IMG-LOGO

2025 ඔක්තෝබර් මස 29 වන බදාදා


රනිල්ට එරෙහිව නායකත්ව මණ්ඩලයක්

තිස්සගේ මතක වත-97

 

එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය සම්බන්ධව ඇති වුණු අර්බුදයට යම් කිසි විසඳුමක් විදියට නායකත්ව මණ්ඩලය කියලා එකක් පිහිටෙව්වා. ඒක කරු ජයසූරියගෙ ප්‍රධානත්වයෙන් තමයි ක්‍රියාත්මක වුණේ. ඒ වෙලාවේ ඇති වුණු අර්බුදය විසඳන්න ගෙනාපු යෝජනාවක් විදියට ක්‍රියාත්මක වුණු දෙයක් තමයි මේ නායකත්ව මණ්ඩලය. 

කරු ජයසූරියගේ ප්‍රධානත්වයෙන් පත් කෙරුණු මේ නායකත්ව මණ්ඩලයට නිල නියෝජිතයෝ හැටියට පක්ෂ මහ ලේකම් විදියට මමත් පක්ෂෙ ප්‍රචාරක අංශයේ ප්‍රධානියා හැටියට මංගල සමරවීරත් ඊට අමතරව රවී කරුණානායක, කබීර් ශසීම් වගේ අය තොරා පත් කර ගත් අය හැටියට සම්බන්ධ වුණා. මේකට සජිත් ප්‍රේමදාස, තලතා අතුකෝරල වගේ අයත් පත් කළා. ඒත් සජිතුත් තලතත් මේක ප්‍රතික්ෂේප කළා. මේ නායකත්ව මණ්ඩලයේ මූලික අරමුණ වෙලා තිබුණේ පක්ෂයේ නායකයා තනි තීන්දු ගන්නවා වෙනුවට පක්ෂය පිළිබඳ තීන්දු නායකත්ව මණ්ඩලය හරහා ගත යුතුයි කියන කාරණය. මේක ලියවිල්ලකින් ඇති කර ගතතු එකඟතාවක් මිසක් පක්ෂ ව්‍යවස්ථාවට ඇතුළත් කාරණයක් නොවෙයි. පක්ෂ ව්‍යවස්ථාව සංශෝධනය කරලා මේ කරුණු ඇතුළත් කරන්න යෝජනා වුණත් “ඉක්මන් ප්‍රායෝගික විසඳුමක් හැටියට මේක ක්‍රියාත්මක කරමු” කියලා අපි කිව්වා. 
පක්ෂ නායක රනිල් වික්‍රමසිංහට එරෙහිව තිබුණු ප්‍රධාන චෝදනාව තමයි අන් අයගේ අදහස්වලට ඇහුම්කන් නොදී තනි මතයට තීන්දු ගන්නවා කියන එක. ඒකෙන් පක්ෂය සෑහෙන්න දුරට බිඳ වැටීමට ලක් වෙලා තියෙනවා කියන එක තමයි බොහෝ දෙනාගේ මතය වුණේ. නායකත්ව මණ්ඩලය පිළිබඳව යෝජනාව මුලින්ම ඉදිරිපත් වුණේ අපවත් වී වදාළ ගිරාඹේ ආනන්ද හාමුදුරුවන් ඇතුළු මහා සංඝරත්නයත්. ඒ අය බල කළා රනිල් විරෝධී සටන කරගෙන යන අතරෙම රනිල්ට නායකත්වයෙන් ඉවත් වෙන්න කියලා. රනිල් වික්‍රමසිංහ නායකත්වයෙන් ඉවත් වීම දිගින් දිගටම ප්‍රතික්ෂේප කළා. රනිල් එසේ කිරීම නිසාම පක්ෂ අර්බුදය උත්සන්න වුණා. එතකොට තමයි මේ නායකත්ව මණ්ඩල යෝජනාව කරළියට ආවේ. 


