IMG-LOGO

2025 සැප්තැම්බර් මස 16 වන අඟහරුවාදා


වත්තට ගිය ජේ.ආර්.ට බල්ලෙකුගෙන් සද්දයක්

 

පළමු විධායක ජනපතිගේ නොපළ කතා - 03

සිරිවර්ධන සිල්වා මහතා මාදම්පේ නව නගරයේ එගොඩයාගම පිහිටි ජේ.ආර්. ජයවර්ධන මහතාගේ වත්තේ හේවරාළ කෙනෙක්. එහෙමත් නැත්නම් මුරකරුවකු ලෙස වසර 27 ක පමණ කාලයක් සේවය කර ඇත. ජේ. ආර්. මියගිය පසු ඔහුගේ එකම පුත් රවි ජයවර්ධන මහතා එම ඉඩම මාදම්පේ විවිධ සේවා සමුපකාර සමිතියට විකිණීමට සූදානම්වූ අවස්ථාවේ සිරිවර්ධන මහතාට ඔහුගේ නමට අක්කරයක් ඔප්පුවකින් ලියා පරිත්‍යාග කර ඇත.


ඉඩම මෙසේ සිරිවර්ධන මහතාට පරිත්‍යාග කර ඇත්තේ ජේ. ආර්.ගේ පුත් රවි ජයවර්ධන මහතා විසිනි. සිරිවර්ධන මහතා නිවසක් තනාගෙන පදිංචිව සිටින්නේ ජේ. ආර්ට අයත්ව තිබියදී ඔහුගේ පුතා ලබාදුන් එම ඉඩමේය.


සිය ජීවන ගමනේ 67 වැනි සැතපුම් කණුව පසුකරමින් සිටින සිරිවර්ධන සිල්වා මහතා මට මුණගස්වනු ලැබුවේ හලාවත මාදම්පේ සේනානායක ජාතික පාසලේ ක්‍රීඩා නිලධාරී ගාමිණී සිල්වා මහතා විසිනි.


ජේ. ආර්. මාදම්පේ පිහිටි වත්තට ආ දවස්වලට ඔහුට ආවතේව කිරීමට පවා ගොස් ඇත.


ඒ නිසා ජේ. ආර්.ගේ ඇවතුම් පැවතුම් ගැන අප්‍රකට තොරතුරු රැසක් සිරිවර්ධන සිල්වා මහතාගේ මතක ගබඩාවේ තවමත් රැඳී පවතී.
මෙතැන් සිට අකුරු බවට පත්කෙරෙන්නේ සිරිවර්ධන හේවරාළ මහතාගේ මතක ගබඩාව හාරා අවුස්සා සොයාගත් තොරතුරු ඔස්සේය.
සිරිවර්ධන මහතාගේ පියා එල්. මසියොන් සිල්වා මහතා ද ජේ. ආර්ට අයත් මාදම්පේ ඉස්සන්මැඩිල්ලවත්තේ වර්තමානයේ හරින්ද්‍රගම හේවරාළ වශයෙන්ද කටයුතු කර ඇත.


මාදම්පේ මැදගම මාර්ගයේ පිහිටා ඇති මෙම ඉඩමට යාමට ජේ. ආර්. කාර් රථයෙන් ඉස්සන්මැඩිල්ල හංදිය දක්වා පැමිණ එතැන් සිට වත්තට යන්නේ ගොන් බැඳි ටැන්ටු කරත්තයෙන් බව ඒ කාලයේ පාසල් යන වයසේ කොලු ගැටයෙක්ව සිටි සිරිවර්ධන මහතා පවසයි.
වත්තේපිටියේ ඇවිදින බල්ලෙකුට පූසෙකුට හෝ වෙනත් සතා සීපාවෙකුට ගලකින් මුගුරකින් වත් දමා ගසනවාට ජේ. ආර්. හාමු මහත්තයා අකමැතිවූ බවද සිරිවර්ධන මහතා කියා සිටියේය.


