IMG-LOGO

2025 සැප්තැම්බර් මස 16 වන අඟහරුවාදා


රාජ්‍ය ඇමතිට එරෙහි වූ මහ කොමසාරිස්ට ලැබුණු දඬුවම

1991 මැයි මස 11 වැනිදා මෙරට සියලුම පළාත් පාලන ආයතන සඳහා අභිනවයෙන් මන්ත්‍රීවරුන් තෝරා ගැනීම පිණිස මැතිවරණයක් පැවැත්වෙමින් තිබුණේය. ඒ වනවිට රටේ පාලන බලය දැරූ එ.ජා.ප.ය.ට ශ්‍රී.ල.නි.ප.ය. ඇතුළු සෙසු වාමාංශික දේශපාලන පක්ෂවලින් තරමක අභියෝගයක් එල්ල වී තිබුණෙන් එ.ජා.ප.ය.ට අවශ්‍ය වූයේ හිස ඔසවමින් පැවැති එම දේශපාලන බලය යටපත්කොට පළාත් පාලන ආයතනවල පාලන බලතල තමන් යටතේම රඳවා ගැනීමටය.


එවන් තත්ත්වයක් යටතේ මේ බොහෝ ප්‍රදේශයන්හි ඡන්ද උණුසුම ඉහළ නැග තිබුණේය. මේ අතර එදින දහවල් කාලයේ මාතර දිස්ත්‍රික්කයට අයත් දික්වැල්ල හරහා පෞද්ගලික චාරිකාවක යෙදී සිටි එවකට ශ්‍රී ලංකාවේ සිටි බි්‍රතාන්‍ය මහ කොමසාරිස් ඬේවිඞ් ග්ලැඞ්ස්ටන් මහතා අතරමඟදී එක් අපූරු සිද්ධියක් දැක තම වාහනය නතර කර ඒ දෙස බලා සිටියේය. 


පසුව ඔහු දික්වැල්ල පොලිසියට කළ පැමිණිල්ලකට අනුව ඔහු දැක තිබුණේ දික්වැල්ලේ අංක 2 දරණ ඡන්ද මධ්‍යස්ථානයට ගොස් ඡන්දය ප්‍රකාශ කර ආපසු යමින් සිටි ඡන්ද දායකයන් අතරමඟ දී නතර කරගත් කොළ තොප්පි කාරයන් පිරිසක් එම ඡන්ද දායකයන්ගේ සුළැඟිල්ලේ ඇතුල්ලා තිබූ තීන්ත සලකුණු මකා දමන අයුරුය. 


තානාපති නිල රියකින් පැමිණි සුද්දන් කීප දෙනෙකු තමන්ගේ එම ක්‍රියාව දෙස මහත් ඕනෑ කමින් බලා සිටින අයුරු දුටු එම කොළ තොප්පිකාරයන් අයිසේ ජොනී, ගෝ, හෝ යි කියමින් ඔවුන් එළවා දමා තිබුණහ. ඒ අනුව බි්‍රතාන්‍ය මහ කොමසාරිස්වරයාගේ පිළිගැනීම වූයේ එම පිරිස ඡන්දය ප්‍රකාශකොට ආපසු එමින් සිටි ඡන්ද දායකයන්ගේ සුළැඟිලිවල තවරා තිබූ තීන්ත සළකුණු මකා දමන ලද්දේ ඔවුන් ලවා හොර ඡන්ද දමා ගැනීමේ අදහසින් විය හැකි බවයි. 


මේ අතර මෙරට සිටින රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියකු විසින් කළ එම පැමිණිල්ල ගැන ඇසූ එවකට මාතර දිස්ත්‍රික් මන්ත්‍රීවරයකු මෙන්ම රාජ්‍ය ඇමැතිවරයෙකු ද වූ එච්. ආර්. පියසිරි මහතා හිස ගිනි ගත්තෙකු මෙන්ම දික්වැල්ල පොලිසියට කඩා වැදුණේය. 


එයා කොහොමද එහෙම කියන්නේ. මේක තනිකරම ද්වේශ සහගතව කරපු බොරු චෝදනාවක්. එයා එහෙම කියන්නේ මාත් එක්ක තියෙන තරහකට. අනෙක රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියෙකු හැටියට එතුමාට පුළුවන්ද? මේ රටේ අභ්‍යන්තර කටයුතුවලට ඇඟිලි ගහන්නයි ඇසූ පියසිරි ඇමැතිවරයා ඬේවිඞ් ග්ලැඞ්ස්ටන් මහතාට විරුද්ධව පොලිසියේ පැමිණිල්ලක් කිරීමට ද අමතක නොකළේය. 


