“සැබෑ ඉතිහාසය තුළ මෙම ප්‍රයත්නය සටහන් විය යුත්තේ යහපත් අරමුණක්, අදුරදර්ශී එඩිතර බවක් හා මනෝරාජික යුද සැලැස්මක් සහිතව මහජනතාවටද රහසින් මනා ලෙස පුහුණු කෙරුණු ධනපති රාජ්‍ය යන්ත්‍රයට එක් රැයකදී පහරදී රාජ්‍ය බලය අත්පත් කර ගැනීමට දැරූ සුළු ධනේෂ්වර සිහිනයක් ලෙසටය. මේ අරගලය මෙලෙස හැඳින ගැනීම අප අපටම කර ගන්නා නිගරුවක් නොව අපේම අතීත දේශපාලනයේ බොළඳ බව යථා පරිදි වටහා ගැනීමකි.


71 කැරැල්ල පිළිබඳව මහ නඩුවේ 19 වැනි විත්තිකරු වූ පියසිරි කුලරත්න “තක්සලාවක් වූ සිපිරි ගෙය” කෘතියෙන් පවසන්නේ එලෙසිනි. කැරලිකරුවන්ගේ සැබෑ වුවමනාව නිශේධ කිරීමට වැල්ලවායෙන් බිහි වූ පළමු වෙඩි හඬ එක් කරුණක් පමණක් බව දේශපාලන නිරීක්ෂකයෝ පවසති. ඒ කතාව කියැවෙන්නේ මෙලෙසිනි.


මිහිදුම් සළු එතෙන සුන්දර කඳු පෙළකට මැදි වූ තැනිතලා බිම් කඩක් දායාදය කර ඇතත් වැල්ලවායේ ඇත්තේ කටුක දේශගුණයකි. ඒ සොඳුරු බිම දැනට වසර 46කට පෙරදි ලෙයින්, ගින්නෙන්, යකඩින් දැවී ගියේය. දිනය 1971 අප්‍රේල් 05 වැනි දින හිමිදිරි පාන්දරය. සෝවියට් විප්ලවයේ ආරම්භක වෙඩි මුරය දැල් වූ අව්රෝරා නෞකාව මේ බිමේදි වැල්ලවාය විය. අප්‍රේල් තරුණ නැගිටීම දෝංකාරදීම ඇරඹුණේ වැල්ලවායෙනි. එම නැගිටීමෙන් 71 කැරැල්ලට හා ඉදිරි විප්ලවීය ප්‍රවණතාවකට සිදු වූ හානිය පිළිබඳව විවිධ කතිකතාවන් ගොඩනැගී තිබේ. එය වෙනම කතාවකි.


සිය දේශපාලන නායකයින්ගේ තීන්දු තීරණ වලට වඩා වැල්ලවායේ තරුණ කණ්ඩායම ඉදිරි පිම්මක් පැන තිබේ. මේ නිසා ළඟ එන අනතුර කලින්ම දැනගත් රජය අවිගත් නැගිටීම ඔඩු දිවීමට පෙර රටපුරා ඇඳිරි නීතිය පනවා. අවි බලමුළු තර කර ගනිමින් සූදානම් විය. වැල්ලවායේ පළමු පහරදීම නිසා සන්නද්ධ වූ රජයට කැරැල්ල විශාල ප්‍රමාණයෙන් පාලනය කර ගැනීමට හැකියාව ලැබිණ. නමුත් විනාශය විනාශයම විය.


ජනතා විමුක්ති පෙරමුණේ දෙවන පෙළ නායකයෙකු වූ කතරගම ගාමිණි බාස් 1969 වසරේ අවසාන භාගයේදී පමණ වැල්ලවායට සේන්දු විය. පක්ෂයේ මධ්‍යම කාරක සභාව විසින් මොනරාගල දිස්ත්‍රික් කමිටුව හරහා පැවරූ රාජකාරිය ඉටුකිරීම ඒ ගමනේ අරමුණයි. ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලනයට මෙතෙක් වැල්ලවායේ ඉඩකඩක් නොතිබිණ. ඒ අඩුව සපුරා වැල්ලවායේද පයගැසිය හැකි බිමක් කිරීම කළ යුතුම විය. ඔවුන්ගේ භාෂාවෙන් කියැවෙන පරිදි කොක්ක ගැසීමටය.


