IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


ලොවම තිගස්සන කාශ්මීරය

පාකිස්තානයේ ඉන්දීය විරෝධය

ඉන්දියාවේ පාකිස්තානු විරෝධය

 

මහා ලේඛක ඩබ්ලියු. ඒ. සිල්වා සූරින් ඔහුගේ “ලක්‍ෂ්මී හෙවත් නොනැසෙන රැජින” නම් වූ නව කතාවෙන් කාශ්මීරයේ වගතුග බොහොමයක් ගැන කියා තිබේ. හිමාල අඩවියෙන් හමා එන සීතල මද සුළඟ, සෞම්‍ය දේශගුණය, හරිත පැහැයගත් පරිසරය, රතු පැහැයෙන් දිලෙන ඇපල් වතු, ඒවායේ ඵලවල පාටින් යුතු කාශ්මීර ළඳුන්ගේ රූ සිරිය ආදී බොහෝ දේ එම කෘතියෙහි අපූරුවට විස්තර කර ඇත.


එහෙත් මාධ්‍ය වාර්තා කියන ආකාරයට කාශ්මීරයේ සීතල දේශගුණය හා මඳනල මේ වන විට යුද උණුසුමෙන් රත් වී ඇත. ඉන්දු - පාකිස්තාන් දේශ සීමාව ආසන්නයේ ගම්මාන රාශියකට මෙම දෙපාර්ශ්වය විසින් ගුවන් ප්‍රහාර එල්ල කර ඇති බවත් ඒවායින් සිවිල් වැසියන් කීප දෙනෙකු මියගිය බවත් ප්‍රකාශයට පත්ව ඇත. එක් ඉන්දියානු ගුවන් යානයක් වෙඩි තබා බිම හෙළා ඇති අතර එහි නියමුවා වූ අභිනන්දන් වර්තමාන් අත්අඩංගුවට ගත් බවත් වාර්තා වීම නිසා මෙම උණුසුම තවදුරටත් ඉහළ ගියේය. එහෙත් පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් මහතා එම නියමුවා නිදහස් කර ඉන්දියාවට භාරදීමට කටයුතු කිරීම නිසා එම තත්ත්වය මදක් සමනය වී ඇති බවද කියවේ. මෙම පසුබිම හමුවේ කාශ්මීර ප්‍රාන්තයේ මෙවැනි අර්බුදකාරී පසුබිමක් නිර්මාණයවීමට බලපෑ සාධක ගැන සිහිපත් වූවේ මෙයට දසක හතකටත් එහා අතීතයේදී නොයෙක් අයගේ පෞද්ගලික මතිමතාන්තර සහ ඒ අනුව සිදුවූ අතපසු කිරීම් නිසා මේ සා දීර්ඝ කාල පරාසයකට පසුවත් අහිංසක නිරායුධ සිවිල් වැසියන්ගේ ඝාතන සිදුවීම් සහ අසල්වැසි අපට වුවද බලපාන අයුරු න්‍යෂ්ඨික යුද ගැටුම් සිදුවීමටද ඉඩකඩ ඇති බව සැලකීමේදීය.


