IMG-LOGO

2025 නොවැම්බර් මස 22 වන සෙනසුරාදා


ආණ්ඩුවේ පසුබෑම ​සමෘද්ධියයි-පොහොර ප්‍රශ්නෙයි නිසාද ?

එජාප මැති ඇමැතිවරු විග්‍රහයක

 

පළාත් පාලන මැතිවරණයෙන් පසුව අගමැතිවරයාගේ ධුරය මෙන්ම ආණ්ඩුවේ ස්ථාවර බව පිළිබඳව විවිධ කතා හා මෙහෙයුම් දියත් වුවද ඒවා සියල්ල දැන් ඉතා ශීඝ්‍රයෙන් යට යාමේ ප්‍රවණතාව ඇතිව තිබෙන බව එජාපය සඳහන් කරයි.  


අගමැතිවරයා හා ආණ්ඩුවේ ස්ථාවර බව ගැන එජාපය එසේ කියද්දී රාජ්‍ය ඇමැති පාලිත රංගෙ බණ්ඩාර ආණමඩුවේදී දෙබරයට යළිත් ගල් ගැසීය. මැතිවරණ ප්‍රතිඵල හා ඇමැති සංශෝධනය ගැන සඳහන් කරමින් ඔහු කියා සිටියේ අගමැතිට එරෙහි විශ්වාස භංගයක් ගෙන ඒමට කටයුතු කරන බවය. නියෝජ්‍ය ඇමැති වසන්ත සේනානායක ද එවැනිම මගක් ගත්තේය.  


එහෙත් අදාළ විශ්වාස භංගයට අත්සන් තැබීමට මෙතෙක් කිසිදු මැති ඇමැති කෙනෙකු ඉදිරිපත් නොවීම තුළ එකී උත්සාහය ද ශීඝ්‍රයෙන් යට යන පසුබිම නිර්මාණයවී තිබේ.  


උඩින් මෙන්ම යටින් ද ගිනි පත්තු වී ඇති බව ඇතැම් ජනමාධ්‍ය වාර්තා කළ ද අගමැතිවරයා සියලු තත්ත්වයන්ට සුපුරුදු සැහැල්ලු බවකින් මුහුණ දෙන බව එජාපය කියයි.  


අගමැතිවරයා වෙනදා මෙන්ම බ්‍රහස්පතින්දා ද සුපුරුදු රාජකාරි සඳහා අරලියගහ මැදුරට පැමිණියේය.  


‘‘එජාපයේ ඇමැති සංශෝධනය අප කළත් ශ්‍රීලනිපයේ එක කල් ගියා හරිනම් දෙකම එකටයි කරන්න තිබුණේ. අපේ සංශෝධන විතරක් කරන්න ඉඩ දීම ගැන මා පෞද්ගලිකව එච්චර කැමති නැහැ’’ ලක්ෂ්මන් කිරිඇල්ල කතාවට මුල පිරුවේය.  


‘‘ආරංචි පළවෙන විදියට ශ්‍රීලනිප ඇමැති මාරුව කරන්න අමාරු තත්ත්ව ඇතිවෙලා කියලත් ආරංචියි. ශ්‍රීලනිප කවුරුවත් සංශෝධනවලට කැමැති නැති කතාවකුත් කියනවා. මේ වෙලාවෙ කරන්න බැරි සංශෝධන පහුවෙලා නම් කරන්න බැරි වේවි. එජාපයට ශක්තිමත් සංවිධානයක් තිබෙන නිසා සංශෝධන කළා. එහෙම හයිය නැති පක්ෂයක මේවා කරන්න අමාරුයි’’ වජිර අබේවර්ධන කීය.  


‘‘මගේ උසස් අධ්‍යාපන හා මහා මාර්ග අමාත්‍යංශය මාරු කළේ මගේ ප්‍රශ්නයක් නිසා නෙවෙයි. අපේ වෙන කෙනකුගේ ප්‍රශ්න නිසා කියලත් දැන් ඔප්පු වෙලා’’ ලක්ෂ්මන් කිරිඇල්ල කීය.  


