විවිධාකාරයෙන් අපහාස සිදුවෙන සහ චරිත ඝාතනය කරන ආකාරයේ ප්‍රවෘත්ති පළකිරීම නිසා නිදහසින් පසු මේ රටේ පුවත්පත්වලට එරෙහිව වැඩිම නඩු ගණනක් පවරන ලද්දේ හිටපු ජනාධිපති ආර්. ප්‍රේමදාස මහතා විසිනි. දිනපතා සිංහල, ඉංග්‍රීසි සහ දෙමළ භාෂා පුවත්පත් කියවා එවැනි අපහාසාත්මක ලිපි, ප්‍රවෘත්ති විශේෂාංග හෝ ඡායාරූප ඒවායේ පළවී ඇත්දැයි සොයාබලා වාර්තා කිරීමට ආර්. ප්‍රේමදාස මහතා ඇමති පදවි මෙන්ම අගමැති සහ ජනාධිපති පදවි දැරූ අවස්ථාවල විශේෂ නිලධාරියෙකු පත්කර තිබිණි. නඩු වැඩි ගණනක් දිනා ඔහු පුවත්පත් ආයතන වලින් රුපියල් ලක්ෂ ගණන් වන්දි ලබා ගත්තේය.

එවන් වූ වන්දි තමන්ගේ ආදායම ලෙස ආදායම් බදු දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කරන ලද බව ඔහු වරක් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළේය.


එසේම මෙරට සිංහල, ඉංග්‍රීසි සහ දෙමළ භාෂා පුවත්පත් අතරින් වැඩිම නඩු ගණනකට මුහුණ දුන්නේ එවකට පෙරළිකාර දේශපාලන පුවත්පතක් ලෙස නම් දරා තිබූ ඇත්ත පත්‍රයේ කතෘ බී. ඒ. සිරිවර්ධනය. ඇතැම් නඩුවලදී ඔහු, ඔහු වෙනුවෙන්ම උසාවියේ පෙනී සිටියේය.


ජාත්‍යන්තර ප්‍රසිද්ධියක් ලැබූ ‘ට්‍රයින්’ (ඔරසබැ) පුවත්පතට එරෙහිව 1954 දී ආණ්ඩුව පවරන ලද නඩුවේ විත්තිකාරිය එම පත්‍රයේ කතෘ තේජා ගුණවර්ධන මහත්මියයි. දීර්ඝ නඩු විභාගයකින් පසු ඇය නඩුවෙන් නිවැරදිකාරිය වී නිදහස් වූවාය. එංගලන්තයේ ප්‍රකට නීති විශාරදයකු වූ ප්‍රීට් එදා තේජා වෙනුවෙන් පෙනී සිටියේය.


නිදහස ලැබීමෙන් පසු රජය විසින් පවරන ලද සිංහළේ පුවත්පතට විරුද්ධ නඩුවට මෙරට නීති ක්ෂේත්‍රයේ දේශපාලන ක්ෂේත්‍රයේ විශේෂිත තැනක් හිමිවේ. එය නීතිපතිවරයා විසින් නීතිය බලවතුන් ඉදිරියේ නමන ලද එකක් බවට ද ඉතිහාසගත විය.

 

 

ඇස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක, එක්සත් ජාතික පක්ෂ රජයේ ඇමති පදවියෙන් ද පක්ෂයෙන්ද ඉල්ලා අස්වීමෙන් පසු සිය දේශපාලන ව්‍යාපාරය ඉදිරියට ගෙන යාමට පුවත්පතක් ආරම්භ කිරීමේ අවශ්‍යතාව ගැන දැඩි ලෙස උනන්දු විය. හේමපාල මුනිදාස මහතාගේ මූලිකත්වයෙන් පවත්වාගෙන ගිය ‘සිංහල බලය’ පත්‍රය වසා දැමීමෙන් පසු 1951 අප්‍රේල් 22 දා යළිත් හේමපාල මුනිදාස මහතාගේ කර්තෘත්වයෙන්  ‘සිංහළේ’ පත්‍රය ආරම්භ විය. ලංකා සමසමාජ පක්ෂයේ ‘සමසමාජය’ පත්‍රයට අමතරව සිංහළේ පත්‍රය එදා පැවති එජාප රජය දැඩි ලෙස විවේචනයට ලක් කළේය. එය සිංහල බෞද්ධ මුහුණුවරක් ගත් එකක් ද විය.


1951 ජූලි 22 වැනිදා සිංහළේ පත්‍රයේ පළවූ විශේෂ ලිපියකින් ඩී. ඇස්. සේනානායක රජය දැඩි ලෙස විවේචනයට ලක් කෙරිණි.


බිඳ වැටීමට ආසන්න සේනානායක කොතලාවල සහ ජයවර්ධන ආණ්ඩුව තවදුරටත් බලයේ රැඳී සිටීම උදෙසා ඇමතිවරුන්ටත්, මන්ත්‍රීවරුන්ටත් රුපියල් දහස් ගණනින් අල්ලස් දීමට සූදානම් වී ඇති බවත් ආණ්ඩුවෙන් ඉල්ලා අස්වීමට ගිය ඇමතිවරයෙකු රුපියල් තිස් දහසක අල්ලසක් දීමේ පොරොන්දුවකට යටත් වී ඔහුගේ තීරණය වෙනස් කළ බවත් මෙම ලිපියේ සඳහන් විය.