ඉන්දියානු අර්ධ මහාද්වීපය දකුණින් කන්‍ය කුමාරි තුඩුවේ සිට උතුරින් කාශ්මීරය දක්වාත් බටහිරින් ගුජරාටයේ සිට නැගෙනහිරින් ඔරිස්සා ප්‍රාන්තයේ ගුහාවටී නගරය දක්වාත් විසිරී පැතිරි ගිය අතිවිශාල භූමි ප්‍රදේශයකින් සමන්විත වූවේය. මෙම මහා රාජ්‍යය බි්‍රතාන්‍ය හිරු නොබසින අධිරාජ්‍යයට යටත්වීමේදී කුඩා රාජ්‍ය පන්සියයකටත් අධික සංඛ්‍යාවක් තිබුණි. ඒවායේ රජකම් කළ කුමාරවරුන් හඳුන්වනු ලැබුවේ මහා රාජාවරුන් යනුවෙනි. ඉන්දියානු මහා රාජ්‍යය බෙදා ඉන්දියාව සහ පකිස්තානය යනුවෙන් රාජ්‍යයන් දෙකක් පිහිටුවීමේදී තමන්ගේ ප්‍රදේශය එක් විය යුත්තේ කුමන රටට දැයි තීරණය කිරීමේ අයිතිය මෙම මහා රාජාවරුන් ලබා දී තිබුණි. මුස්ලිම්වරුන් සඳහා වෙනම රටක් අවශ්‍ය යැයි අරගලයක් මෙහෙයවූ මොහමඞ් අලි ජින්නා මහතා බි්‍රතාන්‍ය රජයට කරුණු ඉදිරිපත් කර තිබුණේ මුස්ලිම්වරු බොහෝ දෙනෙක් වෙසෙන පන්ජාබය, බෙංගාලය, සින්ද්, වයඹ දිග දේශසීමා ප්‍රාන්තය සහ කාශ්මීරය යන ප්‍රාන්ත එක් කොට පකිස්තානය බිහි කළ යුතු බවයි. මෙය සිදු කළ යුතු බවට බි්‍රතාන්‍යය තීන්දු කළ අවස්ථාවේදී බරපතළ ගැටලුවක් පැන නැගුණේය. එයට හේතුව වූයේ පන්ජාබයේ හින්දු සහ ෂික් ආගම් අදහන විශාල පිරිසක් සිටීමයි. බෙංගාලයේද හින්දුහු විශාල පිරිසක් ජීවත් වූහ. කාශ්මීරයේ තත්ත්වයද එයම විය. තවත් ප්‍රයෝගික ගැටලු කීපයක් තිබුණි. ප්‍රධානම ප්‍රශ්නය වූයේ නිදහසෙන් පසු ඉන්දියාවේ බලයට පත්වීමට නියමිතව සිටි ජවහර්ලාල් නේරු මහතාගේ මුල්ගම් ප්‍රදේශය කාශ්මීරය වීම නිසා කිසිදු බෙදීමකට ඔහු එකඟ නොවීමය. එම ප්‍රාන්තය බෙදී හෝ නොබෙදී පාකිස්තානයට එකතු කිරීමට ඔහු සහාය නොවූවේය. තවත් බරපතළ ගැටලුවක් තිබුණි. එනම් කාශ්මීරය පාලනය කළ මහාරාජා වූ හරි සිං මුස්ලිම්වරයෙකු නොවීමයි. ඔහු සික්වරයෙකු විය. ඉන්දියානු ආණ්ඩුව මහා රාජාවරුන් ගෙන්වා සමුළුවක් පවත්වා විමසුවේ තමන්ගේ රාජ්‍යය කුමන රටක් සමග එකතු වන්නේද කියාය. කාශ්මීරයේ මහාරාජා වූ හරිසිං කියා සිටියේ තමා ඉන්දියාවට හෝ පාකිස්තානට එක් නොවන බවත් තමාට අවශ්‍ය වන්නේ කාශ්මීරය ස්වාධීන වෙනම රාජ්‍යයක් ලෙස පවත්වාගෙන යාමට බවත්ය. එය ඇසූ ප්‍රතිරාජයා වූ මවුන්ට් බැටන් සාමිවරයා එය ප්‍රතික්‍ෂේප කළේය. ඔහු කියා සිටියේ ඉන්දියාව පකිස්තානය සහ චීනය යන බලවත් රටවල් තුනේ සීමාව වන ස්ථානයේ කාශ්මීරය නමින් වෙනම රාජ්‍යයක් ස්ථාපිත කළහොත් එය නිරන්තරයෙන්ම යුද පිටියක් වනු ඇති බවයි. එය කිසිසේත්ම සිදු නොවිය යුත්තක් බවද ඔහු කියා සිටියේය. හරි සිං එයට කැමති වූයේ නැත. ඒ නිසා ප්‍රශ්නය ගැන සාකච්ඡා කිරීම පසුදාට කල් දැමුණි. එහෙත් හරි සිං පසුදා පැමිණියේ නැත. ඔහු තමාට බඬේ අමාරුවක් සෑදී ඇති නිසා සාකච්ඡාවට පැමිණීමට නොහැකි වන බව දන්වා මවුන්ට් බැටන් සාමිවරයාට පණිවුඩයක් එවා තිබුණි. අද දක්වා වසර හැත්තෑවකටත් අධික කාලයක් ගතව තිබියදී මේ සතියේත් මිනිස් ජීවිත සංඛ්‍යාවක් විනාශ වී ගියේ හරි සිං වෙත හැදුණු දේශපාලන බඬේ අමාරුව නිසා බව අපට සිහිපත් වේ.