‘‘මගේ බැංකු ගලවනවා කියලත් පත්තරවල ගියා. එහෙම වුණොත් මට බෝඩ් ලෑල්ල විතරයි ඉතිරි වෙන්නේ. මා ජනාධිපතිතුමා හා අගමැතිතුමා ළඟ තියලා මේක ඇහුවම එතුමලා දෙන්නම බැංකු ගලවන්නෙ නැති බව කීම සහනයක්!’’ ලක්ෂ්‍මන් කිරිඇල්ල වැඩිදුරටත් කීය.  


‘‘ආණ්ඩුවේ පසුබෑමට හේතුව සමෘද්ධි හා කෘෂි අමාත්‍යාංශයේ පොහොර ඇතුළු ප්‍රශ්නයයි. අපේ නීතිය හා සාමයත්, ශ්‍රීලංකන් ප්‍රශ්නයත් නිසා ඒ ඇමැතිකම මාරු කළා. හරි නම් ශ්‍රීලනිපයේ කෘෂි හා සමෘද්ධියත් මාරු කළ යුතු බව මිනිස්සු කියනවා’’ බදුලු දිස්ත්‍රික් මන්ත්‍රී චමින්ද විජේසිරි කීවේය.  


‘‘අපේ දක්ෂ තරුණ අයට මීට වඩා වගකීම් ආණ්ඩුවේ හා පක්ෂය තුළ දීම කරන්න යන එක වටිනවා’’ දයා ගමගේ කීය.  


‘‘දූෂණ වංචා සෙවීම සඳහා කමිටුව ඇතුළු ප්‍රධාන කමිටු තුනක් දැම්මා. ඒවා කඩිනමින් වැඩ කරාවි. ඊළඟට ජේ.සී. අලවතුවලගේ ප්‍රධානත්වයෙන් එජාප පසුපෙළ මන්ත්‍රීවරුන්ට ජනතා ප්‍රශ්න විසඳීමට වැඩපිළිවෙළ සකස් කර පහසුකම් දීම ගැනත් පත් කළ කමිටු වාර්තාව අලවතුවල මට දුන්නා.  


සජිත්, නවීන්, අජිත්, හර්ෂලගේ කමිටුව හරහා තරුණ ඇමැතිවරුන්ගේ වැඩපිළිවෙළ ශක්තිමත් කරන නිර්දේශ හෙට ලැබේවි. ඒ හරහාත් ජනතාවගේ මූලික ප්‍රශ්නවලට විසඳුම් දෙනවා.  


රුවන් විජයවර්ධනගේ ප්‍රධානත්වයෙන් එජාප ප්‍රතිව්‍යුහගත කිරීමේ කමිටු නිර්දේශ සඳුදා ලැබේවි. සියලු කමිටුවල නිර්දේශ එකතු කර එක වැඩපිළිවෙළ කඩිනමින් දියත් කරනවා’’ අගමැති කීවේ සියලු දෙනාගේ ප්‍රශංසා මැදය.  


‘‘ණය ගෙවලම හරියන්නෙ නැහැ. ඒක කරන ගමන් ජනතාවට සහන, තරුණයන්ට රැකියා හා රටට ගමට සංවර්ධනයත් මේ හරහා වේගවත් කරන්න තීන්දු කිරීම වටිනවා. මේවා කලින් නොකළ නිසයි, ජනතාව අපට රිදෙන්න ටොක්කක් දුන්නේ’’ ලක්ෂ්මන් කිරිඇල්ල කීවේය.  


‘‘ ජනතාවගේ ඇඟට දැනෙන වෙනස්කම් කරනවා. තරුණ මන්ත්‍රීලා ඇමැතිලා හා අනිත් අයටත් මීට වඩා වගකීම් හා පහසුකම් දෙනවා’’ අගමැති කීය.  


‘‘​ෆොන්සේකාට නීතිය හා සාමය දීමට එජාපය එකඟවෙලා තිබෙද්දී ඒක යට යාම ගැන ජනතාව අසතුටුයි වගේ’’ දයා ගමගේ කීය.  
‘‘ෆීල්ඩ් මාර්ෂල්ගේ පත්වීම වැළැක්වූයේ එජාපය නොවෙයි. බාහිර බලවේග බව දැන් එළිවෙලා’’ ගයන්ත කරුණාතිලක සඳහන් කළේය.  