වැල්ලවාය ඇතුළත් කතරගම දක්වා මොනරාගල දිස්ත්‍රික් නායකත්වය දැරුවේ අයි. ඩී. ප්‍රේමසිරි ගමගේය. ඔහු මොනරාගල දිස්ත්‍රික් ලේකම්ද විය. යාබද දිස්ත්‍රික්කවන හම්බන්තොට ප්‍රැන්සිස් අබේවික්‍රම නොහොත් පැන්ටිස් අයියාද, අම්පාර නිශ්ශංක විජේවර්ධන ද විසින් මෙහෙයවන ලදී. ගාමිණි බාස්ගේ වැල්ලවාය ආගමනයට එම දිස්ත්‍රික් කමිටු ඉහළම සහයෝගයක් දැක්වීය. ජ.වි.පෙ මතවාදයට අනුගත වූ ශක්තිමත් කණ්ඩායමක් වැල්ලවායේ සිටීම පක්ෂයට ආශිර්වාදයකි. එයට හේතුව වැල්ලවාය ප්‍රධාන මාර්ග සංධිස්ථානයක් වීමයි. කාර්යයේ අවශ්‍යතාවය නිසා වැල්ලවාය පිළිබඳව තමන් සතු දත්තයන් දිස්ත්‍රික් කමිටු විසින් ගාමිණී බාස්ට ලබා දෙනු ලැබීය. 


ප්‍රවීණ මාධ්‍යවේදියෙකුවන දඹේගොඩ ජිනදාස මහතා වැල්ලවාය පොලීසියට කළ පහරදීම පිළිබඳව ගවේෂණය කළ අයෙකි. ඔහු පවසන්නේ වැල්ලවාය ප්‍රදේශය තුළ සංවිධානය වුණේත් ක්‍රියාකාරිව සිටියේත් පහරදීම් කළේත් ප්‍රදේශවාසී දැන උගත් තරුණයින් බවයි. රැකියාවක් නොමැති හිඟ අඩුපාඩුකම් මැද පවා උසස් අධ්‍යාපනයක් ලද තරුණයින් බවයි.


“ඔවුන් ප්‍රදේශයේ පිළිගත් සමාජශීලි තරුණයින්, පහරදීමට එක් වූ සමහරු අදත් හොඳ තත්ත්වයේ සමාජ වටිනාකමක් සහිතව ජීවත් වෙනවා. දැනට නම් ඔවුන්ගේ දේශපාලන දැක්ම විවිධයි. හැබැයි වාමාංශිකයො. තරුණ කාලේ කවුරුත් විප්ලවීනෙ. ගාමිණි බාස් තම හැකියාවන් ප්‍රයෝජනයට ගනිමින් වැල්ලවායෙන් තෝරා ගත්තේ මෙවන් තරුණ පෙළක් දඹේගොඩ ජිනදාස මහතා පවසයි.
“ගාමිණි පළමුවෙන්ම හිතවත් කමක් ඇති කරගත්තේ, නැති නම් කොක්ක ගැසුවේ වැල්ලවාය නගර සීමාවෙ උළුකඬේ වත්තේ ඩබ්ලිව්. එම්. සෙනෙවිරත්නටයි. ඔහු කතා කළේ ප්‍රදේශයට ආවේණික, ඇස් පනාපිට පෙනෙන්න තිබෙන ප්‍රශ්න. එවැනි ප්‍රශ්න ප්‍රදේශයකට සීමාකර, මායිම්කර නැහැ. ඒ ප්‍රශ්න වලට විසඳුම් පවා ඉදිරිපත් කළා. පිළිතුරු සොයා යායුතු මාර්ගය පිළිබඳව හැඳින්වීමක් කළා. මෙවැනි කතාවලට අනුගත වෙනවා හැරෙන්න වෙන කළයුතු දෙයක් නැහැ. ඇයි සත්‍යයනෙ.” 


මේ විදිහට පියවරෙන් පියවර ක්‍රමානුකූලව තමයි සෙනෙවිරත්නව ජ.වි.පෙ දේශපාලනයට යොමු කරගෙන ඇත්තෙ. සෙනෙවි ඉඩ කඩම් තිබූ යම් ආර්ථික හැකියාවක් සතුව ඇති තරුණයෙක්.


