IMG-LOGO

2025 ඔක්තෝබර් මස 17 වන සිකුරාදා


“පරසුද්දා” වහ කදුරු වූ අනගාරික ධර්මපාලතුමා

 

සමාජයේ කතාබහට ලක්වන චරිතවල රහස් සෙවීමටත් ඒවා තැන නොතැන නොබලා සමාජගත කිරීමටත් සමහරු උනන්දු වෙති. ඇතැමෙකුගේ අරමුණ එම චරිතයේ ස්වරූපයට අලුත් අර්ථකථනයක් දී ඉස්මතු කිරීමට වඩා කකුලෙන් ඇද පහතට දැමීමයි. මහත්මා ගාන්ධි ළාබාල වියේ සිට බ්‍රහ්මචර්යාව පුහුණු කළ අයකු වුවද එතුමාගේ සයනයෙහි කන්‍යාවෝ දෙදෙනකු නිදා සිටි බවට චෝදනා එල්ල විය.

 

ප්‍රථම ඉන්දීය අගමැති ජවහර්ලාල් නේරු මවුන්ට් බැටන් සාමිවරයාගේ බිරිඳ සමග සබඳතා පැවැත්වූ බව කියතත් එය ලිංගික නොවූ අධ්‍යාත්මික බැඳීමක් බව දන්නෝ දනිති.


මහා ලේඛක ටෝල්ස්ටෝයිගෙන් අහිගුණ්ඨික ගැහැනියකට දරුවන් දෙදෙනකු ලැබුණු බවත් ඔහුගේ මුල් රැකියාව කරත්ත දැක්කීම බවත් මාධ්‍යය සොයාගත්තේය.


විශ්ව සාහිත්‍යධර ඔස්කා වයිල්ඞ්, ඇල්ෆ්‍රඞ් ඩග්ලස් නමැති ළාබාල සාමිවරයා සමලිංගිකයන් ඇසුරු කර ඇති අතර ඔහුගේ නම ඇසීම පවා ඔහුට මිහිරක් වූ බවද කියැවේ.


එපමණක් නොව අන්ද්‍රෙජීඞ්, ගර්ෂියා ලෝකා, පැබ්ලෝ පිකාසෝ හා මයිකල් ඈන්ජොලෝද එම චෝදනාවලට ලක්වූහ. එවැනි යුග පුරුෂයන්ගේ ධනාත්මක පැත්තට වඩා ඇතැමුන්ට උවමනා වුණේ ඇතුළාන්තයේ පැවති රහස් සොයා ගර්හාවට පත්කිරීමටය.
මෙම චෝදනාවලින් අපේ රටේ ජාතික නිදහස වෙනුවෙන් අභීතව කටයුතු කළ ඇතැම් චරිතවලටද පහර එල්ල විය.


මුදලි දොන් කරෝලිස් හේවාවිතාරණ නමැති ධන කුවේරයකු බඳු ප්‍රභූවරයාගේ පුත් අනගාරික ධර්මපාල තරුණයා තම ඥානශක්තියෙන් පුරුෂාර්ථ වාග් ශක්තිය යොදවා අදිරදවාදී ග්‍රහණයෙන් රට මුදවාගෙන එම දහම කරපින්නාගත් කළු සුද්දන් හා බත්බැලයන්ව පරිහාසයට ලක්කිරීම නිසා ධර්මපාල චරිතයට අපහාස, උපහාස එල්ල විය.


පිරිසක් සොයාගෙන තිබුණේ සමලිංගික සිතුවිලි එතුමාට තිබූ බවය. එතුමා සම්මාදම් මුදල් ගසා කෑ බවය. එතුමාගේ වාග් ප්‍රහාරවල නියම අරුත නායකත්වයේ ප්‍රතිරූපයක් ගොඩනැගීම බවය. එතුමා ජාතිවාදියකු බවටද ප්‍රබල චෝදනා එල්ල විය.


අදිරද ගැති කොම්ප්‍රදෝරු අදහස් දරන පුද්ගලයන්ට අනගාරික ධර්මපාල නම වහකදුරු විය. එතුමා මාක්ස්වාදියකු ලෙස හැසිරෙමින් නව ධනපති පන්තියක් ගොඩනගන බවද පැවසිණ.


“දේශනා කරන්නත් වාග් පටුත්වය ඕනෑ. සිත බය අයට ප්‍රසිද්ධ කතා බෑ. සිංහලෙන් මට දෙසුම් කරන්න ඉගැන්නුවේ ඕල්කට්තුමා” යනුවෙන් එතුමා පැවසීය. එහෙත් ඕල්කට්තුමාගේ ක්‍රියාකලාපයට ධර්මපාලතුමා එරෙහි වූ අවස්ථාද ඇත.


ඒ පරම විඥානාර්ථවාදය මිථ්‍යා දෘෂ්ටියක් යැයි සිතූ නිසාය. දළදාව සත්ව ඇට කැබැල්ලකැයි ඕල්කට්තුමා නිගරු කිරීම ගැන ධර්මපාලතුමා තදින් කෝප විය. අනගාරික ධර්මපාල අපදානයේ සඳහන් පරිදි මෙවැනි අදහස් ඇත්තන් නියම බෞද්ධයන් නොවන බැවින් ලක්දිවින් පන්නා දැමිය යුතු යැයි ධර්මපාලතුමා පැවසුවේ 22 වසරක මිත්‍රත්වයට තිත තබමිනි.


