IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


මංගලගේ ඔට්ටුව

 

 

වසර 2000 පැවැති මහ මැතිවරණයෙන් පොදුජන එක්සත් පෙරමුණු සන්ධානයට මන්ත්‍රී ධුර 107 ක් ලැබී තිබුණේය. එවර එ.ජා.ප.යට මන්ත්‍රී ධුර 89 ක් හා ජවිපෙට මන්ත්‍රී ධුර 10 ක් හිමි විය. එම සමස්ත මැතිවරණ ප්‍රතිඵල අනුව පො.එ.පෙ.ට. ආණ්ඩු බලය හිමි වුවද ආණ්ඩු පක්ෂයට හිමි වූයේ සුළු බහුතරයකි. 


ඒ අනුව වැඩි පිරිසකගේ සහයෝගය දිනාගෙන ආණ්ඩුව පවත්වාගෙන යාම සඳහා 44 දෙනෙකුගෙන් සමන්විත මෙගා ඇමැති මණ්ඩලයක් පත්කර ගැනීමට රාජ්‍ය නායිකාව වු චන්ද්‍රිකා කුමාරතුංග මැතිනියට සිදු විය. එසේ වුවද ආරම්භයේ සිටම ආණ්ඩුව පවත්වාගෙන යාමට සිදු වූයේ තරමක අර්බුදකාරී තත්ත්වයකිනි. 


ඊට හේතු වූයේ ඇතැම් ඇමැති මණ්ඩල සාමාජිකයන් තමන්ට හිමි වූ ඇමැතිධුර පිළිබඳව අතෘප්තිමත් වීමය. ආණ්ඩුව නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් මෙරටට හඳුන්වාදීමට සූදානම් වූයෙන් එම අර්බුදය තව තවත් උග්‍ර අතට හැරෙමින් තිබුණේය. 


මේ අතර 1994 සිට ආණ්ඩුව සමග එක්ව කටයුතු කළ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය තුළ ද අභ්‍යන්තර ගැටුමක් හට ගෙන එම පක්ෂය කොටස් තුනකට කැඩී තිබුණු අතර රාවුෆ් හකීම් මහතා ජනාධිපතිනිය ඔහු දැරූ ඇමැතිධුරයෙන් පවා ඉවත් කර තිබුණාය. එම තත්ත්වය යටතේ ආණ්ඩුවේ බලය ඉරිතලා ගොස් තිබුණේ දැවැන්ත දේශපාලන අර්බුදයක පෙරමඟ ලකුණු පළ කරමිනි. 


එවැනි අර්බුදකාරී තත්ත්වයක් යටතේ තම බලය ස්ථාවර කර ගැනීමේ අරමුණින් යුතුව තමන් විසින් ගෙන එන ලද නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කර ගැනීම සඳහා ජනමත විචාරණයක් පැවැත්වීමට ආණ්ඩුව සූදානම් වූයේ මේ අතරතුරය. ඒ සඳහා දින වකවානු පවා තීරණය කර තිබුණේ එය හදිසි අවශ්‍යතාවක් ලෙස සලකමිනි. 


“අපි ඒ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට විරුද්ධයි” කී එජාපය ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් එවකට පාර්ලිමේන්තුවේ කතානායක අනුර බණ්ඩාරනායක මහතාට ඉදිරිපත් කර තිබුණේය. මේ කාලය වන විට චන්ද්‍රිකා ජනාධිපතිතුමියගේ අතිශය විශ්වාසයවන්ත මිත්‍රයෙකු වූ මංගල සමරවීර ඇමැතිවරයා මාස එක හමාරක පමණ කාලයක් සඳහා වූ අධ්‍යයන කටයුත්තකට විදේශ ගත වී සිටියේය. එහෙයින් ඔහු මෙරට දේශපාලන ක්ෂේත්‍රයේ යටිබිම් ගතව සිදුවෙමින් පැවැති අර්බුද පිළිබඳව දැන සිටියේ ස්වල්ප වශයෙනි. 
මේ අතර ජනාධිපතිනියගේ තවත් සමීපතම මිත්‍රයෙකු වූ එස්. බී. දිසානායක මහතා සිටියේද තරමක සිත් තැවුලකිනි. 


