දකුණෙන් ආ බ්‍රාහ්මණ පිරිසක් ලෙසින් වෙස් වළාගෙන නිවසකට වී සිටි විවියන් හා ලෙස්ලි එහිදී බ්‍රාහ්මණ පිළිවෙත්වලට අනුව ජීවත්වීමට පටන් ගනී. විවියන්ට සියල්ලටම වඩා අපහසු දෙය වූයේ දවසකට තුන් වරක් කුස්සිය සේදීමයි. බ්‍රාහ්මණයන් ගෙදර කුස්සිය, පූජා පවත්වන දෙවියන් වැඩ වෙසෙන ශුද්ධ ස්ථානයක් ලෙස සලකනු ලැබූ නිසා අලුතින් බ්‍රාහ්මණයන් සේ පෙනී සිටි විවියන්ට හා ලෙස්ලිට ඒ සිරිත අනුගමනය කිරීමට සිදුවිය.

 

ප්‍රාණ වායුව හැර රොබට් ගුණවර්ධනට වෙනත් ශක්තියක් නොවීය. අතිශය පීඩනයට ලක්ව සිරගෙදරදී අන්ත අසරණ දුක් විඳින ඔහු තම පාදයක් දෙකට තුනට කඩාගෙන පැමිණියද ඔහුගේ සරණට කිසිවකුදු නොවීය. උදේ පාන්දර කොළඹ කොටුවේ දුම්රිය පොළට අත් මාංචු දමා දෙපා දම්වැලකින් ගැට ගසාගෙන ආ රොබට්ගේ ශාරීරික සෞඛ්‍යය තත්ත්වය ඉතාම අයහපත් විය.


ආණ්ඩුවේ තීරණය වී තිබුණේ කෙසේ හෝ රොබට්ගෙන් ඉන්දියාවේදී ඔහුගේ සගයන් ගෙන ගිය ක්‍රියාකාරකම් හෙළිකර ගැනුම විනා ඔහුට මිනිසකු වශයෙන් ඉදිරි දිවි පැවැත්ම ගෙනයාමට වෛද්‍ය පහසුකම් දීම නොවේ. එම අදහසම පෙරදැරි කොටගෙන දුම්රිය පොළේ සිට ඔහු කොළඹ මහ රෝහලට ගිලන් රථයකින් රැගෙන ගියේය. කරන්නන් වාලේ බෙහෙත් කරනු ලැබීමෙන් අනතුරුව රොබට් ගුණවර්ධන වැලිකඩ සිරගෙදර ඉතා කුඩා කුටියකට තල්ලු කරනු ලැබීය.
පණ නැති වම් කකුලෙහි පෑස්සුම් හරියාකාරව සන්ධිගත වී නොපැවතිණි. දකුණු කකුල සතු ශක්තිය යොදා සිර මැදිරියේ යකඩ දොර කඩා ඔහු ගියේ කීරි ගැසෙන වම් කකුලේ හඬ අසමිනි.


යකඩ දොර අබියස බයිනෙත්තු ගත් පොලිස් නිලධාරීහු දෙදෙනෙක් රැකවල් ලා සිටියහ. යළිත් ගාටමින් සිරමැදිරියේ බිම දිගා වී සිටි රොබට්ට සාත්තු සප්පායම් කිරීමට පැමිණියේද සිරගෙදර සිටි තවත් සිරකරුවෙකි.


රොබට් ගුණවර්ධන විඳිනා දුක් ගැහැට කන්දරාවම තම ජාතිය වෙනුවෙන් කරන දැඩි කැපවීමක් බව දැන සිටි ජාති හිතෛෂීහු මහජනතාව පෙළගැස්වීමේ ක්‍රියාවලියට එක්ව සිටියහ. පෙළපාළි උද්ඝෝෂණ රට පුරා තැනින් තැන ඉල්පෙමින් පැවතුණි. පෙළපාළිකරුවන් සිර භාරයට ගැනුණි. එහෙත් සිරගෙදර ගිය ඇතැම්හු නිලධාරීන්ට සන්තෝසම් දී එළියට ගියහ.


එළියට නොගිය එක් සිරකරුවකු දෙස සිර මැදිරියේ ප්‍රධානියාගේ අවධානය යොමුවිය.
ඇයි මිනිහෝ උඹ විතරක් එළියට යන්න අකැමති?
මම මොකක්ද කරපු වැරැද්ද?
උඹට මතක නැද්ද රොබට් එළියට ගන්න කියල පෙළපාළි ගිය හැටි?
ඉතින් ඒක මගේ රාජකාරිය නෙ. මම පිලිප්, රොබට් අදහන්නේ බුදු හාමුදුරුවන්ගෙ අග සව්වන් වාගෙයි. මේ රට බේරාගන්න අපේ ජාතිය බේරාගන්න ඉස්සර ජාතියේ පින්කමකින් බොරළුගොඩ රාලහාමි මෙරටට බිහිකරපු උත්තමයෝ තමයි ඒ.
මොකක්ද උඹේ නම?
මගේ නම හර්මන් අප්පුහාමි. අප්පුහාමි කිව්වම මුළු පළාතම දන්නව.
ජේලර්වරයා එතැනින් ඉවත් විය.