 

පාකිස්තානය බිම දැමූ ඉන්දීය යානයේ සුන්බුන්

 

 

ඉන්දියාව එක්සත් කර බොහෝ ප්‍රාන්ත ඒ යටතට එක් කර ගැනීමට කටයුතු කළේ නිදහස් ඉන්දියාවේ ප්‍රථම ස්වදේශ කටයුතු ඇමතිවරයා වූ සර්දාර් වල්ලබායි පතේල් විසිනි. වර්තමාන ඉන්දියාවට අයත්වන සියලුම ප්‍රාන්ත ඒ වටා එක්සත් කර ගැනීමේ වගකීම දැරුවේ ඔහු විසිනි. මේ ප්‍රතාපවත් නායකයාගේ උනන්දුව නොවන්නට නිදහස් ඉන්දියාවේ සිතියම වෙනත් ආකාරයක් ගන්නට පවා ඉඩ තිබුණි. නිදහස් අරගලයේදී මහත්මා ගාන්ධි සහ ශ්‍රී නේරුට පමණක් දෙවැනි වූ සර්දාර් පතේල්ට මෙවැනි ජාතික ප්‍රශ්න විසඳීමේදී ඔහුගේ පෞරුෂයද මහත් සේ බලපෑ බව සඳහන් කළ යුතුය. ඉන්දියාවේ කුඩා රාජ්‍යයන් එරට ආණ්ඩුව යටතට එක් කර ගැනීම එකල හැඳින්වුණේ ‘පතේල්ගේ වට්ටියට ඇපල් එකතු කිරීම’ වශයෙනි. මෙසේ කාශ්මීරය නමැති වටිනා ඇපල් ඵලයද පතේල්ගේ වට්ටියට වැටුණි. ශ්‍රී නේරුගේ ජන්ම භූමිය වශයෙන් එයට පැවති බැඳීම සහ ගෞරවය මෙන්ම එයින් ඇති වූ බලපෑමද මහත් සේ මේ කෙරෙහි ක්‍රියාත්මක වූ බවද අමතක නොකළ යුත්තකි.


කාශ්මීරය ඉන්දියාවට එකතු කර දීම උදෙසා ප්‍රතිරාජයාව සිටි මවුන්ට් බැටන් සාමිවරයාද දැඩි උනන්දුවකින් ක්‍රියා කළ බව සඳහන් වේ. පකිස්තානය සමඟ එක්විය යුතුයැයි උද්ඝෝෂණය කළ මුස්ලිම් නායකයන්ට ඔහු ස්ථිර පොරොන්දුවක් ලබා දී තිබුණි. මෙසේ ඉන්දියාවට කාශ්මීරය එක් කරනුයේ ස්ථිරව නොව තාවකාලිකව බවයි. පසුකාලීනව ජනමත විචාරණයක් සිදු කරන බවත් එහිදී කාශ්මීර ජනතාව ලබාදෙන තීරණයට අනුව තමන් කැමති රටකට එකතු විය හැකි බවටද සාමිවරයා පොරොන්දු විය.