නායකත්ව මණ්ඩලයට පැවරුණු මූලික වගකීම තමයි පක්ෂයේ සංවිධාන ව්‍යුහය යළි සකස් කිරීම. ආරම්භක නායකත්ව මණ්ඩල රැස්වීමේ ඉඳළම මම නිල වශයෙන් ලේකම්වරයා හැටියට කටයුතු කළා. පක්ෂයේ ලේකම්වරයා හැටියටත් එතකොට මමයි කටයුතු කළේ. නායකත්ව මණ්ඩලය ආරම්භයේ අපේක්ෂා කළ වැඩපිළිවෙළට අවතීර්ණ වෙන්න ලොකු උත්සාහයක් ගත්තා. රනිල් වික්‍රමසිංහ මේ නායකත්ව මණ්ඩලයේ සාමාජිකයෙක් වුණේ නෑ. ඔහු ජාතික නායක කියලා තත්ත්වයකට පත් කළා. නායකත්ව මණ්ඩලය අරගන්න තීන්දු ජාතික නායකයා එක්ක සාකච්ඡා කරලා ක්‍රියාත්මක කිරීමේ වගකීම පැවරුණේ ලේකම් විදියට මට. ආරම්යේදී විවිධ සාකච්ඡා පවත්වමින් ලොකු ලොකු යෝජනා ඉදිරිපත් කළා. ඒත් ටික ටික ඉදිරියට යද්දී මූලික එකඟතාවන්වලට අනුකූලව ඒවා ක්‍රියාත්මක වුණේ නෑ. රනිල් වික්‍රමසිංහගේ සාමාන්‍ය ස්වාභාවය තමයි ඕනෑම ප්‍රශ්නකාරී දෙයක් ප්‍රමාද කිරීම. නායකත්ව මණ්ඩලය ගත්තු ගොඩක් තීන්දු ජාතික නායක රනිල් වික්‍රමසිංහ අතින් ප්‍රමාද කිරීම නිසා නායකත්ව මණ්ඩලයේ ක්‍රීයාකාරීත්වයේ බලය හීන වුණා. 


ටිකෙන් ටික නායකත්ව මණ්ඩල සාමාජිකයන් අතරේ විවිධ විවේචන මත ගැටුම් ඇති වෙන්න පටන් ගත්තා. රවී කරුණානායක නායකත්ව මණ්ඩලයේ ඉන්න ගමන් රනිල් වික්‍රමසිංහට අපහාස උපහාස කිරීම විවේචනය කිරීමට මම විරුද්ධ වුණා. ඒ වගේ සිදුවීම් අවස්ථා ගණනාවකදී ඇති වුණා. අපි අතරත් මත ගැටුම් මේ නිසා ඇති වුණා. කරු ජයසූරිය නායකත්ව මණ්ඩල සභාපති හැටියටත් ඇතැම් සිදුවීම් ඔහුටත් පාලනය කරන්න නොහැකි මට්ටමට ගියා. මත ගැටුම් දිගින් දිගමට පැවතිලා නායකත්වය නරක අතට යද්දී මම තීරණය කළා නායකත්ව මණ්ඩලයෙන් ඉවත් වෙන්න. මේ පිළිබඳව මම රනිල්ට ලිඛිතව දැනුම් දුන්නා. මම ඉල්ලා අස්වීමේ ලිපියක් නායකත්ව මණ්ඩල සභාපති කරු ජයසූරියටත් ඉදිරිපත් කළා. ඒත් ඔහු ඒක ප්‍රතික්ෂේප කළා. ඒත් මම ඊට පස්සේ නායකත්ව මණ්ඩල රැස්වීම කිසිවකට සහභාගී වුණේ නෑ. ඒත් එක්කම වගේ නායකත්ව මණ්ඩලයත් අක්‍රිය වෙලා ගියා. 
තව කොටසක් ලබන සතියට.

 

ප්‍රියන්ත කොඩිප්පිලි
ඡායාරූපය : අන්තර්ජාලයෙනි



අදහස් (0)

රනිල්ට එරෙහිව නායකත්ව මණ්ඩලයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1585 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1378 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 491 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site