මේ කාලයේ ඉන්දියාවේ පුවත්පත්වල පළ වූයේ රොබට් කකුල කඩාගත්තේ කෝච්චියෙන් පැනයන්නට තැත් කළ හෙයින් යනුවෙනි. එහෙත් ඒ අන්දමින්ම ලංකාවේ පුවත්පත්ද එම සිද්ධිය වාර්තා කොට තිබිණි. මේ ප්‍රචාරය කොතරම් බලවත් වීද යත් ප්‍රතිකාර ලබාගැනීමට ඇති ඉඩකඩ ඇහිරී ගියේය.
එක් දිනක් සිරගෙදර ප්‍රධාන නිලධාරියාත් දොස්තරවරයකුත් රොබට් බැලීමට පැමිණියහ. ‘ළඟට ආවොත් මැරෙන්න ගහනවා’ රොබට් ඔවුන්ට තර්ජනය කළේය. ලෙඩා බලන්නට පැමිණි දොස්තර හා ප්‍රධාන නිලධාරියා ඉක්මනින් ආපස්සට හැරී ගමන් කළහ. එදා සිට සිරගෙදරින් කිසිම නිලධාරියෙකු රොබට් ළඟට ඒමට බිය විය. රොබට්ගේ අසනීපය සම්බන්ධව පිටතින් නැඟුණු උද්ඝෝෂණයේ ප්‍රතිඵල වශයෙන් පිටස්තර වෛද්‍යවරයකු ගෙන්වා ප්‍රතිකාර ලබාගැනීමට අවස්ථාව උදාවිය. මාස ගණනක් මුළුල්ලේ ප්‍රතිකාර ලබාගැනීම නිසා කැඩුණු කකුල නැවත යථා තත්ත්වයට පත්විය. සිරගෙදර සිටියදී විවිධාකාර පුද්ගලයින් මගින් දේශපාලන කටයුතු කරගෙන යාමටත් පිටත සිදුවන්නේ කුමක්ද යන්න දැනගැනීමටත් ඔහුට හැකිවිය.
මේ වනවිට ඉන්දියාවේ සිටි විවියන් හා ලෙස්ලි එරට ජනතාවාදී ව්‍යාපාරයට මුළු ශක්තියම යොදවමින් ලාංකික ජනතාව වෙනුවෙන් තමන්ට කළ හැකි උපරිම මෙහෙය කරමින් සිටියහ.


වරින්වර නිවෙස් මාරු කරමින් සැඟවී සිටි විවියන් හා ලෙස්ලි නවාතැන් ගත් හැම තැනක්ම පොලිසිය විසින් සොයා බලනු ලැබීය. ඔත්තුකරුවන් කොතනකින් මතුව එත්දැයි බලාපොරොත්තුව සිටින ඔවුහු යම් සැකයක් දුටු තැනකදී වහාම පිටවී යාමට පුරුදුව සිටියහ. වරෙක මදුරාසියේ සිටියදී එතැනින් වහාම කුලී රථයක නැගී පිටත්ව ගිය විවියන් හා ලෙස්ලි මදුරාසි මහ රෝහලට ඇතුළු වූහ. රෝහල පිටුපස දොරටුවෙන් එළියට ආ ඔවුහු අශ්ව කරත්තයක නැගී වෙනත් පළාතකට ගමන් ගත්හ. මේ අන්දමින් ගොස් කල්කටා නගරයට යාමට ඔවුන්ට සිදුවිය. මේ කල්කටා නගරයේ වසංගත රෝග පැතිරී තිබුණ කාලයයි. අවුරුද්දට හතර වරක් වසූරිය, මොළේ මැලේරියාව, කොලරාව ආදී වසංගත රෝග පැතිරී යන අපිරිසිදු පරිසරයක් තිබුණි. ලෙඩ රෝග නොපැවතියේ නොවැම්බර් හා දෙසැම්බර් කාලවලදී පමණි. කල්කටාවේ සැඟවී සිටි කාලයේදී විවියන් සිටි නිවසට පැමිණි මිතුරන් දෙදෙනෙකු වූයේ එස්මන්ඞ් වික්‍රමසිංහ හා ඔහුගේ බිරිඳත්ය. මේ දිනවල දියණියට මැලේරියාව රෝගය වැලඳී තිබිණි.