ජේ. ආර්. හාමු මහත්තයාට මාදම්පේ එගොඩයාගම වත්ත හැරෙන්න මාදම්පේ ගල්මුරුවේ අක්කර 300, පොතුවිල අක්කර 30, ඉස්සන්මැඩිල්ලේ අක්කර 130 හා මනක්කුලමේ අක්කර 50 කද ඉඩමක් තිබුණා. මාදම්පේ ප්‍රදේශයේ පිහිටි මේ සේරම ඉඩකඩම් ජේ. ආර්. හාමු මහත්තයා විවාහවෙද්දී එලීනා නෝනා හාමුගෙන් දෑවැද්දට ලැබුණු ඒවා.


අපේ තාත්තා ජේ. ආර්. හාමුගේ ඉස්සන්මැඩිල්ලේ තියන වත්තේ හේවරාළ විදිහට රස්සාව කර තිබෙනවා. ඒ කාලයේ අපි පදිංචිවෙලා හිටියේ ඒ වත්තේම මුර ගෙදරක. එතකොට මම ඉස්කෝලේ යන අවුරුදු 15 ක විතර කොල්ලෙක්. ජේ. ආර්. හාමු කොළඹ ඉඳන් මැදගම පාරේ ඉස්සන්මැඩිල්ල හංදියට එනකම් එනවා. එතැනින් එහාට වාහනයකින් එන්න තරම් හොඳ තත්ත්වයක පාර තිබුණේ නැහැ. ඒ හින්දා වත්තට යන්නේ ගොන් බැඳි ටැන්ටු කරත්තයෙන් බව ඒ කාලයේ පාසල් යන වයසේ පසුවූ සිරිවර්ධන මහතා පවසයි. වත්තේ පාලක මංචනායක මහත්තයා ටැන්ටු කරත්තය එවනවා ඉස්සන්මැඩිල්ලේ හංදියට. එතැන ඉඳලා හාමු මහත්තයා ටැන්ටු කරත්තයේ නැගලා වත්තට එනවා මට හොඳට මතකයි.


ඔන්න දවසක් ජේ. ආර්. හාමු වත්තට ඇවිත් ඉන්න දවසක වත්තේ ඇවිදින්න ගියා. වත්තේ හිටිය බල්ලෙක් ජේ.ආර්. හාමුට බුරාගෙන කන්න පැන්නා. අපේ තාත්තා ගලක් අරගෙන ඒ බල්ලාට ගැහුවා. බල්ලා ගල් පහර කාගෙන කෑගසාගෙන පැනලා දිව්වා. තාත්තා එහෙම නොකරන්න ජේ. ආර්. හාමු මහත්තයාව බල්ලා හපා කනවා. හේවරාළ මොකද ඒ කළ වැඬේ. ඇයි අර අහිංසක බල්ලාට ගැහැව්වේ. ඌ කොච්චර වේදනාවෙන් කෑගහගෙන ද දිව්වේ. ආයෙත් එහෙම ඔය වගේ අහිංසක සතුන්ට ගහන්න එපා කියා ජේ. ආර්. හාමු අපේ තාත්තාට කිව්වා මට අද වගේ මතකයේ තිබෙනවා.


ඔය කියන සිද්ධිය වෙන කාලයේ ජේ. ආර්. හාමුගේ තරුණ කාලේ හරිම ලස්සනයි. දවස් දෙක තුනක් ඉස්සන්මැඩිල්ල වත්තේ ගතකරලා යනවා. වත්තේ සේවකයින් එක්ක පවා හොඳට කතා බහ කරනවා.


ඉස්කෝලේ ගමන නවතා සිටි කාලයේ එනම් 1973 වසරේ සිරිවර්ධන මහතා මාදම්පේ එගොඩයාගම ජේ. ආර්ට අයත් ඉඩමට හේවරාළ කෙනෙක් වශයෙන් රැකියාව කිරීමට පැමිණ ඇත.