‘‘ඒ වගකීම තාවකාලිකව අගමැතිතුමා ගැනීම හොඳයි. සතියකින් දෙකකින් වගකීම් සුදුසු කෙනෙකුට දීමට තීන්දු කළ එකත් හොඳ දෙයක්. හැබැයි හොරුන් ඇල්ලුවේ නැතිනම් ආණ්‍ඩුව ඉවරයි.’’ ජේ.සී. අලවතුවල හා චමින්ද විජේසිරි කීවේ එකම කතාවකි.  


‘‘අම්පාරේ වඳ පෙති කතාව මොකක්ද? ඒ පළාතේ පොහොට්ටුවේ අය රට ගිනි තියන්න මඩ ප්‍රචාරය ගෙනියනවා කියලත් ආරංචියි’’ වජිර අබේවර්ධන ඇසුවේ දයා ගමගේ ගෙනි.  


‘‘කෑම ඇඳුම් ආදියට දාන්න පුළුවන් වඳ පෙති ජාතියක් නැහැ කියා ලෝකයේ ඉහළම වෛද්‍යවරුන් තහවුරු කර තිබෙද්දී සමහරුන් බොරු ප්‍රශ්න ඇති කරනවා. පෙත්තක් හමු වුණාලු. ඒක වඳ පෙත්තක් කියා තහවුරු වෙලා නැහැ. අවස්ථාවාදීන් මේ වගේ දේවලුත් පටු දේශපාලනයට යොදා ගන්නවා. සිංහලයා වඳ කරන්න කවුරු හරි හදනවා නම් ඒක තරම් විහිලුවක් තවත් තිබෙනවද?’’ දයා ගමගේ කීය.  


‘‘අගමැතිතුමාගේ ආර්ථික කමිටුව ගැන ජනාධිපතිතුමා ගිය කැබිනට් එකේදී ප්‍රශ්න කළා. ඒ කමිටුවේදී වැඩ හිරවෙන බවට යම් මතයක් තිබෙනවා. ඒ නිසා කමිටුවේ වැඩ කඩිනම් කිරීම වටිනවා’’ වජිර අබේවර්ධන කීය.  


‘‘කමිටුවේ වැඩ නවත්තන්න තීන්දු කළේ නැහැ. දූෂණය වළක්වන්නයි, ඔය කමිටුව හැදුවේ. හැම දෙයක්ම හොයා තීන්දු දෙන්න ගියාම සුළු ප්‍රමාද වෙනවා. ඒ ප්‍රමාද නැති කරන්න වහාම පියවර ගන්නවා’’ අගමැති පිළිතුරු දුන්නේය.  


‘‘අනික ජනාධිපතිතුමා ඔය කමිටුවේ ප්‍රමාදවීම් ගැන දුන් සමහර උදාහරණවලට කමිටුව නොවෙයි, වෙන වෙන අමාත්‍යාංශ වගකිව යුතු බවයි මට ඉහළ නිලධාරීන් කිහිප දෙනෙකුම කිව්වේ’’ ජේ.සී. අලවතුවල කීවේය.  


‘‘චම්පික රණවකගේ නාගරික නිවාස වැඩ පිළිවෙළ හිර වුණේ කමිටුවෙන් නොවෙයි මුදල් හිඟකම නිසයි’’ නිලධාරියෙක් කීය.  


‘‘චම්පිකට අපි මුදල් සොයලා දෙනවා. එජාප ප්‍රමුඛ ආර්ථික න්‍යාය පත්‍රය හා ජනාධිපතිතුමා ප්‍රමුඛ ශ්‍රීලනිප අදහස් හා යෝජනා මත ආර්ථිකය වේගයෙන් ඉදිරියට තල්ලු කරනවා’’ අගමැතිවරයා කීය.  


‘‘විගණන පනත කැබිනට් එකෙහි සම්මත කිරීම වටිනවා. පනතට සංශෝධන තිස් ගණනක් ආවා. දේශපාලකයන්ට වඩා සමහර නිලධාරීනුයි, මේක ප්‍රමාද කළේ’’ ලක්ෂ්මන් කිරිඇල්ල සඳහන් කළේය.



අදහස් (0)

ආණ්ඩුවේ පසුබෑම ​සමෘද්ධියයි-පොහොර ප්‍රශ්නෙයි නිසාද ?

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 10 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 132 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 979 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site