පරසුද්දා යන ආමන්ත්‍රණය එතුමාගේ දේශනවල කොතෙකුත් විය.


“සුද්දා සිංහල වර්ගයාගේ සතුරෙක්. ඔහු නිසා ආදියේ පටන් අපේ ජාතියත් නිර්මල බුදු දහමත් අනතුරට පත්වුණා. සිංහලයාට සුද්දාගේ ප්‍රේමයක් නොමැත. සිංහලයාට විෂ පොවා ඉඩම් ටික අරන් තේ රබර් වවද්දී සිංහලයා සුරා බී උමතුවෙන් හැසිරේ.
රා, විස්කි, අරක්කු, බ්‍රැන්ඩි  බී, හරක් කකුල්, වලිග, බඩවැල් හා දිව කෑමත් උන් අපිට පුරුදු කළා. සුදු පාදිලි රාලලා සිංහල ගොන්තඩියා රවටාගෙන කුකුල් මස්, තාර මස්, විස්කි, බ්‍රැන්ඩි බිබී කල් මරණවා.”


මෙලෙස පර සුද්දන්ට කත් අදින ස්වදේශිකයන්ට ද ධර්මපාලතුමාගෙන් සමාවක් නොලැබිණි. 


ඇතැම් සිංහලයන් හාමුදුරුවනේ කියා දෙකට තුනට නැවෙද්දී “පරසුද්දා” කියන බව අසා බි්‍රතාන්‍යයෝ කෝපවූහ. අනුරාධපුර පොලිස් නඩුකාර බ්‍රෙන් නමැති සුදු නිලධාරියාට සිංහලයන් විසින්ම මේ ගැන පැමිණිලි කරන ලදී.


වහාම කැඳවනු ලැබූ ධර්මපාලතුමන්ගෙන් නඩුකාරයා මෙසේ විමසීය. 


“ඔබ ඉංග්‍රීසීන්ට බණින්නේ ඇයි?”


“මං කාටවත් බණින්නේ නෑ”


“එහෙනම් පරසුද්දා කියන්නෙ”


“ඒක බැණීමක් නෙමෙයි. පර කියන්නෙ “ෆෙරෙන්” යන වචනයයි. ඒකට සිංහල තේරුම පිට, පරදේශ, පරවාද, පරතෙර යනුයි. සුද්දා කියන්නේ කළු නිල් හෝ පච්ච වර්ණ නෙවෙයිනේ. මෙරට නොවන අර්ථය අනුවයි. පරසුද්දා කියන්නේ.


ධර්මපාලතුමාගේ පැහැදිලි කිරීම සමග සුදු නිලධාරියාට උත්තර නැතිවිණ.


එලෙසම සීදූව - රද්දොළුවේදී එතුමා කළ දෙසුමක් ගැන මැන්දිස් නමැති අයෙකු ඔබ්සර්වර් පත්‍රයට ලියූ සටහන් දැක ධර්මපාලතුමා මෙසේ කීය.


පරසුද්දා යනු “ෆොරින් ඩෙවිල්” ලු. එහි තේරුම පර යකා නමුත් එය ෆොරින් වයිට් විය යුතුයි. මැන්දිස් මහත්තයාගේ ක්‍රිස්තියානි ආගම අනුව නම් ඩෙවල් යකා හරි ඇති. ආගමට මුවාවී මිනිසුන් මුළාකිරීම පාපයක්.


කම්කරු නායක ඒ. ඊ. ගුණසිංහ අනගාරික ධර්මපාලතුමා සමග නිතර සාකච්ඡා කළ අතර ඔහුගේ පුස්තකාලය ඇසුරු කළේය. ඔහුගේ කම්කරු සටන් ව්‍යාපාරවලට එම ආභාසය ලැබී ඇති බව පෙනේ. 


ධර්මපාල සමයේ විසූ විශිෂ්ට ගණයේ පොලිස් නිලධාරියෙකු වූ ජෝන් කොතලාවල (1865-1908) ඉංග්‍රීසීන්ට නිර්භීතව මුහුණ දුන් අසාධාරණයට එරෙහිව සිංහලයන්ට දක්වන නීතියම සුද්දාට දැක්වූ ඔහු ඔවුන්ට පහර දුන්නේය. මොහුගේ වික්‍රම ක්‍රියා ඇසූ ධර්මපාලතුමා මෙසේ කීය.


“අපේ නිර්භීත ජෝන් කොතලාවලගේ ආදර්ශය හිතට අරන් සුද්දන්ට තඩි බාපල්ලා.”


ධර්මපාලතුමා සටන් වැදුණේ ස්වදේශීය නිදහස පතා පමණක් නොවේ වැඩ කරන ජනතා අයිතිවාසිකම් රැකගැනීමද එක් අරමුණකි. 
1912 දුම්රිය වැඩවර්ජනය මෙහෙයවූ එක් හස්තයක් වූයේ අනගාරික ධර්මපාල චින්තනයයි. ආණ්ඩුකාර හෙන්රි මැල්කම් අන්තවාදීන් රාජද්‍රෝහී උද්ඝෝෂකයකු යැයි එතුමාට කීවේ එබැවිනි.

පුෂ්පනාත් ජයසිරි මල්ලිකාරච්චි



අදහස් (0)

“පරසුද්දා” වහ කදුරු වූ අනගාරික ධර්මපාලතුමා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 879 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 985 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 393 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site