මෙරට සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට රජය මගින් නිල පිස්තෝල ලබා දුන්නේ 1971 අප්‍රේල් මාසයේ දී ඇති වූ ජ.වි.පෙ. කැරැල්ලෙන් පසුවය. එසේ වුවද ඊට බොහෝ කාලයකට පෙර සිටම අපේ දේශපාලනඥයන් වැඩි දෙනෙකු පිස්තෝල පරිහරණය කිරීමට පෙළඹී සිටියේ ආත්මාරක්‍ෂාව පිණිසය. එහෙත් ඒවා බොහොමයක්ම ඔවුන් නිල නොවන මාර්ග වලින් ලබාගත් හොර පිස්තෝල විය. 

1970 වසරේදී පැවැති මහ මැතිවරණයෙන් ගම්පොළ ආසනය මුල්වරට දිනා පාර්ලිමේන්තුවට ගිය දි. මු. ජයරත්නටද නිල පිස්තෝලයක් හිමිවූයේ 1971 අප්‍රේල් කැරැල්ලෙන් පසුවය. එහෙත් ඊට බොහෝ කාලයකට පෙර සිටම තමන් ළඟ හොර පිස්තෝල සහ තුවක්කු කීපයක්ම තිබුණු බව හෙතෙම පවසයි. එකල ඔහු කොතැන ගියත් උණ්ඩ පිරවූ රිවෝල්වරයක් ඉණේ ගසාගෙන ගියේය. 


“මට පුංචිකාලෙ ඉඳලම අයුක්තිය, අසාධාරණය පේන්න බෑ. එහෙම දෙයක් දැක්කම මගේ කට වගේම අතපයත් නලියනවා. එතකොට ඉබේටම මම රණ්ඩු සරුවල්වලට පැටලෙනවා. ඒ නිසා තරුණ කාලෙ ඉඳලම මට හතුරන් වැඩියි...”


දි.මු එසේ කියන්නේ තම තරුණ කාලය ආවර්ජනය කරමිනි. කෙසේ වෙතත් එහි ඊළඟ ප්‍රතිඵලය වූයේ ඔහු නාහෙට නාහන ගණයේ අයකු ලෙස ප්‍රදේශවාසීන් අතර මතයක් පැතිර තිබීමයි. 


“හැබැයි ඉතින් ඒ කතාවේ යම් ඇත්තකුත් තිබුණා. මොකද මට කවුරුහරි අරියාදුවක් කෙරුවොත් මමත් අත ඇරියෙ නෑ. ගැහුවොත් ගැහුවා. හැබැයි එහෙම ගහන්න ගිහින් මමත් ගුටිකාලා තියෙනවා”යි කියන ඔහු වැඩි දුරටත් සඳහන් කරන්නේ එවැනි අවස්ථාවලදී අතපය තුවාල කරගෙන දින ගණන් රෝහල්ගතව සිටීමට ද තමන්ට සිදුවී ඇති බවය. 


දිමුට මතක තිබෙන අන්දමට ඔහු මුලින්ම දේශපාලන කෝලාහලයකට පැටලී තිබුණේ මින් වසර 65කටත් පෙර 1956 මහ මැතිවරණයට ආසන්න කාලයකය. දඹුල්ලේ ආසනය සඳහා ශ්‍රී.ල.නි.ප. යෙන් තරඟ කළ ටී. බී. තෙන්නකෝන් මහතාට ආධාර පිණිස ශ්‍රී.ල.නි.ප නායක එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතාගේ ප්‍රධානත්වයෙන් පල්ලෙපොළ ගොලහේනවත්තේ පැවැති ප්‍රචාරක රැස්වීමකට පැමිණ සිටි අති විශාල සෙනඟ කන්දරාව දැක වියරු වැටුණු ප්‍රදේශයේ එ.ජා.ප. මැරයන් පිරිස දි. මු. ඇතුළු තවත් කීපදෙනෙකු නතරවී සිටි නිවසට ගල්මුල්වලින් පහරදී තිබුණේ “පිටින් ආපු උන්ට මෙහේ ඇවිත් සෙල්ලම් දාන්න ඉඩ දෙන්න බෑ...!”යි කියමිනි. 


