කුරුණෑගල රාජධානි සමයේ (13 වන සියවසේ පමණ) වැඩ විසූ පුෂ්පදේව නම් මහ තෙරුන් වහන්සේ විසින් සම්පාදනය කරන ලද කුරුණෑගල විස්තරය නම් ඓතිහාසික ග්‍රන්ථයේ සඳහන් වන අන්දමට රජුගේ කඩුව දැරූ නිලධාරියාට ලබා දුන් ගම්වරය පසු කලෙක කටුගම්පොළ නම් වූ බවත් ඒ අවට ප්‍රදේශය ද සමග කටුගම්පොළ හත්පත්තුව නිර්මාණය වූ බවත් කියැවේ.


ලංකාවට සර්වජන ඡන්ද බලය ලැබී රාජ්‍ය මන්ත්‍රණ සභාව පිහිටුවීමේදී කටුගම්පොළ නමින් ආසනයක් ප්‍රකාශයට පත් වූ අතර ආර්. ඇස්. තෙන්නකෝන් නමැති ප්‍රදේශවාසී පුභූවරයෙක් එම ආසනයේ මන්ත්‍රීවරයා බවට පත් විය. 1936 දී දෙවැනි රාජ්‍ය මන්ත්‍රණ සභා මැතිවරණයෙන් කටුගම්පොළ මන්ත්‍රීවරයා වූවේත් ඒ මහතාමය. 1947 ප්‍රථම පාර්ලිමේන්තුව නිර්මාණය වෙද්දී එම ප්‍රදේශය බිංගිරිය ආසනය නමින් වූ කොට්ඨාසයකට ඇතුළත් විය. එහි ප්‍රථම මන්ත්‍රී ධුරය හිමිවූයේ උග්‍ර වාමාංශික මතධාරියකු හා මාකස්වාදියකු ද වූ ටී. බී. සුබසිංහ මහතාය. සිය සොහොයුරා වූ පළාතේ ප්‍රකට සමාජ සේවකයකු වූ වින්සන්ට් සුබසිංහ මහතාගේ ආභාෂය මත දේශපාලනයට ඇදී ආ ඔහු බිංගිරිය ආසනය ජයගත්තේ පහසුවෙනි. එතැන් පටන් 1960 දක්වා දේශපාලනයේ රැඳී සිටිමින් කටයුතු කළේ බිංගිරිය ආසනයත් 1960 දී එයින් බෙදා වෙන් කළ කටුගම්පොළ ආසනයත් එක්සත් ජාතික පක්ෂ විරෝධී බළකොටුවක් වශයෙනි. 1970 මහා මැතිවරණයේදී මෙම තත්ත්වය තවදුරටත් බැරෑරුම් විය. ඒ වන විට ටී. බී. සුබසිංහ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්වරයා විය. මැතිවරණයෙන් පසු බලයට පත් සිරිමාවෝ බණ්ඩාරනායක රජයේ කර්මාන්ත සහ විද්‍යා කටයුතු අමාත්‍ය ධුරය පිරිනැමුණේ කටුගම්පොළ මන්ත්‍රී ටී. බී. සුබසිංහ මහතාටය.


1973 අප්‍රේල් 13 වැනිදා සිදුවූ ඩඞ්ලි සේනානායක මහතාගේ අභාවයෙන් පසු එම පක්ෂයේ නායකත්වය භාරගත් ජේ. ආර්. ජයවර්ධන මහතාට භාරවූ විශාල අභියෝගයක් වූවේ මේසා වමට බර ආසනයක් වූ කටුගම්පොළට ඊළඟ මැතිවරණයේදී ජයගත හැකි දක්ෂ සංවිධායකවරයකු සොයා ගැනීමයි. එය සාර්ථක විය. පළාතේ ප්‍රකට සමාජ සේවකයෙකු මෙන්ම පිළිගත් ප්‍රභු පවුලකින් පැවත එන්නකු ද කැපවීමෙන් කටයුතු කළ හැකි එක්සත් ජාතික පාක්ෂිකයෙකු ද වූ ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා කටුගම්පොළ එම පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා වශයෙන් පත්වූවේ ඒ අනුවය.


පෙර සඳහන් කළාක් මෙන් 1977 මහා මැතිවරණය එළඹෙන විට පවතින රජයේ යම් යම් දුර්වලතා නිසා පසුබැසීමට ලක්ව සිටියා වුවත් එම තත්ත්වයන් අමතක කර දමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ද සටනට එළඹියේය. 1970 දී පැවැති සමගි පෙරමුණ ද බිඳී ගොස් තිබුණු නිසා සංවිධානාත්මක බලය දුර්වලව තිබුණි.