 


මෙම පොරොන්දුවලට මුළාවී මුස්ලිම් ජනතාවද නිහඬව සිටියේ නැත. මේ සියලු තීන්දු තීරණ අතරේ ඔව්හුද තම අයිතීන් වෙනුවෙන් සටන් වැදුණහ. මේ එහි එක් අවස්ථාවකි. 1947 ඔක්තෝබර් 23 වැනිදා ඉන්දියාවට විශේෂ උත්සව දිනයකි. එයට හේතු වූවේ හින්දු භක්තිකයන් මහත් උනන්දුවෙන් සමරනු ලබන දුර්ගා දේවියගේ සටන පිළිබඳ අනුස්මරණය එදිනට යෙදී තිබීමයි. මෙම උත්සවය කාශ්මීරය ඒකාලෝක කරමින් හින්දුහු පවත්වමින් සිටියහ. මේ වන විට පකිස්තානයේ වයඹ දිග දේශ සීමා ප්‍රාන්තයේ පතාන්වරු පිරිසක් කාශ්මීරයේ ශ්‍රී නගර් අගනුවර වෙත පැමිණ සිටියහ. ඔවුන් එහි ප්‍රධාන විදුලි බලාගාරය පුපුරවා හැරියහ. ඒ සමගම සිදු කළ ප්‍රබල පහරදීම් මාලාවක් නිසා ප්‍රාන්තයම අකර්මණ්‍ය විය. එහෙත් ඒ වනතුරුත් එරට රැඳි සිටි බි්‍රතාන්‍යයෝ මෙම ප්‍රහාරය ව්‍යාර්ථ කර දැමූහ.


පසු කලෙක පකිස්තාන උදව් ඇතිව ශ්‍රී ලංකාවේ පැවතුණු ආකාරයේ බෙදුම්වාදී යුද්ධයක් එහි ඇති වූ අතර එමගින් විශාල විනාශයක් සිදුවූ නමුදු එය මැඩ පැවැත්වීමට හැකි විය. ප්‍රාන්ත මහ ඇමතිවරයා වූ ෂෙයික් අබ්දුල්ලා මුලින් කොන්ග්‍රස් පාක්‍ෂිකයෙකු වූ නමුදු පසුව ඔහු වෙනත් මතවාදයකට මාරු වූ බව කියනු ලැබේ. එනිසා පසුව බලයට පත් ඔහුගේ පුත් පාරුක් අබ්දුල්ලා සිරකර තැබීමටද මධ්‍යම ආණ්ඩුව පසුබට නොවීය.


කාලය ගෙවී ගියේය. කවදත් කොතනදීත් සිදුවන අයුරින් දේශපාලකයන්ගේ පොරොන්දු කිසිවක් ඉටු නොවී කාලයේ වැලි තලාවට යටව ගියේය. එහෙත් ප්‍රශ්න එසේ සඟවා තැබිය නොහැක. වතුරේ ගිල්වා තැබීමට උත්සාහ කරන රබර් බෝලයක් මෙන් එම අර්බුද යළි යළිත් මතුපිටට පැමිණේ. ඒ සෑම වාරයකදීම විනාශ වනුයේ මිනිස් ජීවිත වීම බේදයට හේතුවකි. එනිසා කාශ්මීර අර්බුදයද විසඳුමකින් තොරව හැත්තෑ වසරක් ඉක්ම ගියා සේම තවත් කාලාන්තරයක්ම ජීවිත බිලි ගනිමින් ඉදිරියට ඇදී යන බව නිසැක ය.

 

 


සෝමසිරි වික්‍රමසිංහ
ඡායාරූප : අන්තර්ජාලයෙනි

 
 



අදහස් (0)

ලොවම තිගස්සන කාශ්මීරය

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31176 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13334 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10962 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 64 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 896 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 269 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site