“ලෝක්කිත් එක්ක මේ ගමන යන්න අමාරුයි වගේ” යි කී ඔහු ඒ දිනවල එ.ජා.ප.ය. සමග යම් රහසිගත සම්බන්ධයක් පවත්වාගෙන ගියේ තවත් ඇමැති සගයන් කීප දෙනෙකු ද සමගය. මහින්ද විජේසේකර, මහාචාර්ය ජී. එල්. පීරිස්, බන්දුල ගුණවර්ධන සහ ආරුමුගම් තොණ්ඩමන් ඇතුළු තවත් කීප දෙනෙක් ද ඔවුන් අතර සිටියහ. “ඇත්ත ද තමුන්නාන්සේ එජාපයට යන්න හදනවයි කියන්නේ,” මාධ්‍යකරුවන් එස්. බී. ගෙන් ඇසූ හැම අවස්ථාවකදීම පාහේ ඔහු එම අදහස තරයේ ප්‍රතික්ෂේප කර තිබුණේ “අපි ලොක්කි අත ඇරලා කොහේ යන්න ද බං” යි අසමිනි. මේ අතර ඇතැම් අවස්ථාවක දී එ.ජා.ප. නායකයාගේ ක්‍රියාකලාපය ඔහු දැඩි ලෙස විවේචනය කර තිබුණේය. ඒ අනුව ඔහු උත්සාහ කර තිබුණේ තමන් හා එජාපය අතර කිසිදු හිතවත්කමක් නැතැයි පෙන්වීමටය. 


මේ අතර තම විදේශගත අධ්‍යාපන ක්‍රියාවලිය අවසන් කළ මංගල සමරවීර මහතා යළි සිය රට බලා පැමිණි දිනට පසුදාම ඔහු තම අමාත්‍යාංශ කාර්යාලයේදී මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වීමට ද පියවරගෙන තිබුණේය. තම අධ්‍යයන ක්‍රියාවලිය ගැනත් එමගින් මෙරට නාගරික සංවර්ධන සහ ඉදිකිරීම් ක්ෂේත්‍රයට ලබා ගත හැකි වටිනා ඵල ප්‍රයෝජන ගැනත් දීර්ඝ වශයෙන් කරුණු දැක්වූ ඇමැතිවරයාගෙන් ජනමාධ්‍ය නියෝජිතයන් පුන පුනා ඇසුවේ එකම ප්‍රශ්නයකි. එනම් ඔබේ මිත්‍රයා වූ එස්. බී. දිසානායක මහතා ආණ්ඩුවෙන් ඉවත් වී විපක්ෂය සමග එක්වීමට සූදානමින් සිටින බවට පැතිරී ඇති රාවය සත්‍යයක් ද යන්නය. 


“එස්. බී. මගේ හොඳම මිත්‍රයා. එයා ගැන මම හොඳට දන්නවා. තමුන්නාන්සේලා කියන විදියට එස්. බී. ආණ්ඩුව අත හැර එජාපයට ගියොත් මම මගේ මේ කන කපා ගන්නවා.” ඊට පිළිතුරු වශයෙන් කී මංගල තමන්ගේ වම් අතින් අල්ලා දකුණු කන මාධ්‍ය නියෝජිතයන් හට පෙන්වද්දී අවට සිටි ඡායාරූප ශිල්පීන්ගේ කැමරා බුබුළුවලින් නැගුණේ දෑස් නිලංකාර වී යන තරමේ අලෝකයකි. 


මේ අතර මංගලට පසුපස අසුනේ සිටි රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ආරිය රූබසිංහ ලොක්කාගේ කනට කර රහසක් කීවේය. 


“සර් ඔය කතාව තවත් කියන්න එපා. එහෙම වුණොත් සර්ට සිද්ධ වේවි තමන්ගේම කන කපා ගන්න”යි කියලා රූබය මට කිව්වා. මිනිහි කිව්වත් වගේම එස්. බී. තවත් ඇමැතිවරු කට්ටියක් එක්ක ඊට පස්සෙන්දාම විපක්ෂයට ගිහින් ඉඳ ගත්තා.


මංගල එම සිද්ධිය අදටත් සිහිපත් කරන්නේ සිනාසෙමිනි. එස්. බී. ලාගේ එම සූදානම ගැන රූබසිංහගෙන් දැන ගත් තමන් එය වළක්වාලීමට සෑහෙන උත්සාහයක් දැරුවද එය මුළුමනින්ම අසාර්ථක වූ බව හෙතෙම පවසයි.

 

 

නිහාල් ජගත්චන්ද්‍ර
ඡායාරූප : අන්තර්ජාලයෙනි



අදහස් (0)

මංගලගේ ඔට්ටුව

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 33 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 123 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 925 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site