IMG-LOGO

2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා


ඇළ මාර්ග - පොදු ස්ථාන වනසන නරුමයෝ

බත්තරමුල්ල මාදිවෙල තෙත්බිම් උද්‍යානය මැදින් ගලා යන ඇළ මාර්ගය ප්ලාස්ටික් සුසාන භූමියක් බවට පත්වී මුළුමහත් පරිසරයම නරකාදියක් බවට පත්වී තිබෙනු පසුගියදා අපගේ ‘ලංකාදීප’ පුවත්පතේ මුල් පිටුවේ ඡායාරූපයකින් රටටම දැකගත හැකි විය. මේ අපරාධයට වගකිවයුත්තේ එම ඇළ මාර්ගය තමන්ගේ කුණු ශුද්ධ පවිත්‍ර කරගැනීමේ පවිටු චේතනාවෙන් ක්‍රියා කරමින් ලොකු ලොකු යාන වාහනවලින් පැමිණ මලු‍ පිටින් කුණු විසි කරන නෝනලා සහ මහත්වරුන් බව අවට ප්‍රදේශවාසීන් පුවත්පතට ප්‍රකාශ කර තිබිණි.

පරිසරය රැකගැනීමේ වැදගත්කම පිළිබඳව කිසිදු සංවේදී බවක් නොපෙන්වන නරුම පුද්ගලයන් අතින් දූෂණයට ලක්වන මාදිවෙල ඇළ මාර්ගය වැනි ස්ථාන බොහෝ සංඛ්‍යාවක් කොළඹ නගරය තුළම පවතී. පාර්ලිමේන්තු සංකීර්ණයට යාබද ඇළ මාර්ගයක් පසුගිය දිනවල කුණු තෙල් තට්ටුවකින් වැසී යාමද තවත් එක් උදාහරණයකි. එසේ තෙල් තට්ටුවක් මෙන් පෙනී ගොස් ඇත්තේ එම ඇළ මාර්ගයට විශාල වශයෙන් අපද්‍රව්‍ය එක්වීම නිසා බව අනාවරණය විය. ආරක්ෂාව අතින් ප්‍රමුඛස්ථානයක් වන පාර්ලිමේන්තු සංකීර්ණය අවට ප්‍රදේශවල පරිසරයත් මේ ආකාරයට දැඩි දූෂණයට ලක්වන්නේ නම් සෙසු ස්ථාන පිළිබඳ කතා කිරීමත් පලක් නැත.

ප්ලාස්ටික් පිරී ගිය මෙම ඇළ මාර්ගය පිහිටි මාදිවෙල අක්කර 38ක භූමිභාගය කුරුලු‍ උද්‍යානයක් ලෙස සංවර්ධනය කිරීමට නාගරික සංවර්ධන අධිකාරිය මගින් සැලසුම් කර ඇතැයි පසුගිය දිනවල ප්‍රකාශයට පත්විය. එම ප්‍රකාශයත් සමඟ ඊට විරෝධය පාමින් විවිධ පරිසරවේදීන් සහ දේශපාලනඥයන් පෙනී සිටි බව ද දක්නට ලැබිණි. එහෙත් මිනිසුන් පිරිසකගේ පිළිකුල් සහගත ක්‍රියා හේතුවෙන් මුළු ඇළ මාර්ගයම ප්ලාස්ටික් කනත්තක් බවට පත්වී විනාශයට යාම පිළිබඳව මේ දේශපාලනඥයන්ටත් පරිසර සංවිධානවලටත් වගේ වගක් නැත. ඇළට කුණු විසි කරන ලොකු ලොකු කට්ටිය තම තමන්ගේ හිතවතුන් වීම එසේ හැසිරීමට හේතු වී ඇත්දැයි සැකයක් ඇතිවීම වැළැක්විය නොහැක.

පරිසර සංවිධානවල සහ ඇතැම් දේශපාලනඥයන්ගේ මේ දෙබිඩි ප්‍රතිපත්තිය පිළිබඳව අදහස් දක්වන ප්‍රදේශවාසියකු ප්‍රකාශ කර තිබුණේ මාදිවෙල තෙත් බිම් කලාපය විනාශ වීම අතීතය දක්වා දිවයන අපරාධයක් බවය. ජේ.ආර්. ජයවර්ධන රජය පාර්ලිමේන්තු සංකීර්ණය ගොඩනැංවූ අවධියේ මේ පළාත්වල කුඹුරු මඩවලින් පුරවා යටකර දැමූ බවට ද පළාතේම කුණු නගර සභාවලින් ගෙනැවිත් එම කුඹුරු ඉඩම්වලට දමා ගඳ ගැස්වූ බවට ද ඔහු චෝදනා කර තිබිණි. මේ නිසා පොඩි වැස්සටත් ගෙවල් යට වන බව ද වර්තමානයේ වාහනවලින් පැමිණ කුණු විසි කරන නෝනලා මහත්තයලා තමන් මග රැක සිට අල්ලාගත් බව ද ප්‍රකාශ කර තිබූ ඔහු දැන් මාධ්‍ය සංදර්ශන පවත්වන පරිසරවේදීන් සහ දේශපාලනඥයන් එදා සිටියේ කොහේදැයි ප්‍රශ්න කර තිබිණි.