එම ප්‍රහාරයෙන් දිමුලාට කිසිදු අනතුරක් සිදු නොවුණද ඔවුන් නතරවී සිටි නිවසේ දොර ජනෙල් කුඩුපට්ටම් වී සෑහෙන අලාභයක් සිදුවී තිබුණේය. ඊට පසුදාම මහනුවර පොදු වෙළෙඳ පොළේ නාටාමිලා පිරිසක් කැඳවා ගෙන අළු විහාරෙ ප්‍රදේශයට ගිය දිමුලා එහි ගෙවල් සහ කඩ කීපයකට පහරදී කුඩු පට්ටම් කර තිබුණේ එකට එක කිරීමක් වශයෙනි. එම ගැටුමෙන් දෙපාර්ශ්වයේම හත් අට දෙනෙකුටම තුවාල ලබා රෝහල් ගතවීමටද සිදුවී තිබුණේය. එම සිද්ධිය ගැන සැකපිට අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය අවස්ථා කීපයකදීම පැමිණියද තමන් පොලීසිය මගහැර සිටිබව හෙතෙම පවසයි. අන්තිමේදී සිද්ධිය ගොඩින් බේරුණේ දිමුලා එම පහරදීමට සම්බන්ධ බවට ප්‍රමාණවත් සාක්‍ෂි නොතිබූ බැවිනි. 


තවත් වතාවක යූ.ඇන්.පී. බළකොටුවක් ලෙස පැවැති දොළුව ගම්මානය වෙත හේවාහැට අසුනට තරඟ කළ ටී. බී. ඉලංගරත්න මහතා කැඳවා ගෙන යාමට දිමු මැදිහත් වූයේය. දොළුව ඔහුගේ උපන් ගම වූ අතර දිමු ඉලංගරත්න මහතා එහි කැන්දාගෙන ගොස් තිබුණේ යූ.ඇන්.පී. අරටුවක් වූ තම පියාට බොරු විදුලි පුවතක් යවා ඔහු ගුන්නෑපානට යැවීමෙන් පසුවය. 


“අපි ඉලංගරත්න මහත්තයත් එක්ක ගමේ ඇවිදින කොට මමත් හොඳට දන්න කියන හැඩිදැඩි ඉලංදාරියෙක් උදැල්ලක් උස්සගෙන ආවා අපට ගසන්න. පස්සෙ මම ඉස්සරහට පැනලා ඒ හාදයට වැටෙන්න ගැහුවා. ඊට පස්සෙ වැඩි කලබලයක් නොවුණත් ගඟ ළඟ නතර කරලා තිබුණු ඉලංගරත්න මහත්තයගෙ බග් ෆියට් කාරෙක අනිත් පැත්තටම පෙරළා දමා තිබුණා. පස්සෙ අපි කට්ටිය එකතු වෙලා කාරෙක පාරට අරගෙනයි ආපහු ආවේ...”යි කියන දි. මු. වැඩි දුරටත් සඳහන් කරන්නේ එම සිද්ධිය ගැන ගම්මුන්ගෙන් පමණක් නොව ඉලංගරත්න මහතාගෙන් පවා තමන්ට බැණුම් ඇසීමට සිදුවූ බවය. 


ඔහුට මතක ඇති අන්දමට මෙවැනි ගුටිකෙළි අනන්තවත් එකල සිදුවී තිබුණේය. එහෙත් ඒ බොහොමයක් අවස්ථාවලදී තමන්ගේ පිස්තෝලය අන්‍යයන් බිය ගැන්වීම සඳහා තමන්ගේ ඉණේ ගසාගෙන සිටියා විනා එයින් වෙඩි තැබීමට සිදු නොවූ බව හෙතෙම පවසයි. 


කෙසේ වෙතත් එක්තරා අවස්ථාවකදී දිමු මිනීමැරුම් නඩුවකටද පැටලී සිටියේය. 1977 මහ මැතිවරණය අවසානයේදී ජයග්‍රාහී එ.ජා.පයට සම්බන්ධ මැර පිරිසක් දොළුවේ පිහිටි තම නිවසට පැමිණි අවස්ථාවේදී සිදුවූ වෙඩි තැබීමකින් එක් පුද්ගලයෙකු මියගොස් තිබුණේය. 