සෙනෙවිට පමණක් ප්‍රදේශයේ ප්‍රශ්නවලට තනිවම පිළිතුරු සොයන්න බැහැ. අපි මේ තත්ත්වය පුළුල් කරමු. ගාමිණි කීවේය. සෙනෙවි එකඟ විය. ඒ අනුව ඔහු තම හිතවතුන් දස දෙනෙකුට සාකච්ඡාවක් සඳහා ඇරයුම් කළේය. එය කාලීන ප්‍රශ්න පිළිබඳව සාකච්ඡා මණ්ඩපයක් විය. සාකච්ඡා පැවැත්වුණේ සෙනෙවිරත්නලා සතු පදිංචිය අත් හරිනලද නිවසකය. මෙහෙයවීම ගාමිණි බාස්ගෙනි.


සාකච්ඡාවේ ප්‍රදේශයට ආවේණික, කාලීන ප්‍රශ්න කතාබහට ලක්විය. එම ප්‍රශ්න නිවැරදිව දුටුවාසේම, පිළිතුරු තීරණය කළේ එකඟතාවයෙනි. ගොවියාගේ ශ්‍රමයට වටිනාකමක් නොලැබීම, නිෂ්පාදනයට මිලක් නොවීම, නිවැරදි ජල කළමනාකරණය, ඉඩම් ප්‍රශ්න, හේන ගොවිතැනේ ප්‍රශ්න, දේශපාලනඥයො කැලෑ පාළු කිරීම්, රැකියා ප්‍රශ්නය, එවැනි පීඩනයන්ට ගොදුරුව සිටි තරුණයින් ගාමිණි බාස්ට එකඟවීම පුදුමයක් නොවන බව දඹේගොඩ ජිනදාස මහතාගේ අදහසයි. 


සෙනෙවිරත්න, ආරියසේන, මහින්දබාහු, පියසේන, විල්බට්, විල්මට්, ගුණසේකර, රන්බණ්ඩා, සද්ධාරත්න, දිසනායක සාකච්ඡාවට සහභාගි වූ පළමු දසදෙනාගේ කණ්ඩායමට ඇතුළත් වූහ. 


ශිෂ්‍ය ගුරුවරයෙකු ලෙස ගුරු වෘත්තිය තෝරාගත් ඩී. එම්. ආරියසේන මහතා විශ්‍රාම ගියේ ප්‍රධන පෙළේ විදුහල්පති වරයෙකු වශයෙනි. ලේඛන කලාවේ යෙදෙමින් නිදහසේ සැහැල්ලුවෙන් කල් ගෙවන ඔහු අතීතයට යමින් පැවසුවේ “ගාමිණි නියම තැනට නිවැරදිව වදින ලෙස කොක්ක ගැසූ බවයි. ඒ කාර්යට ඔහු දක්ෂයි. කාලීන ප්‍රශ්න පිළිබඳව, ගත යුතු මග සාකච්ඡා කිරීම සඳහා කණ්ඩායම එකඟ වුණා. දේශපාලන දර්ශනයක් මේ පසුබිමේ තිබෙන බවත් කියැවුණේ නැහැ. නායකයෙක් ගැන කියැවුණෙත් නැහැ. අපි අදහස් කළේ බුද්ධිමත් තරුණයින්ගේ පුළුල් සමාජමය සංවිධානයක් ලෙසයි. දෙවැනි සාකච්ඡාවට විෂය සම්බන්ධ ප්‍රවීණයෙකු  සහභාගි කරවන බවට ගාමිණී පොරොන්දු වුණා” ආරියසේන මහතා පවසයි.


නුගේයාය හේනකයි දෙවෙනි සාකච්ඡාව තිබ්බේ. ගාමිණි සමග පැමිණි අයෙක් තමයි සාකච්ඡාව මෙහෙය වූයේ. පසුව දැනගත් පරිදි ඒ මාතර දිස්ත්‍රික් නායක සුසිල් වික්‍රමයි. ඔහු පැමිණියේ ගාමිණි (බාස්) කතා කළ ප්‍රශ්න වලට පිළිතුරු රැගෙන බවයි අපි අදහස් කළේ. පසුව සුසිල් වික්‍රම හා මොණරාගල දිස්ත්‍රික් නායක ප්‍රේමසිරි ගමගේ විසින් සුප්‍රසිද්ධ දේශපාලන පංති පහ පවත්වා දේශපාලන මතවාදමය වශයෙන් සන්නද්ධ කිරීම ඇරඹීය. පංති පහට ඔවුන්ගේ අනුගතවීම ඉහළ මට්ටමක් ගත්තේය.


