රටේ තොරතුරු දැන ගැනීම ඉන්දියාවට ගිය සමසමාජ නායකයන්ගේ අපේක්ෂාව විය. දේශය වෙනුවෙන් සටනකට මුලදුන් බොරළුගොඩ පවුලේ පිලිප් මලණුවන්ගේ උපායශීලී පිළිවෙත් අනුව ඉන්දියාවට ගොස් සිටියද පිලිප්ගේ බිරිඳ කුසුමා තම සැමියා ගැන දැඩි විමසිල්ලකින් පසුවූයේ කුළුඳුල් දරු උපතක් අපේක්ෂාවෙන් සිටින මොහොතකදී තම සැමියාද ඒ අසල සිටිය යුතුය යන අදහසිනි.


පිලිප්ගෙන් කුසුමාට පණිවුඩයක් ලැබිණි. “ඉක්මනට ඉන්දියාවට එන්න. මයිසූර් නගරයේදී මාව හමුවන්න”. පවත්නා පරිසර රටාව අනුව තමා යන ගමන අතිශය අන්තරාදායක බව කුසුමා හොඳින් දැන සිටියාය. එහෙත් කළ යුතු එකම දෙය ඉන්දියාවට ගොස් තම පිරිස සමඟ එක්වීම හැර වෙන දෙයක් නොවීය. කුමන මොහොතක හෝ තමා අත්අඩංගුවට ගෙන සමසමාජයේ සියලු රහස් තොරතුරු දැනගැනීමට වෙස්වළාගත් පොලිස් හමුදාවක් තමා පිටුපස සිටින හෙයින් ඔවුන්ට නොදැනෙන්නට රටෙන් පිටවිය යුතු යැයි සිතා ගත්තාය.


පරණ සූට් කේස් කිහිපයක් පරිස්සමෙන් එළියට ඇද දැමූ කුසුමා තමා පාසලේ අවසන් වරට හැඳ සිටි සුදු ගවුම හැඳ ගත්තාය. කරල් දෙකකට ගොතාගත් කොණ්ඩයත් සමඟ පාසල් නිල ඇඳුම හැඳ සිටි කුසුමා තම හිතවත් පාක්ෂිකයකු වූ සෑම් සිල්වාට පණිවුඩයක් යැවීය. සෑම් සිල්වා තාත්තා ලෙසත් කුසුමා ඔහුගේ දියණිය ලෙසත් පෙනී සිටිමින් තලෙයිමන්නාරම දක්වා දුම්රියෙන් ගොස් එතැනින් ටි්‍රචිනපොලියට ළඟා වූවාය.


පිලිප් කියා තිබූ හෝටලයට ගියද ඔහු ගැන තොරතුරක් දැනගන්නට මේ දෙදෙනාට නොහැකි විය. පූර්ණ නිදහස වෙනුවෙන් ඉන්දියානුවන් ගෙන ගිය සටන මේ වන විට දැඩි ලෙස උද්වේගකර අවස්ථාවකට එළැඹෙමින් තිබිණ. බොම්බාය, මයිසූරය වැනි ප්‍රදේශවල නිරන්තරව බෝම්බ පුපුරන හඬ, අතොරක් නොමැතිව නැඟෙන වෙඩි හඬ පැතිරෙමින් තිබිණ.
රේල් පීලි ගලවා තිබීම නිසා දුම්රිය ගමනාගමනයන් නොපැවති අතර මහමග ගස් කොළන් වලින් අසුරා තිබිණි. දුරකථන රැහැන් පද්ධති මුළුමනින්ම අක්‍රිය වී තිබිණි. මයිසූරයේ හෝටලයක තනි වූ කුසුමාගේ තනියට කාන්තාවක්ද පැමිණීම නිසා සුළු හෝ අස්වැසිල්ලක් ඇති විය. දින කිහිපයක් එහි ගත කළ කුසුමා සහ මිත්‍ර කාන්තාව පිලිප් සොයාගෙන බොම්බාය බලා පිටත් වූහ. හදිසියේම බර්නාඞ් හමු වූ හෙයින් තරුණ බෞද්ධ සංගමයේ ගොඩනැගිල්ලක සැඟවී සිටි පිලිප් ඇතුළු පිරිස සමඟ එක්වීමට ඇයට හැකිවිය.
පිලිප් ඉන්දියානු නිදහස් අරගලයේ උන්නතිය උදෙසා ක්‍රියාකාරීව කටයුතු කළ හෙයින් තම නම ගුරුස්වාමි ලෙසින් හඳුන්වාගෙන අසල්වැසි ඉන්දියානුවන් සමඟ මිත්‍රශීලීව කටයුතු කරමින් සිටියේය. තම බිරිඳ එදා සිට ගුරුස්වාමි මැතිනිය ලෙසින් අසල්වැසියන් හඳුන්වන්නට පටන් ගත්තේ තම දේශය අධිරාජ්‍යවාදීන්ගේ ග්‍රහණයෙන් මුදාලන්නට පැමිණි ප්‍රධාන පෙළේ නායකකාරකාදීන් ලෙස දැකගෙන අවබෝධ කරගෙන සිටි හෙයිනි. මෙහි කලක් සැඟවී සිටියදී පිලිප් - කුසුමා යුවළගේ කුළුඳුල් පුතු ඉපැදුණි. ඔහුට නම තැබුණේ “ඉන්දික” යනුවෙනි. එය අධිරාජ්‍යවාදයට එරෙහිව ඉන්දියානු පීඩිත පන්තිය ගෙන යන උද්වේගකර ගමනට ලාංකික ජනතාව එක්වන බව පිලිප් ගුණවර්ධනයන් තුළ තිබූ උද්වේගකර හැඟීමක් තුළින් මතුවී පැමිණියාක් වැනිය.