ශ්‍රී ලංකාවේ බි්‍රතාන්‍ය මහ කොමසාරිස්වරයා විසින් දික්වැල්ල පොලිසියට කරන ලද පැමිණිල්ල පිළිබඳවත් පියසිරි ඇමැතිවරයා ඊට එරෙහිව දක්වා තිබෙන ප්‍රතිචාරය පිළිබඳවත් රොයිටර්, සී.එන්.එන්. වැනි ජාතන්තර ප්‍රවෘත්ති ඒජන්සි මගින් ලොව පුරා වාර්තා කර තිබුණේය. එහෙත් එවකට පැවැති ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව හෝ ජාතික රූපවාහිනිය එදින සවස් වනතුරුම එම සිද්ධිය පිළිබඳව දක්වා තිබුණේ දැඩි නිහඬතාවකි. 
කෙසේ වෙතත් මේ සිද්ධිය ගැන ලොක්කා දැනුවත් නොකළහොත් ප්‍රශ්නයක් ඇතිවීමට ඉඩ ඇතැයි සිතූ ඇමැතිවරයා ඒ මොහොතේම ප්‍රේමදාස ජනාධිපතිතුමාට ඇමතුමක් ගෙන සිද්ධියේ අලගියතැන් සහ වැලගිය තැන් පිළිබඳව අකුරක් නෑර විස්තර කළේය. 


“සර් මම ග්ලැඞ්ස්ටන්ට විරුද්ධව පාර්ලිමේන්තුවේ කථා කෙරුවණේ. මිනිහ ඒ ගැන කෝන්තරේ හිතේ තියාගෙන ඉඳලා තමයි ඔය පැමිණිල්ල කරලා ඒ ගැන ෆොරින් මීඩියා එකටත් කියන්න ඇත්තේ.” 


තම රාජ්‍ය ඇමැතිවරයා කී ඒ කතාව ඇසූ ප්‍රේමදාස ජනාධිපතිතුමාට ද සිතුණේ එහි ද යම් සත්‍යයක් තිබිය හැකි බවය. 


එවකට ශ්‍රී ලංකාවේ බි්‍රතාන්‍ය මහ කොමසාරිස් ධුරය ඉසිලූ ග්ලැඞ්ස්ටන් මහතා මත් ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් බි්‍රතාන්‍ය උසාවියක් හමුවේ චූදිතයෙකු වී සිටින ශ්‍රී ලාංකිකයෙකු හා ඊට සමාන චෝදනාවකට ලක්වී ඕස්ටේ්‍රලියාවේ අධිකරණයක් මගින් දඬුවමකට නියම කර ඇති ශ්‍රී ලාංකිකයෙකු සමඟ සමීප සබඳකම් පවත්වන බවට පියසිරි ඇමැතිවරයා පාර්ලිමේන්තුවේදී ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කර තිබූ බව ද ඒ සමගම ජනාධිපතිතුමාගේ ද මතකයට නැගී ආවේය. 


ඔව්. ඒක එහෙම වෙන්නත් පුළුවන්....! යි කී රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා පියසිරිට සමුදී අග්‍රාමාත්‍ය කාර්යාලයේ මාධ්‍ය කටයුතු පිළිබඳ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් එවන්ස් කුරේට වහාම තම කාර්යාලයට පැමිණෙන ලෙස අණ කළේය. 


අන්තිමේදී සිද්ධිය බොහෝ දුර දිග ගියේය. පසුව එය අවසන් වුයේ දෙරට අතර ඇති වූ ලිපි හුවමාරුවකින් පසු ශ්‍රී ලංකාවේ බි්‍රතාන්‍ය මහ කොමසාරිස් ධුරය දරූ ඬේවිඞ් ග්ලැඞ්ස්ටන් මහතා පිළිගත නොහැකි පුද්ගලෙයකු ලෙස රජය මගින් ප්‍රකාශයට පත් කිරීමෙනි. එවැනි තත්ත්වයක් යටතේ තම මහ කොමසාරිස්වරයා තවදුරටත් ශ්‍රී ලංකාවේ රඳවා තැබීමට නොහැකි වූ බි්‍රතාන්‍යය ආණ්ඩුව ග්ලැඞ්ස්ටන් මහතා ආපසු ගෙන්වා ගැනීම එහි ඊළඟ ප්‍රතිඵලය විය.


කොහොම හරි ග්ලැඞ්ස්ටන්ට අන්තිමේදී අකුළ ගෙන යන්නත් සිද්ධ වුණා යි කියමින් එච්. ආර්. පියසිරි රාජ්‍ය ඇමැතිවරයා උදම් ඇනුවද අන්තිමේදී 1994 මහ මැතිවරණයට තරග කිරීම සඳහා ඔහුට එ.ජා.ප.යෙන් නාම යෝජනා පවා නොලැබුණේ එහි තවත් අතුරු ප්‍රතිඵලයක් වශයෙන් විය හැකිය.

 

නිහාල් ජගත්චන්ද්‍ර
ඡායාරූපය : අන්තර්ජාලයෙනි



අදහස් (0)

රාජ්‍ය ඇමතිට එරෙහි වූ මහ කොමසාරිස්ට ලැබුණු දඬුවම

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්


මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 28374 30


’’අනුර ගෝ ගම පටන් ගත්තා’’
2025 අගෝස්තු මස 26 18192 35

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10885 30

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 673 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 199 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 855 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site