දස දෙනෙකුගෙන් ඇරඹුණු කණ්ඩායම දිනෙන් දින උස්මහත් විය. රහසිගත දේශපාලන සංවිධානයක් පිළිබඳ තොරතුරු ජන මාධ්‍ය මගින් හා කටකතා මගින් වැල්ලවායට ගලා එමින් තිබිණි. නොදැනුවත්වම වුවද තමන්ද එම සංවිධානයේ සාමාජිකයින් බව පංති පහට සහභාගි වූ කණ්ඩායම මේ වන විට තේරුම් ගෙන සිටියහ. නමුත් ආපසු හැරීමට කිසිවෙකුට අවශ්‍ය වූයේ නැත. තමන් සාකච්ඡා කළේ සත්‍ය හා සාධාරණ සමාජයක් පිළිබඳව බව ඔවුන්ට වැටහී තිබුණි.


සංවිධානයට රාජ්‍ය මර්දනයේ හස්තය දිගුවී ඇති බවද සැලවුණි. වෙනදාට වඩා තම ප්‍රදේශයේ පවා ආරක්ෂක වළලු හා ජංගම මුරසේවා තරවෙන අයුරු ඔවුහු බලා සිටියහ. එය තරුණ සිත් වලට වේගකාරි ජවයක්ද ගෙන ආවේය. එමගින් කියැවෙන පණිවිඩය වටහාගත් තරුණයෝ සුපුරුදු ජීවන රටාව ගෙන යමින් සංවිධානයට වඩ වඩාත් ආකර්ෂණය වූහ.


මේ වන විට පොලිස් බල ප්‍රදේශය ආවරණයවන සේ ප්‍රධාන පොලිස් කමිටුව හා කුඩා කණ්ඩායම් පවා සකස් කර අවසන්ය. තවත් ඉදිරි පිම්මක් පනිමින් මොනරාගල දිස්ත්‍රික් කමිටු නියෝජනයද වැල්ලවාය හිමිකර ගත්තේය. ඩබ්ලිව්. එම්. සෙනෙවිරත්න, ඩි. එම්. ආරියසේන, පියසේන හා ධනපාල සහෝදරවරු දිස්ත්‍රික් කමිටුව නියෝජනය කළහ.


“මව්බිම නැතිනම් මරණය, දෙපයින් නැගී සිටීමට නොහැකි නම් වඩාත්ම සුදුසු මරණයයි”


පාරේ ගහක් ගලක් ගානේ පෝස්ටර් ඇලවිණ. ප්‍රදේශවාසීහු මවිතයට පත් වූහ. පෝස්ටර් ව්‍යාපාරය කාගෙද, අලවන්නෙ කවුරුන්ද යන්න කිසිවෙකු දැන සිටියේ නැත. ඔවුන් දැන සිටියේ. දැක ගත්තේ උදේ පිබිදෙන විට පෝස්ටර් ඇලවී ඇති බව පමණි. තම දරුවන් මෙවැනි ක්‍රියාවල යෙදෙන බව අහිංසක දිවි පෙවතකට හුරුව සිටි ඒ ගොවි මව්පියවරු සිහිනෙන් හෝ නොසිතූහ. නමුත් සිදු වී ඇත්තේ නොසිතූ දෙයමයි.


උදෑසන අවදි වෙන්නේ අලුත් යමක් දැක ගැනීමේ රිසියෙනි. පෝස්ටර් වලින් කියැවෙන ප්‍රශ්න ඔවුන්ට අළුත් දෙයක් නොවීය. ඔවුහු එය තම ජීවිතයේම ප්‍රශ්න ලෙස වටහා ගත්හ. ඒ කෙසේ වෙතත් වටහා ගත නොහැකි ගුප්ත බවක් හා හීන් භීතියක් ඔවුන් අතර දෝලනය වෙමින් තිබිණ. බිම් කළුවරත් සමග බොහෝ නිවෙස්වල දොර කවුළු වැසුණේ ඒ නිසා බව මාධ්‍යවේදී දඹේගොඩ ජිනදාස මහතා පවසයි. ඩී. එම්. ආරියසේන මෙසේ කියයි - වැල්ලවායෙත් කඳවුරක් කළ යුතුයැයි අදහසක් අපිට ඇති වුණා. තණමල්විල කඳවුරට අපේ ක්‍රියාකාරිකයෙකු සහභාගි වීමෙන් පසුවයි එවැනි අදහසක් ඇති වුණේ. දිසා කමිටුව දැනුවත්කර ඉහළ නායකයින්ගේ අනුමැතියෙන් කඳවුර ආරම්භකළේ සෙනෙවිරත්නලගෙ කැලෑ ඉඩමක ඉදිකළ තාවකාලික ආවරණයකයි.