සමසමාජ පක්ෂයේ ප්‍රධානීන් වැඩි දෙනෙක් ඉන්දියානු නිදහස් සටන වෙනුවෙන් එරට ජනතාව ගෙනයන උද්ඝෝෂණ සැලසුම්වලට සහාය දෙමින් විවිධ නම් ගම්වලින් පෙනී සිටිමින් සිය රටේදී ගෙන යන සටන්කාමී වැඩපිළිවෙළ එහිදී ගෙනයන්නට වූහ. ඇන්. ඇම්. මේ වන විට හැඳින්වූයේ ආචාර්ය විශ්වනාත් යන නමිනි. ඔහු ලබා තිබූ අධ්‍යාපන සුදුසුකම් අනුව බොම්බායේ ‘ඩිස්කවුන්ට්’ බැංකුවේ බලධාරීන්හූ ඔහුට එහි ලේකම් ධුරය පිරිනැමූහ.


බෝගම්බර සිරගෙදරින් පැනගිය සිරකරුවන් ඉන්දියාවට පැමිණ එහි ජනතාව කුපිත කරමින් සිටින පුවත ලංකා රජයටද දැන ගැනීමට ලැබිණ. මෙරට රහස් පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකු ඉන්දියාවට පිටත් කර හැරියේ එහි පොලිසිය සමඟ එක්වී මේ පිරිස අත්අඩංගුවට ගැනීමටය. ඔවුන්ගේ ප්‍රයත්නය සාර්ථක විය. 1943 ජූලි 15 වැනිදා රොබට් ගුණවර්ධන අල්ලා ගනු ලැබ ආතර් රෝඞ් බන්ධනාගාරයට ගෙන යනු ලැබීය.


රොබට් ගුණවර්ධන සිරකරුවකු ලෙසින් පැමිණියද ඒ වන විට දැඩි සේ ගිලන්ව සිටියේය. ඔහු බන්ධනාගාර රෝහලට ඇතුළත් කෙරිණි. බන්ධනාගාර රෝහලද අමුතුම ආකාරයේ එකක්විය. හෙදියන් විසින් නම කියන විට තවත් පැත්තකින් රෝගියාගේ අතට බෙහෙත් සමඟ වතුර වීදුරුවක් ලැබෙයි. මෙය එක හුස්මට බීමට සිදුවෙයි. රොබට් ගුණවර්ධන ළඟටද බන්ධනාගාරයේ දොස්තර මහතෙකු පැමිණියේ හෙදියක් සමඟිනි.


“බොනවා මේ බෙහෙත්, කට අරිනවා. තමුසෙට බොහොම අමාරු බවක් පේනවා”


“තමුසෙ කොහොමද දන්නෙ මට මොන ලෙඩක් හැදිලා තියෙනවද කියල. ලෙඬේ බලන්නෙත් නැතුව දෙන බෙහෙත් බොන්න මම සූදානම් නෑ. ඕව අරගෙන ගොහින් තමුසෙට ඕන කෙනෙකුට දෙනවා”


කිසිදාක රෝගියකුගෙන් අසන්නට නොලැබෙන වචන කීපයක් ඇසූ වයසක හෙදිය දොස්තරට මේ බව පැමිණිලි කළාය. දොස්තර රොබට් ළඟට ආවේ කේන්තිය ඉහවහා ගෙන තිබියදීය.