අපේ තාත්තා ඉස්සන්මැඩිල්ලේ ජේ.ආර්. හාමුගේ ඉඩමේ හේවරාළ විදිහට කටයුතු කරද්දී එතුමලාට බොහොම විශ්වාසවන්තව රස්සාව කළා. ඒ නිසා මටත් එගොඩයාගම වත්තේ හේවරාළ කෙනෙක් විදිහට රස්සාව කරන්න ලැබුණා. මම 73 අවුරුද්දේ ඉඳලා එක දිගටම 2000 වසර වෙනකම්ම ඒ රස්සාව කළා.


ජේ.ආර්. හාමු අවුරුද්දකට සැරයක්වත් අඩුම ගානේ වත්තට ඇවිත් දවසක් දෙකක් රෑ ගතකරලා යනවා. ඊට අමතරව මේ පළාතේ රැස්වීමකට ආවොත් එගොඩයාගම වත්තට ඇවිත් යනවා. හාමු මහත්තයා එක්ක ආර්යාවත් එනවා. පොල් අතු සෙවිලි කරලා ලැටිස් ගහපු ගෙදරක් තියනවා. ඒ ගෙදර තමා ආපුවාම ජේ.ආර්. හාමුයි ආර්යාවයි නවාතැන්ගත්තේ. ලයිට් නැහැ. ලන්තෑරුම් එළියෙන් තමා ඉන්නේ. හවස් යාමයේ තිණිපිටියවැව ළඟට වෙලා ඉන්නත් දෙන්නම හරිම කැමතියි. ඉඩමේ එක මායිමක තමා තිණිපිටිවැව පිහිටලා තිබෙන්නේ. ජනාධිපති අගමැති වෙලා ඉන්න කාලෙත් වත්තට එනවාමයි.


ජේ.ආර්. හාමුයි ආර්යාවයි ආපුවාම නැවතිලා ඉන්න පොල් අතු සෙවිලි කර ලැටිස් ගසා සාදා තිබෙන ගෙදර ෆෑන් එකක්වත් නැහැ. එතුමා ෆෑන් එකක්වත් ගෙදර තියනවාට කැමති නැහැ. තිනිපිටි වැවෙන් හමාගෙන එන සුළඟ හොඳටම ඇති කියනවා. සාමාන්‍ය බඩු මුට්ටු තමා ගෙදර තිබුණේ. ලලිත් ඇතුළත්මුදලි, ගාමිණී දිසානායක සහ රන්ජන් විජේරත්න ඇතුළු සෑම මැති ඇමතිවරයෙක්ම මේ ගෙදර ඇවිත් නැවතිලා ඉඳලා ගිහින් තිබෙනවා. ජනාධිපති ආර්යාව එක්ක මාලනී ෆොන්සේකා මහත්මියත් ඇවිත් ගොස් තිබෙනවා. ආර්. ප්‍රේමදාස මහත්තයා නම් කවදාවත් මේ ගෙදර ඇවිත් ගිහින් තියෙනවා කියන එක මගේ මතකයේ නැහැ.


වත්තට ආපුවාම සුදු සරමයි කමිසයකුයි ඇඳගෙන වත්තේ හවසට ඇවිදිනවා. සමහර දවස්වලට ආර්යාවත් ජේ.ආර්. හාමු එක්ක ඇවිදගෙන යනවා. ජනාධිපති අගමැති පදවිය දරද්දීත් මේ විදිහට වත්තේ ඇවිදින්න යනවා. ආරක්ෂකයන් පස්සෙන් එනවාට කැමති නැහැ. පස්සෙන් එන්න අවශ්‍ය නැහැ කියා කියනවා යැයි සිරිවර්ධන මහතා පැවසීය.
ජේ. ආර්. ගේ තවත් කතා ලබන සතියට.

ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය
ඡායාරූපය : මාදම්පේ එස්. හේරත්



අදහස් (0)

වත්තට ගිය ජේ.ආර්.ට බල්ලෙකුගෙන් සද්දයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්


මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 28881 30


’’අනුර ගෝ ගම පටන් ගත්තා’’
2025 අගෝස්තු මස 26 18209 35

රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 11254 7

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 692 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 209 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 861 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site