හැත්තෑ හතේ ජූලි මස විසි එක් වැනි දින පැවැති මහා මැතිවරණයේදී හයෙන් පහක අති දැවැන්ත පාර්ලිමේන්තු බලයක් හිමි කර ගැනීමට ජේ. ආර්. ජයවර්ධන මහතාගේ එක්සත් ජාතික පක්ෂය සමත් විය. මහා ජනතා රළ පහරකට අසුවූවාක් මෙන් දුර්වල ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රබලයෝ සියලු දෙනාම ගසාගෙන යද්දී තම ආසන රැක ගැනීමට සමත්වූවේ අගමැති සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මිය සහ එම රජයේ නියෝජ්‍ය නායක මෛත්‍රීපාල සේනානායක මහතාට පමණි. එම පක්ෂයේ මුළු ආසන සංඛ්‍යාව අටකට සීමා විය. එක්සත් ජාතික පක්ෂය ආසන 140 ක් ජයග්‍රහණය කර තිබුණි. සමසමාජ, කොමියුනිස්ට් ආදී රතු පක්ෂවලට 1931 සිට හිමිකරගෙන තිබුණු සාම්ප්‍රදායික බලකොටු සියල්ල පරාජයට පත්ව තිබුණේ රතු පක්ෂවලට එකද ආසනයක්වත් හිමි නොවෙමිනි. මෙම අවස්ථාවේදී කටුගම්පොළ ආසනය එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂක ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා දිනා ගනු ලැබුවේ වැඩි ඡන්ද නව දහස් විස්සක් ලබා ඉතා පහසුවෙනි. ප්‍රබල අපේක්ෂක ටී.බී. සුබසිංහ මහතා තෙවැනි තැනට පත්ව තිබුණි. හාපුරා කියා මුහුණ දුන් පළමු මැතිවරණයේදීම පක්ෂයට හා නායකත්වයට තමාගේ ශක්තිය හා ඇපකැපවීම ජයවික්‍රම මහතා මනාව තහවුරු කර පෙන්වූවේ ඒ අයුරිනි.


ඊළඟ වසරේදී නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ස්ථාපිත කළ ජේ. ආර්. ජයවර්ධන ආණ්ඩුව රටේ ශීඝ්‍ර සංවර්ධනයක් අපේක්ෂාවෙන් පියවර රැසක් ගත්තේය. එයින් එක් පියවරක් වූයේ දිස්ත්‍රික් අමාත්‍ය ධුර ඇති කිරීමයි. සෑම දිස්ත්‍රික්කයකම සංවර්ධන කටයුතු අධීක්ෂණය කරමින් එම කාර්යයන් මෙහෙයවීම සඳහා සෑම දිස්ත්‍රික්කයකටම දිසා ඇමැතිවරයෙකු පත් කිරීමට ජනාධිපතිවරයා කටයුතු කළේය. ඒ අනුව 1978 ඔක්තෝබර් 5 වැනිදා දිසා ඇමැතිවරු 24 දෙනෙකු පත් කරන ලද අතර කුරුණෑගල දිසා ඇමැති ධුරයට පත් කරනු ලැබුවේ ක්‍රියාශීලී මන්ත්‍රීවරයෙකු ලෙස නමක් දිනා ගෙන සිටි කටුගම්පොළ පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතාය.

 


අතීතයේ සිටම සමෘද්ධිමත් ප්‍රදේශයක්ව පැවැති සත්කෝරලය ප්‍රධාන කොටගත් කුරුණෑගල දිසාව යසඉසුරින් අනූන රාජ්‍යයක් ලෙස පැවැති අවධියක්ද විය. ක්වේරෝස් වැනි බටහිර ඉතිහාසඥයන් ලියා තබා ඇති අන්දමට දාහතර වැනි සියවසේ සිට එම පෙදෙස සරුසාර බතින් බුලතින් හිඟපාඩුවක් නොවූ පතිරූප දේශයක්ම වූවේය. කුරුණෑගල පමණක් නොව ආසන්න පඬුවස්නුවර, යාපා නුවර, හෙවත් යාපහුව සහ දඹදෙණිය ද මෙසේම යසඉසුරින් බැබළුණු සමෘද්ධිමත් පුරවරයන් වූවේය. බටහිර අධිරාජ්‍යයන් තුනක පාලන සමයෙන් පසු නිදහස ලබන විට එකී සමෘද්ධිමත් බව පලාගොස් තිබුණු අතර වැව් අමුණු විනාශව ගොස් බොහෝ කුඹුරු යායවල් වල් බිහිවී ගොස් තිබුණි. ජයවික්‍රම පෙරේරා දිසා ඇමැතිවරයා තමාට පැවරුණු සුවිශාල වගකීම් වටහා ගත්තේ ඇතුගල් පුර රාජධානියේ පෙර රජ දවස පැවැති ශ්‍රී සමෘද්ධිය යළි ඇති කර අධිරාජ්‍යවාදී පාලනය යටතේ දුෂ්කර ප්‍රදේශයක් යැයි අවමානයට සහ අසහනයට පත්ව සිටින තම ජනතාව එයින් මුදවා ගැනීම තමා පිට පැවරෙන වගකීමක් ලෙසය. දිස්ත්‍රික්කයේම නොසැලකිල්ලට ලක්ව විනාශයට පත් වෙමින් පැවැති මාර්ග පද්ධතිය, පැරණි වාරිකර්මාන්ත, විදුලිය ලබාදීම, අධ්‍යාපනය නගාසිටුවීම ආදී නොයෙකුත් සංවර්ධන යෝජනා ක්‍රම ක්‍රියාත්මක කරමින් කුරුණෑගල දිස්ත්‍රික්කයටත් විශේෂයෙන් තමා නියෝජනය කරන කටුගම්පොළ ආසනයටත් විශාල සේවයක් සිදු කිරීමට ජයවික්‍රම පෙරේරා මහතාට අවස්ථාව ලැබුණි.

 

 

 


මතු සම්බන්ධයි.

 

 

 

 

 

 

 

 

 

සෝමසිරි වික්‍රමසිංහ