 

ඇස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක, එක්සත් ජාතික පක්ෂ රජයේ ඇමති පදවියෙන් ද පක්ෂයෙන්ද ඉල්ලා අස්වීමෙන් පසු සිය දේශපාලන ව්‍යාපාරය ඉදිරියට ගෙන යාමට පුවත්පතක් ආරම්භ කිරීමේ අවශ්‍යතාව ගැන දැඩි ලෙස උනන්දු විය. හේමපාල මුනිදාස මහතාගේ මූලිකත්වයෙන් පවත්වාගෙන ගිය ‘සිංහල බලය’ පත්‍රය වසා දැමීමෙන් පසු 1951 අප්‍රේල් 22 වැනිදා යළිත් හේමපාල මුනිදාස මහතාගේ කර්තෘත්වයෙන් ‘සිංහළේ’ පත්‍රය ආරම්භ විය. ලංකා සමසමාජ පක්ෂයේ  ‘සමසමාජය’ පත්‍රයට අමතරව සිංහළේ පත්‍රය එදා පැවති එජාප රජය දැඩි ලෙස  විවේචනයට ලක් කළේය. එය සිංහල බෞද්ධ මුහුණුවරක් ගත් එකක් ද විය.


මේ ප්‍රවෘත්තිය කියවූ එවකට ආහාර සහ සමූපකාර ඇමති පදවිය දැරූ වත්තේගම මන්ත්‍රී අභයරත්න රත්නායක මහතා මෙම ප්‍රවෘත්තියෙන් ඉලක්ක කරන ලද්දේ තමා බව පවසා සිංහළේ කතෘ හේමපාල මුනිදාස මහතාටත් ප්‍රකාශකයා වූ කේ. ඩී. පියසේන මහතාටත් විරුද්ධව රහස් පොලිසියට පැමිණිල්ලක් කළේය. ඒ අනුව පවරන ලද නඩුව 1951 ඔක්තෝබර් 24 වැනිදා මහාධිකරණයේ දී ස්කන්ධරාජා විනිශ්චයකාරවරයා ඉදිරියේ විභාගයට ගැණිනි. පැමිණිල්ලේ ප්‍රධාන සාක්කිකරු වූ ඒ. රත්නායක මහතාගේ ප්‍රකාශය සටහන් කර ගැනීමෙන් පසු විත්තිකරුවන්ගේ දොස් නිදොස් බව විමසා වැඩිදුර විභාගය සහ තීන්දුව නොවැම්බර් 12 දිනට කල් තැබුවේය.
ස්කන්ධරාජා විනිශ්චයකාරතුමාගෙන් රජයේ අභිමතය ඉටු කරවා ගත නොහැකි බව තේරුම් ගත් නීතිපතිවරයා නඩු පිටපත උසාවියෙන් ගෙන්වා ගෙන පැමිණිල්ල ගැන මූලික නඩු විභාගයක් පවත්වා එය ඉහළ උසාවියකට යවන මෙන් නිවේදනයක් කළද විත්තියේ නීතිඥ ඇස්. නඬේසන් මහතා එම නියෝගය නීතිවිරෝධී බව උසාවියේදී පෙන්වා දුන්නේය. රජයේ නීතිඥවරයා මේ ගැන ඉදිරිපත් කළ තර්ක ස්කන්ධරාජා මහතා විසින් ඉවත දමන ලදී.


ස්කන්ධරාජා විනිශ්චයකාරතුමාගේ නියමයන්ට එරෙහිව නීතිපතිවරයා ඉහළ උසාවියට ඇපෑලක් ඉදිරිපත් කරන ලද අතර එය රජ තුන්කට්ටුවක් විසින් විනිශ්චයට භාජනය කළ යුතු බව උසාවියේ මතය විය. ඒ අනුව නාගලිංගම්, ග්‍රේෂන් සහ පුල්ලේ විනිශ්චයකාරවරුන් ඉදිරියේ නඩුව විභාග වූ අතර නීතිපතිවරයා ස්කන්ධරාජා විනිශ්චයකාරතුමාට නියෝගයක් කිරීම බලය ඉක්මවා ක්‍රියාකිරීමක් හැටියට තීන්දු කෙරිණි. එයින් සෑහීමකට පත් නොවූ නීතිපතිවරයා විනිශ්චයකාරවරුන්ගේ තීන්දුවට විරුද්ධව එංගලන්තයේ රාජාධිකරණයට ඇපෑලක් ඉදිරිපත් කිරීමට අවසර ඉල්ලා සිටියේය. ග්‍රේෂන් සහ ගුණසේකර විනිශ්චයකාරවරුන් එම ඉල්ලීම ද ප්‍රතික්ෂේප කිරීමෙන් පසු යළිත් අදාළ නඩුව ස්කන්ධරාජා විනිශ්චයකාරතුමා ඉදිරියේ විභාග විය. ප්‍රතිඵලය සිංහළේ පත්‍රයේ කර්තෘ සහ ප්‍රකාශකයා නඩුවෙන් නිදහස් වීමය.

 

 

 


උපාලි රූපසිංහ