොහොට්ටුවේ ඇතැම් මන්ත්‍රීවරුන්ගෙන් සිදුවන කෙනෙහිලිකම්වලට විසඳුමක් ලබා ගැනීමේ අපේක්ෂාව ද ඇතිවය. එම සාකච්ඡාවට ජෝන් සෙනෙවිරත්න, සුසිල් ප්‍රේමජයන්ත, අනුරයාපා, ලක්ෂ්මන් යාපා, සුදර්ශනි ප්‍රනාන්දු පුල්ලේ, සුමේධා ජයසේන, චන්දිම විරක්කොඩි, නිමල් ලන්සා, පුංචි නිලමේ, තාරානාත් බස්නායක, අනුරාධ ජයරත්න ඇතුළු පිරිසක් එක්ව සිටියහ. 16 කණ්ඩායමේ සිටි දයාසිරි, තිලංග, ලක්ෂ්මන්, වසන්ත, ඩිලාන් පෙරේරා යන මන්ත්‍රීවරු ඊට සහභාගි වූයේ නැත. එජාපය සහ ශ්‍රීලනිපය එක්ව පිහිටුවන්නට යන බව කියන ජාතික ආණ්ඩු කතාව ඇත්තදැයි මන්ත්‍රීවරයෙක් විමසා සිටියේය. මහින්ද ඊට පිළිතුරු දෙමින් කීවේ මම නම් හිතන්නෙ නැහැ ආයෙ පාරක් ජාතික ආණ්ඩුවක් හදයි කියලා යනුවෙනි. අපි දැන් ජනාධිපතිවරණය ඉලක්ක කරගෙන එකතුවෙලා වැඩ කරන්න ඕන. විශේෂයෙන්ම මේ ආණ්ඩුව පරාජය කිරීමේ වැඩපිළිවෙළට එකතුවෙලා මුහුණ දිය යුතු යැයි සුසිල් ප්‍රේමජයන්ත කීය.   
දිස්ත්‍රික් හා ග්‍රාමීය මට්ටමින් දේශපාලන කටයුතු කරගෙන යාමේ දී මුහුණ දෙන්නට සිදුව ඇති කෙනෙහිලිකම් ආදිය ගැන ඔවුන්ගෙන් කිහිප දෙනකු කියා සිටියේ මහින්දගෙන් ඊට විසඳුමක් අපේක්ෂාවෙනි. ඔයාලා කැප කිරීමක් කරල මෙතනට ඇවිත් තියෙනවා. 2015දිත් ඔයාලා වැඩ කළේ මට. ඔයාලට සමහර දිස්ත්‍රික්කවල කෙනෙහිලිකම් වන බව මම දන්නවා. ඒකටත් මම වැඩ පිළිවෙළක් හදනවා අපි එකතු වෙන්නෙ නැතිව ජාතික වශයෙන් සියලු දෙනා එකතු කරන්නෙ කොහොමද? මම මේ ගැන පක්ෂ නායක රැස්වීමේදීත් කතා කරන්නම් මහින්ද කීවේ ප්‍රශ්නයට විසඳුමක් දෙන බවට පොරොන්දු වෙමිනි. ඔයාට නම් ප්‍රශ්නයක් නැහැ. කඩාගෙන යන්න පුළුවන්නෙ මහින්ද කීවේ ලක්ෂ්මන් යාපා දෙස බලමිනි. නෑ සර්, මට යන්න පුළුවන් ඒත් අපි කණ්ඩායමක් විදියට මේ ප්‍රශ්නය වෙනුවෙන් පෙනී ඉන්නවා යැයි ලක්ෂ්මන් යාපා කීවේය.  



අදහස් (0)

මෛත්‍රීගෙන් යළිත් දේශපාලන බෝම්බයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1180 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1179 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 435 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site