‘බලය යනු මගේ බිරිදයි. ඇය අන් සතුවීමට කිසි ලෙසකින්වත් මම ඉඩ නොදෙමි” යැයි ප්‍රංශයේ නැපෝලියන් බොනපාට් අධිරාජයා පැවසූ බව සඳහන් වේ. දේශපාලනයේ සාමාන්‍ය යථාර්ථය එමගින් පිළිබිඹු වේ. බලය ලබාගැනීමටත් එය රැකගැනීමටත් ලෝකයේ කොතනක වුවත් සිදුවන නොනවතින අරගලය අසන දකින විට කලකට පෙර කළ නැපෝලියන්ගේ එම ප්‍රකාශය කෙතරම් ප්‍රායෝගික දැයි යන්න අපට ප්‍රත්‍යක්‍ෂ වේ. බලය ලබාගැනීම පිණිස මිස එය අතහැරීමට කටයුතු කරන නායකයෝ ලෝකයේ අත්‍යන්තයෙන්ම විරලය. ශ්‍රී ලංකාවේ නොව සමස්ත ලෝක මට්ටමින් සැලකුවද එය එසේමය. අද අප කථා කිරීමට බලාපොරොත්තුවනුයේ මෙරට දේශපාලනය ප්‍රභාවත් කළ එවැනි අතිශය විරල ගණයේ නායකයෙකු ගැනය. සිව් වරක් මෙරට අගමැතිධුරය දැරූ ජනරංජන ජන නායක සහ බත්දුන් පියා ආදී නොයෙකුත් විරුදාවලි ලැබූ ඩඞ්ලි සේනානායක මහතා එම විරල ගණයේ දේශපාලනඥයාය.

විහාර මහා දේවි උයනේ උස් තුරු මුදුන්වල සිට ගී ගයන කෝකිලයන්ගේ කූජනය මට මේ මොහොතේත් යම්තමින් ඇසේ. එයින් අරුත් ගැන්වෙන්නේ අසිරිමත් බක්මහ උළෙල අත ළඟම පැමිණෙන බවයි. එම අවස්ථාව ශ්‍රී ලංකාවාසී ජනතාව ඉතා ප්‍රීතියෙන් සමරණ බව අමුතුවෙන් පැහැදිලි කළ යුතු නොවේ. 


සදා කල්හිම සිදුවන චිරාගත සිරිත එසේ වුවත් 1973 අප්‍රේල් දහතුන්වැනිදාට එළඹුණු බක්මහ සූර්ය මංගල්‍යය එසේ වූයේ නැත. එයට හේතුව වූයේ පෙර සඳහන් කළ ජනරංජන ජන නායක ඩඞ්ලි සේනානායක මහත්මාණන්ගේ අභාවයයි. නොදැනීම එයින් හතළිස්පස් වසරක් ගෙවී ගොස් ඇත. එය සුළු පටු කාල සීමාවක් නොවේ. එදා වැඩිහිටි වයසේ පසු වූ අති බහුතරය අද ජීවතුන් අතර නොමැති බව නිසැකය. එදා භද්‍ර යෞවනයේ සිටි අපි දිවි ගමනේ සන්ධ්‍යා භාගයට එළඹෙමින් සිටිමු. මේසා දීර්ඝ කාලයකට පසුවත් ඩඞ්ලි සේනානායක මහතාගේ කීර්තිමත් නාමය මේ රටේ ජනතාවට අමතකව නැත. එපමණක් නොව එතුමා වර්තමාන සමාජයේ දේශපාලන ක්‍ෂේත්‍රය ගැන කතා කරන බොහෝ විට පරමාදර්ශී චරිතයක් ලෙස සලකනු ලැබේ. ඒ එතුමා නිසැකවම ‘ප්‍රජාතන්ත්‍රවාදයේ ප්‍රතිමූර්තිය’ වූ නිසාය. “බත් දුන් පියා” වූ නිසාය.