සාමාජිකයෝ කඳවුරට ආවෙ ගියේ රහසිගත ක්‍රමයකට කිසිවෙකුට නොදැනෙන්නයි. හදිසි තත්ත්වයක් මතු වුණොත් දැන ගන්න ඔත්තුකරුවන් පවා යොදවලයි හිටියෙ. මාතර සුසිල් වික්‍රම, ප්‍රේමසිරි ගමගේ සමග ගොවි හමුදාවේ සිටි ගුණසේකර නැමති සහෝදරයෙකුද සහභාගි වුණා. ඔහු පැමිණියේ ආත්මාරක්ෂක සටන් ක්‍රම පිළිබඳව පුහුණුව ලබා දෙන්නයි. මෙය ප්‍රායෝගික කඳවුරක්.


ගුණසේකර පොලීසියට කොටු වූයේ මේ අතර තුරදීය. කඳවුරේ සිට ආපසු යන ගමන් ඔහු අත්අඩංගුවට පත් වුණේ ග්‍රාමාරක්ෂකයෙකුගෙන් ලද තොරතුරක් අනුවය. එම තොරතුරෙන් කියැවුණේ ප්‍රදේශයට ආගන්තුක පුද්ගලයෙකු පැමිණ ඇති බවයි. අත් අඩංගුවට ගත් ගුණසේකරගෙන් ආරම්භයේදි නිවැරදි තොරතුරු හෙළිකර ගැනීමට පොලිස් නිලධාරින්ට නොහැකි විය. එහෙත් ඔවුන්ගේ සුපුරුදු ක්‍රමවේදයන්ගේ පිහිටෙන් ඇත්ත වමාරන්නට ගුණසේකරට සිදු විය.


ඒ අනුව ගුණසේකරද පෙරටු කරගෙන පොලිස් නිලධාරිහු කඳවුර වැටලීමට පැමිණියහ. මඟ රඳවා සිටි ඔත්තු කරුවන්ගේ සාංඥාව අනුව පොලීිසිය නුදුරේ සිටියදීම කඳවුරට සහභාගි වූ පිරිස විසිරී ගියහ. කැලෑ වැදුණහ. පොලීසිය ඉවත් බවක් නැතිව ලුහු බඳිත්දි ගුණසේකරටද අත් අඩංගුවෙන් මිදී පලායාමට හැකිවිය. වැල්ලවාය සංවිධානාත්මක කණ්ඩායම පිළිබඳව ආරක්ෂක අංශ වලට හා ප්‍රදේශයට හෙළිදරව් වූයේ ඒ අයුරිනි. 


පලාගිය කණ්ඩායම එදිනම ආපසු ගමට පැමිණියේ නැත. මේ නිසා කණ්ඩායම්ගත වූ පුද්ගලයින් කවරෙක්දැයි සැක සංකා සහිත හැඳින ගැනීමක් ප්‍රදේශවාසින් අතර විය. ඩී. එම්. ආරියසේනද මේ පිරිස අතර සිටියේය. ඔවුහු රහසිගත හමුවීම් හා ආරංචි මාර්ග වලින් ප්‍රදේශයේ මෙන්ම සංවිධානයේ තොරතුරු සොයා දැන ගත්හ. මූලික සහෝදරවරු තෝරාගත් ස්ථාන වලදී මුණගැසී සම්බන්ධකම් තහවුරු කර ගත්හ. පුවත් පණිවිඩ හුවමාරු කර ගත්හ. එම සිදුවීමෙන් පසු ඔවුන් ගමට හා නිවෙස් වලට නොපැමිණි බවත් මෙමගින් කියැවෙන්නේ නැත.


ජනතා විමුක්ති පෙරමුණට එරෙහිව දිවයින පුරා පැතිරී ගිය රාජ්‍ය මර්දනය වැල්වායටද පොදු විය.