බලන්න ඇන්ටි මට මේ ලෙඬේ හැදුනෙ ඩේ‍රසිං ගවුමක් නැති හින්දනෙ. දැරියගේ කතාව ඇසූ වික්‍රමසිංහ මහත්මිය ඉක්මනට කඩපොළට ගොස් ඇයට ගවුමක් ගෙන ආවාය.
කුඩා දියණියට කිහිප වතාවක් උත්සන්නව අසනීප සෑදීම නිසා ඉන්දියාවට වී සිටීමෙන් ඇයට දුක් කරදර දීම මහා පාපයක් යැයි විවියන් ලෙස්ලි සමග කීවාය. කෙසේ හෝ දියණිය ලංකාවට එවිය යුතුය. නොඑසේ නම් දියණියත් සමග ලංකාවේ සිරමැදිරියකට යන්නේමැයි විවියන් එක හෙළාම පැවසුවාය. කළ හැකි එකම දෙය වූ දියණිය ලංකාවට එවීම පිණිස කටයුතු යෙදීමට ලෙස්ලි සමත් විය.


ඉන්දියාවට පැමිණ සිටි බර්නාඞ්, ලෙස්ලි හා විවියන් කලින් සිටි මතුංගාහි නිවසට ගියේ ඔවුන් හමුවීමටය. වසා තිබූ ගෙයි දොරට තට්ටු කරත්ම ගෙතුළ සැඟවී සිටි පොලිසිය විසින් ඔහු අල්ලා ගනු ලැබ පොලිස් සිරමැදිරියට ගෙනයනු ලැබීය. ඔහුට පොලිස් මැදිරියේ දින පහක් ගත කිරීමට සිදුවිය.
දකුණෙන් ආ බ්‍රාහ්මණ පිරිසක් ලෙසින් වෙස් වළාගෙන නිවසකට වී සිටි විවියන් හා ලෙස්ලි එහිදී බ්‍රාහ්මණ පිළිවෙත්වලට අනුව ජීවත්වීමට පටන් ගති. විවියන්ට සියල්ලටම වඩා අපහසු දෙය වූයේ දවසකට තුන් වරක් කුස්සිය සේදීමයි. බ්‍රාහ්මණයන් ගෙදර කුස්සිය, පූජා පවත්වන දෙවියන් වැඩ වෙසෙන ශුද්ධ ස්ථානයක් ලෙස සලකනු ලැබූ නිසා අලුතින් බ්‍රාහ්මණයන් සේ පෙනී සිටි විවියන්ට හා ලෙස්ලිට ඒ සිරිත අනුගමනය කිරීමට සිදුවිය.


මේ කාලයේ ඉන්දියාවේ පැවැති රජය ලංකාවේ පැවැති තත්ත්වයට සමාන විය. ඉන්දියානුවන් අතළොස්සක් පාලනයට සම්බන්ධ කරගත්තත් මුළුමනින්ම රටේ පාලනය බි්‍රතාන්‍ය නියෝජිතයන් විසින් කරනු ලැබීය. ජාතික සටන් ව්‍යාපාරයට සහභාගි වූ නේරු, ගාන්ධි ඇතුළු නායකයන් පිරිසක් සිරගෙවල්වලට වී දුක් වින්දහ. මුල්වරට 1945 ජූලි 13 වැනිදා මුළු මහත් තැපැල් දෙපාර්තමේන්තුවම වැඩවර්ජනයකට සහභාගි කරගැනීමට නිදහස්කාමී ජනතාවට හැකි විය.


ලංකාවේ ලංසි ජාතිකයන් මෙන් ඇන්ග්ලෝ ඉන්දියානුවන් කිසිම ජාතික සටනකට එක් නොවෙමින් තනියම සිටි පිරිසක් වූහ. තැපැල් දෙපාර්තමේන්තුවේ සිටි දුරකථන සේවිකාවන් සියලුදෙනාම ඇන්ග්ලෝ ඉන්දියානු ජාතික සේවිකාවෝ වූහ. මේ කාන්තාවන් සටනට එක්වීම ජාතික සටනට ලැබූ නව පණක් විය. ඉන්දීය නිදහස් සටන වෙනුවෙන් පළ කෙරෙන පුවත්පතක සේවය කළ විවියන් සමග සිටි සියලුදෙනාම ලාංකිකයෝ වූහ. පත්තර කන්තෝරුවේ වැඩ නිමාකොට විවියන් බෙංගාලි කාන්තාවක වූ යුපුවා සමග පත්තර විකුණන්නට තැනින් තැන ගියාය.

 

 


නන්දසේන සූරියආරච්චිගේ 
“ඇන් ඇම්” කෘතියෙනි