“ඒ සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට පත්ව මාස කීපයක් රිමාන්ඞ් භාරයේ ඉන්නත් මට සිද්ධ වුණා...”යි කියන හෙතෙම අවධාරණය කරන්නේ තරුණ කාලයේ කොතරම් ගහබැණගෙන ඇතත් කිසිදු අවස්ථාවක මිනීමරා නැති බවය. 


දිමු 1970 ගම්පොළ මන්ත්‍රී ධූරය දැරූ කාලයේ වතු ජනසතු කරන අවස්ථාවේ ගම්පොළ ස්ටොක්ෆීල්ඞ් වතුයාය අසලදී පොලීසිය සමඟද හරි හරියට ගහ ගත්තේය. එම ගැටුමෙන් දිමුගේ කණ්ඩායමේ එකොළොස් දෙනෙකුටද, පොලීසියේ විසි ගණනකටද තුවාල සිදුවිය. 


“එදා අපි දෙගොල්ලන්ගෙම අතේ ආයුධ තිබුණත් කවුරුවත් ඒවා පාවිච්චි කරන්න ගියේ නෑ. අතින් පයින් තමයි ගහගත්තේ. දෙපැත්තේම තුවාලකාරයන් බස් ගණනක් එකම ලොරියකට පටවගෙන ඉස්පිරිතාලෙට අරන් යන්නත් මට සිද්ධ වුණා...!”


කෙසේ වෙතත් ඊට පසුදාම දිමූ අරලියගහ මන්දිරය වෙත කැඳවූ සිරිමාවෝ බණ්ඩාරනායක අගමැතිතුමිය විනාඩි දහයකටත් වැඩි කාලයක් එකදිගට බැණ වැදුණාය. 


“මම ඉතින් බිම බලාගෙන අහගෙන සිටියා. පස්සෙ අගමැතිතුමියටම එපාවෙලා මට තේ එකකුත් බොන්න දීලා යන්න කිව්වා!”


ඔහු එසේ කියන්නේ සිනාසෙමිනි. කෙසේ වෙතත් පසු කාලයකදී දි. මු. විසින් සිදු කළ වෙඩි තැබීමකදී එවකට ආණ්ඩු පක්ෂයට සම්බන්ධ දේශපාලනඥයෙකුට බරපතළ තුවාල සිදුවිය. 


1991 වසරේ සැප්තැම්බර් මාසයේ සූරියවැවදී සිදුවූ එම ගැටුමෙන් එලෙස බරපතළ තුවාල සිදුවූයේ දකුණු පළාත් සභාවේ හිටපු ඇමැතිවරයෙකුටය. 


දකුණු පළාත් සභා මැතිවරණයේදී දිමු තමන්ගේ ආධාරකරුවන් පිරිසක්ද සමඟ ගෙයින් ගෙට කැන්වසින් යද්දි ඉහත සඳහන් හිටපු ඇමැතිවරයා පිස්තෝලයක්ද අමෝරා ගෙන ඔහුට බැණ වදිමින් ඉදිරියට ආවේය. 
“මල්ලී මම දි. මු. ජයරත්න. ඔහොම කරන එක වැරදියි නේද?”යි ඇසූ දිමු ඔහු සමග සමාදානයෙන් කතා කළද තරමක් බීමතින් සිටි එම තැනැත්තා පිස්තෝලය එල්ල කර වෙඩිතැබීමට තැත් කළේය.


එහෙත් ඊට ඉඩක් නොදුන් දිමු ඔහුගේ අතේ එල්ලී පොර බදන අතරම තමන්ගේ ඉණේ තිබූ පිස්තෝලය ගෙන අනෙකාගේ දෙපාවලට වෙඩි තැබුවේය. කෙසේ වෙතත් දිමු විසින් තැබූ එම වෙඩිල්ල වැදී තිබුණේ ඔහුගේ ඉග පෙදෙසටය. ඔහු මරහඬ නගමින් බිම ඇද වැටෙද්දී ඔහු සමග පැමිණි මැර පිරිස හිස්ලූලු අත පළාගොස් තිබුණහ. 


පොලීසිය මඟින් රෝහල් ගත කළ එම තරුණ දේශපාලනඥයා ගේ ජීවිතය මරණයෙන් ගැලවුණද කාලයක් තිස්සේ විභාගවූ එම නඩු විභාගයෙන් දිමු අච්චු නොවිඳ බේරුණේ අනූ නවයෙනි.

 

 

 


නිහාල් ජගත්චන්ද්‍ර