පරිසර සංවිධානවලින් පරිසරය රැකගැනීම සඳහා ඉටුවන කාර්යභාරය අවතක්සේරු කිරීම අපගේ අරමුණ නොවන බව පෙන්වා දිය යුතුය. එහෙත් යම් පළාතක සංවර්ධන කටයුත්තක් ආරම්භ කරන සෑම අවස්ථාවකම ඊට විරෝධය පෑම පරිසර සංවිධානවල මූලික පරමාර්ථය නොවිය යුතු බව ද ඒ සමඟ සඳහන් කළ යුතුය. මාදිවෙල අක්කර 38ක භූමි කලාපය උද්‍යානයක් ලෙස සංවර්ධනය කිරීම එම පළාතේ පරිසරය පෝෂණය කෙරෙන පරිසර හිතකාමී ව්‍යාපෘතියකි. කුරුලු‍ උද්‍යානයක් සැකසීම පරිසරය විනාශ කිරීමක් විය නොහැක. පරිසර සංවිධානවල ප්‍රමුඛ කාර්යය විය යුත්තේ මාදිවෙල තෙත්බිම ප්ලාස්ටික් කනත්තක් බවට පත්කරන පරිසර දූෂකයන්ට විරෝධය පෑම මිස පරිසරයට අදාළ සෑම ව්‍යාපෘතියක්ම මාධ්‍ය සංදර්ශන බවට පත්කර ගැනීම නොවන බව අපගේ විශ්වාසයයි.

රටේ සංවර්ධන කටයුතු කිරීමේදී ඇතැම් විට පරිසරයට හානිවන කටයුතු සිදුවන බව නොරහසකි. එවැනි හානි හැකි තරම් අවම කරගනිමින් ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම අදාළ ආයතනවල වගකීමය. මාදිවෙල තෙත්බිම් කලාපයේ ඇළ මාර්ගය දැඩි ලෙස දූෂණය වී ඇත්තේ මිනිසුන්ගේම වරදින් මිස එවැනි ව්‍යාපෘතිවල වරදකින් නොවන බව පැහැදිලිය. එවැනි තත්ත්වයකදී එම පළාත කුරුලු‍ උද්‍යානයක් ඉදිකර පරිසරය සංරක්ෂණය වන ව්‍යාපෘතියක් ඇරඹීමට විරෝධය දක්වන දේශපාලනඥයන් සිටිත් නම් ඔවුන් එසේ කරන්නේ දේශපාලන ආත්මාර්ථය සඳහා මිස යහපත් චේතනාවකින් නොවන බවත් පෙන්වා දිය යුතුය. ඕනෑම ව්‍යාපෘතියකට එරෙහි වීම තමන්ට ලකුණු දමාගැනීමක් වශයෙන් සලකා කටයුතු කිරීම දේශපාලනඥයන්ගේ අරමුණ නොවිය යුතුය. පරිසරයට ප්ලාස්ටික් කුණු එකතු වීම වළක්වා ගැනීමේ ව්‍යාපෘති සහ පරිසරය ආරක්ෂා කර ගැනීම දේශපාලනයට අදාළ කරගත යුතු නැත.

මේ අතර ජනතාවට ව්‍යායාම් කිරීම සඳහා ඇති උද්‍යාන වනසන නරුමයන්ද සිටින බව මෑතක සිට දක්නට ලැබේ. ඊට හොඳම උදාහරණය වශයෙන් නුගේගොඩ අති මනස්කාන්ත උද්‍යාන දැක්විය හැකිය. විවේක ගැනීමට එහි එන නරුමයන් තැන් තැන්වල ප්ලාස්ටික් කෝප්ප, ආහාර පාර්සල් ඔතා ඇති පොලිතින් බෑග්, සමහර වෙලාවට කෑමෙන් පසු ඉතිරි වූ ආහාර සමග පොලිතින් බෑග් ද දමාගොස් ඇති ආකාරය දැකගත හැකිය. මේ නරුමයන්ට වෙනම අපායක් තිබිය යුතු යයි එහි එන පරිසරවේදියෝ පවසති.

(***)



අදහස් (0)

ඇළ මාර්ග - පොදු ස්ථාන වනසන නරුමයෝ

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31342 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13564 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11008 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 123 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 965 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 283 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site