“තමුසෙ ටිකක් මුරණ්ඩුකාරයෙක් වගෙයි. ඇයි නර්ස් නෝන ගෙනත් දීපු බෙහෙත් බිව්වේ නැත්තේ?” දොස්තර ඇසුවේය.
“ලෙඬේ මොකක්ද කියල සෝදිසි කරන්නේ නැතුව දෙන පලියට ගෙනත් දෙන බෙහෙත් වතුර බොන්න මම ලෑස්ති නෑ. මම හිතුවෙ ඉන්දියාවෙ දොස්තරල දේශපාලන හිරකාරයන්ට සලකන ජාතියක් කියල. බැලුවම උනුත් අධිරාජ්‍යවාදීන්ගේ පන්දම්කාරයො”


“මේ වගේ මිනිස්සුන්ට බේත් කරන්න මම සූදානම් නෑ. මුන් ඔක්කොම ටිකට් කපල හිරගෙදර යවනවා”


ටික දවසකින් ලෙඩ ගතිය සුව වුවත් හිරගෙදර මකුණු කරදරයෙන් නම් ගැලවීමට පුළුවන්කමක් ලැබුණේ නැත. දවස් විසි එකක් දහදුක් විඳිමින් සිටි හිරකරුවන්ගේ අලුත් තැන වූයේ බොම්බායේ දේශපාලන හිරකරුවන් සඳහාම වෙන් වූ සිරගෙයයි. එළිමහන් සිරගෙයක් වූ මෙහි සිරකරුවන් සඳහා වෙන්වූ වෙනම ගොඩනැගිල්ලක් විය. මෙහිම කලක් සිරබත් කමින් සිටි පිලිප් හා ඇන්. ඇම්. මේ වන විට ලංකාවට පිටත් කොට යවා තිබුණි. රොබට් දන්නා හඳුනන කිහිප දෙනෙකුද මෙහිදී සිටීම එක් අතකින් සතුට ගෙන දෙන්නක් විය.
ඔවුන්ට කතාකරන්නට බොහෝ දේ තිබිණි. ගම රට තොරතුරු මෙන්ම ඉන්දියාවේ සිදුවන අධිරාජ්‍ය විරෝධී අරගල ගැනද ඔවුහු කතා කළහ. මෙසේ සිරමැදිරියකට වී සිටීමට වඩා ඉන්දියානුවන් හා එක්වී ඔවුන්ට හැකි පමණින් ශක්තිය ලබා දෙන්නට ඇත්නම් කොතරම් ඉහළ දෙයක් දැයි මේ පිරිස නිතර නිතර කතාබස් කළහ.
රොබට් තීරණයකට එළැඹියේය. තමා වඩාත් ගරු කරන මිතුරන් දෙදෙනෙකු හා එක්ව සිරගෙදරින් පැන යන මඟක් ගැන කතා කළේය. සැලසුම්සහගතව කටයුතු කළහොත් මෙය එතරම් අමාරු කාරියක් නොවන බව රොබට්ගේ අදහස විය. සිරගෙය වටකොට බැඳ තිබූ තාප්පය අඩි 14 ක් පමණ වූ උසකින් යුක්ත විය. සිරගෙදර වාට්ටුව සාදා තිබුණේ තාප්පයට අඩි පහක් පමණ මෑතකිනි. එහෙත් වැසිකිළි වහලයේ තාප්පය හා තාප්පයේ උස එක හා සමාන විය. පයිප්පයක් දිගේ වැසිකිළි වහලයට නැඟ ගත් රොබට් අඩි පහක් පමණ වූ තාප්පයෙන් පිටතට පැන ගැනීමට ගත යුත්තේ කුමන ක්‍රියාමාර්ගයක්දැයි විමසිලිමත් විය. එම දිගට සමාන වූ ලෑලි කෑල්ලක් සොයාගත හැකි වුවහොත් එය පාලමක් ලෙසින් පාවිච්චි කොට තාප්පයට නැගීමට හැකිවන බව ඔහුට කල්පනා විය. සිරමැදිරියේ වූ අඩි හයක් පමණ දිග වූ ඇඳක ලෑල්ලක් සොයාගෙන පැමිණි රොබට් එය නිසියාකාරව ගැළපෙන බව දුටුවේය.


අඩි 14 ක් පමණ උස වූ තාප්පයෙන් බිමට පැන ගැනීමට මෙමඟින් හැකි වෙතත් එතැනදී බිම බැලූ රොබට් දුටුවේ තාප්පය ආසන්නයේ පිටපැත්ත මුළුමනින්ම බෝතල් කටු හා කටු කම්බි, යකඩ උල් ආදිය අතුරා ඇති බවකි. යම් හෙයකින් එළියට පැනගතහොත් නිසැකවම මුළු සිරුර ලෙයින් නහවා තුවාලකරගත හැකි බව දැක ගත්තේය. සිරගෙයි වොලිබෝල් සෙල්ලම් කරන්නට තිබූ කඹය ඔස්සේ හෙමින් සීරුවේ බිමට ඇදී යා හැකිදැයි රොබට් සිය හිත මිතුරු දෙදෙනා සමඟ කතිකාවතකට එක්විය.
“අපි අනිද්ද උදේ මෙතනින් පැනගමු”.

 


නන්දසේන සූරියාරච්චි ලියූ ඇන්. ඇම්. කෘතියෙනි