මේ 1970 මැතිවරණ සමයයි. යූ.එන්.පී ප්‍රමුඛ හත් හවුල් ආණ්ඩුවෙන් එල්ලවෙන මර්දනය පිටු දැකීමට, ප්‍රතිඋත්තර දීම හා ආරක්ෂා වීම සඳහා එකම විකල්පය පාර්ලිමේන්තු මැතිවරණයේදී ශ්‍රී.ලං.නි.ප ප්‍රමුඛ සමඟි පෙරමුණට සහය දැක්වීම බව ජ.වි.පෙ මධ්‍යම කාරක සභාව තීරණය කළහ. තම සාමාජිකයින් බහුතරයකගේ දේශපාලන පවුල් පසුබිම එ.ජා.ප විරෝධි වීමත්, ශ්‍රී.ලං.නි.ප නැඹුරු වීමත් නිසා එම තීරණය සාධාරණීකරණයට ලක්විය. අනෙක මැතිවරණයෙන් සමගි පෙරමුණේ ජයග්‍රහණය පැහැදිළිවම පෙනෙන්නට තිබිණ. ඒ අනුව ගමෙන් පලාගිය සාමාජිකයෝ ආපසු ගම්බිම් බලා පැමිණ සමඟි පෙරමුණේ ජයග්‍රාහි මැතිවරණ සටනට අනුගතවී ක්‍රියාකාරි සහය දැක්වූහ.


මැතිවරණයෙන් හත් හවුල පරාජය වී සමඟි පෙරමුණ ජය ලැබීමෙන් ආණ්ඩුව වෙනස් විය. ආණ්ඩු පෙරළියෙන් ජ.වි.පෙ ලැබූ නිදහස් වාතාවරණය තාවකාලික වූවකි. ජ.වි.පෙ පිළිබඳව රජයේ ආකල්පය එලෙසමය.


රටේ තැනින් තැන ප්‍රාථමික මට්ටමින් ටින් බෝම්බ නිශ්පාදනය කිරීමට සංවිධානය ක්‍රියා කළේය. නිසි පුහුණුවක් හා ප්‍රමිතියක් නොවීමෙන් නිශ්පාදනයේදී සාමාජික ජීවිත පවා බිලි ගනිමින් බෝම්බ පුපුරා ගියේය. ගිනි අවි පැහැර ගැනීම් පිළිබඳ වාර්තාද දිවයිනේ සතර කොනින් ආරක්ෂක අංශවෙත ගලා ආවේය. ඒ සමගම නැවතත් කලඑළි බැස්සේ රාජ්‍ය මර්දනයයි. 


මොනරාගල දිස්ත්‍රික්කය තුළ රාජ්‍ය මර්දනය තදින් ක්‍රියාත්මක විය. වැල්ලවායටද ගැලවීමක් නොවිය. නමුත් සාමාජිකයෝ ක්‍රියාශීලීි වූහ. සංවිධානගත වගකීම් සමඟ වැඩ අධික කාලයක් ඔවුන්ට උදාවිය. මේ අතර ප්‍රදේශයේ ගිනි අවි එකතු කිරීමට සැලසුම් කළහ.
ගොඩ - මඩ ගොවි බිම්, හේන් බිම් හා නීති විරෝධී ගංජා වගාවන් පැවති මෙම ප්‍රදේශයේ ගිනි අවි බහුලව තිබුණි. බලපත් සහිත තුවක්කු මෙන්ම ගල්කටස්ද විය වන සතුන්ගෙන් ආරක්ෂා වීමට හා කැලෑ හේන් පාළු කරන සතුන් පලවා හැරීමට ගොවීන් සතුව තිබූ ගිනි අවි හා ගල්කටස් එකතු නොකිරීමට ඔවුහු පොදු තීරණයක් ගත්හ. එවැනි තීරණයකට හේතුව වූයේ තම වර්ගයාගේ ජීවනෝපාය සුරැකීමට ඔවුන් සතුව උදැල්ල, කැත්ත මෙන්ම ගිනි අවියද තිබිය යුතු හෙයිනි. මොවුහු සියල්ලෝම ගොවි දරුවෝය.


අත් දෙක වනමින්, හිස නවමින් රාජ්‍ය මර්දනයට මුහුණ දිය නොහැක. සමාජවාදි සමාජයක් ගොඩ නැගීම කතිරයෙන් කළ නොහැක. ධනේශ්වර පාලකයින් කිසිදු විටක එය තෑගි ඔප්පුවකින් ලියා නොදේ. තමන් සතුවද ගිනි අවි බලය තිබීම වැදගත්ය.