ඩඞ්ලි සේනානායක මහතා දේශපාලන ක්ෂේත්‍රයට ගෙන ආවේ බලහත්කාරයෙනි. අගමැතිධුරය ප්‍රථම වරට පැවරුවේ බලයෙනි. අවංකව ඔහු එය ප්‍රතික්ෂේප කළ බව ඓතිහාසික සත්‍යයකි. අගමැතිධුරය පිළිබද විවේචන එල්ල වූ විට පාර්ලිමේන්තුව විසුරුවා හැර මහා මැතිවරණයකට මුහුණ දීමට ඔහු නිර්භීත විය. එය ජය ලබා සුවිශාල බලයක් අත්කරගෙන නැවත අගමැතිවිය.


එසමයේ ඇති වූ අර්බුදයක් හේතුකොටගෙන ජීවිත නවයක් විනාහ වූ බව නොරහසකි. එයට එතුමාගේ සෘජු සම්බන්ධයක් තිබුණේද නැත. එහෙත් පිවිතුරු ප්‍රජාතන්ත්‍රවාදියෙකු ලෙස එම සිදුවීමේ වගකීම තමා වෙත පවරාගෙන ශ්‍රී ලංකා රාජ්‍යයේ අග්‍රාමාත්‍ය පදවිය කිසිදු පැකිළීමකින් තොරව අතහැර දැමුවේය. රාජ්‍ය නායකත්වය පමණක් නොව එම සිංහාසනයට නගින හිණි මග වූ එක්සත් ජාතික පක්‍ෂයේ නායකත්වයද ප්‍රතික්‍ෂේප කළේය. පසු කලෙකදී එතුමා එම තනතුර නැවත භාර ගත්තේ ඔහු නොමැතිව පක්ෂය ජයග්‍රහණය කළ නොහැකි බවට අදෝනා නගමින් පින්සෙන්ඩු වූ නිසාය. 1956 දී ආසන අටට වැටී විරුද්ධ පක්‍ෂයේ නායකත්වය පවා අහිමිව ගිය එක්සත් ජාතික පක්ෂයට රාජ්‍ය බලය අත්කර ගැනීමට හැකිවූවේ ඩඞ්ලි සේනානායක මහතාගේ කෘතහස්ත නායකත්වය නිසාමය. 


යම් තනතුරකට පත් වූ පසු තමා අතින් කුමන අතපහුවීම් සිදු වුවද ‘මුත්තා කීවත් යන්නේ නැහැ” න්‍යායයෙන් කටයුතු කිරීම බහුලව දක්නට ලැබෙන සිදුවීමකි. එවැනි ක්‍ෂේත්‍රයක ඩඞ්ලි වැන්නෝ නුසුදුස්සෙක්දැයි සිතෙන තරමට අවංක හා යුක්තිගරුක වූවේය. 1970 මහා මැතිවරණයේදී රාජය බලය අහිමි වී පක්‍ෂය පරාජයට පත් වූ අවස්ථාවේදී ඔහු නාමිකව පක්‍ෂ නායකත්වය රඳවාගෙන විරුද්ධ පක්ෂයේ නායක ධුරය හා පක්‍ෂය ජයග්‍රහණය කිරීමේ වගකීම තම දෙවැන්නා වූ ජේ. ආර්. ජයවර්ධන මහතාට පවරා දුන්නේය. ඔහුගේ දුර දක්නා ඥනයේ විශිෂ්ට ප්‍රතිඵලය වූවේ 1977 දී යූ.ඇන්.පිය ලබාගත් අනභිභවනීය පාර්ලිමේන්තු බලයයි. නොයෙකුත් දක්ෂතා, හැකියාවන් සහ සුදුසුකම් ඇති නායකයෝ මෙරට බිහි වූහ. එහෙත් ප්‍රජාතන්ත්‍රවාදී ගති ලක්ෂණවලින් යුතු ඩඞ්ලි වැනි පරමාදර්ශී චරිතයක් ශ්‍රී ලංකා දේශපාලනයේ නොවූ බවට විචාරකයෝ මත පළ කරති.

 

 

 


මතු සම්බන්ධයි.

 

 

 

සෝමසිරි වික්‍රමසිංහ