පාලකයින් හා ඔවුන්ගේ ආරක්ෂකයින් එවිට දෙවරක් සිතන්නට පෙළඹේ.


සොරාගත් හා තර්ජනයකර කොල්ලකාගත් ගිනි අවි ග්‍රීස් තවරා මිටි බැඳ කැලයේ ආරක්ෂක කපොළු වල සැඟවූහ. තමන් විසින් නිශ්පාදනය කළ ටින් බෝම්බ හා දිස්ත්‍රික් සංවිධානයෙන් ලද ටින් බෝම්බ සුරක්ෂිතව බිම්ගත කළහ.


ජ.වි.පෙ තුළ මේ වන විට ගොඩනැගී තිබූ කල්ලි වාදය මොනරාගල දිස්ත්‍රික්කයටද පොදුවිය. යාබද දිස්ත්‍රික්ක තුළ දක්නට ලැබුණ නායකත්වයේ ප්‍රශ්න වලට සහය ලබා ගැනීමට එම දිස්ත්‍රික්කවල මූලික සහෝදරවරු වැල්ලවාය ආක්‍රමණය කළහ. දිස්ත්‍රික් නායකයින් ලෙස ක්‍රියාකළ සමහරු පිටස්තර ප්‍රදේශවලින් පැමිණි අයවූහ. ඔවුන්ට සීමා මායිම්  මෙන්ම ප්‍රදේශයේ ප්‍රශ්නද ආධුනිකය. තම ආධිපත්‍යය පමණක් සමාජිකයන් අතර පැතිර වූහ. මේ නිසා ප්‍රදේශයේ සාමාජිකයින් අතර මත භේද පවා ඇතිවිය. දිස්ත්‍රික් නායකයින්ම වඩා ක්‍රියාශීලි පුද්ගලයින් ප්‍රදේශය තුළින්ම ගොඩනැගී තිබිණ.


බදුල්ල දිස්ත්‍රික් ලේකම් සුනන්ද දේශප්‍රිය තනතුරෙන් ඉවත් කිරීමට සමහරු පිඹුරුපත් සකස් කළහ. බදුල්ල දිස්ත්‍රික් උප ලේකම් සුනිල් හෙවත් ජයතිලක සිල්වා සහෝදරයා සුනන්ද දේශප්‍රියගේ මතවාදයන්ට පටහැණි විය. ජයතිලක සිල්වාගේ බලපෑම වැල්ලවායට හා මොනරාගලට තීරණාත්මක ලෙස සැලකිණ. බිබිලේ ඩී. ජී. කරුණාරත්න සමඟ බදුල්ල දිස්ත්‍රික් කමිටුව නියෝජනය කළ සරත් සහ අජිත් සහෝදරවරුන් වැල්ලවායට පැමිණියේ මෙවන් පසුබිමක් තුළය.


“විජේවීර විප්ලවය ගැන කතා කරන්නෙ තමන්ගේ පැවැත්ම ආරක්ෂා කර ගන්නයි. නැත්නම් සහෝදරයින් අත් අඩංගුවට ගනිත්දිත්, මර්දනය කරත්දිත් ඇයි නිහඬව ඉන්නෙ. තීරණාත්මක අවස්ථා වලදි විජේවීර පොලිස් අත්අඩංගුවෙ, මමයි විජේවීර කියනවා. එවිටයි. පොලීසිය දන්නෙ මේ විජේවීර කියල. අපේ සාමාජිකයින්ට ආරක්ෂාවක් නැහැ. මේවට මුහුණ දෙන්න වැඩ පිළිවෙළක් පක්ෂයටවත් නැහැ. සුනන්දටත් නැහැ. මේ අය එක්ක මේ ගමන යන්න බැහැ. මර්දනයට මුහුණ දෙන්න හරි විප්ලවය කරන්න හරි ඉක්මන් තීන්දුවක් ගන්න ඕනෙ. ඉක්මන් පහර දීමක් අවශ්‍යයි. සරත් හා අජිත් වැල්ලවාය දැනුම්වත් කළේ එලෙසිනි.


ආවේගාත්මකව ඔවුන් පැවසූ අදහස් සත්‍යයට සමීප බව වැල්ලවායේ කණ්ඩායමද වටහා ගත්හ.

ගණේමුල්ල බුද්ධි බොල්ලත