ඉන්දු -- ලංකා ගිවිසුම ක්‍රියාත්මක වීමත් දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය බිහිවීමත් හරහා රට තුළ විශාල අස්ථාවරත්වයක් සහ භීෂණකාරී වාතාවරණයක් ඇතිවුණා. අපේ රටේ දේශපාලන ඉතිහාසයේ අඳුරුම කාල පරිච්ඡේදයක් විදියට 1987, 88, 89 කියන වසර කීපය නම් කරන්න පුළුවන්. රට ආර්ථික අතින් පහළට වැටෙද්දී භීෂණ අතින් ඉහළටම ගියා.


උතුරේ එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදීන්ගේ ක්‍රියාකාරකම්වලට ඉන්දියාවේ මැදිහත්වීම ලැබීම හරහා ඊට විරුද්ධවුණු දකුණේ පිරිස් දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය හරහා දකුණෙන් දරුණු තත්ත්වයක් ඇති කරන්න පටන් ගත්තා. මේකෙන් බරපතළ අභියෝගයකට මුහුණ දෙන්න සිද්ධ වුණේ පැවති එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව. රාජ්‍ය සේවයත් විශාල වශයෙන් බිඳ වැටුණු කාල සමයක් මේක. විශාල මනුෂ්‍ය ඝාතන රැල්ලක් දකුණේ ඇති වුණා. හමුදාවට පොලිසියට පාලනය කරගත නොහැකි මට්ටමට තත්ත්වය දරුණු වුණා. 


එක්සත් ජාතික පක්ෂයට දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයෙන් කෙළින්ම තර්ජනයක් එල්ලවුණා. දේශද්‍රෝහීන්ට මරණය කියමින් තමයි තර්ජනය එල්ල වුණේ. උදාහරණ රාශියක් කියන්න පුළුවන්. එවකට එක්සත් ජාතික පක්ෂයේ හිටපු සභාපති එම්. ජී. පී. පණ්ඩිතරත්න මහත්තයා ජේ. ආර්. ජයවර්ධන මැතිතුමා එක්ක ඇතිවුණු යම් ආරවුලක් නිසා ඉවත්වීම හේතුවෙන් ඒ පුරප්පාඩුවට පත් කළේ එවකට පක්ෂ මහලේකම් විදියට කටයුතු කරපු හර්ෂ අබේවර්ධන. ඔහු තරුණයෙක්. කාලයක් එක්සත් ජාතික පක්ෂය එක්ක වැඩ කළා. දකුණේ භීෂණය ආරම්භ වෙන කාලයේම වගේ තමයි මේ පුටු මාරුවත් සිද්ධ වුණේ. දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයෙන් සිදුවුණු එක්සත් ජාතික පක්ෂයේ දේශපාලන නායකයන් ඝාතනය කිරීමේ රැල්ල ආරම්භ කරමින් පක්ෂයට අලුතෙන් පත්වුණු සභාපති හර්ෂ අබේවර්ධනව ඝාතනය කළා. ඒ ඝාතනය සිදුවූණේ කිරුළපන ප්‍රදේශයේදී. හර්ෂ අබේවර්ධනගේ රියැදුරා ඇතුළු කීපදෙනෙකුත් ඒ සිදුවීමේ දී ඝාතනය වුණා. ඒක මුළු රටම සසල කරවපු සිදුවීමක් බවට පත්වුණා. හර්ෂ අබේවර්ධන සභාපතිවරයා ඝාතනය වීමත් එක්ක පක්ෂය දරුණු ඇදවැටීමකට ලක් වුණා.


එක්සත් ජාතික පක්ෂයේ සභාපති හර්ෂ අබේවර්ධන ඝාතනයෙන් ටික දවසකට පස්සේ පක්ෂයේ මහලේකම් විදියට කටයුතු කරපු නන්දලාල් ප්‍රනාන්දුවත් පෙර පරිදිම ඝාතනයට ලක්වෙනවා. ඒක සිද්ධවෙන්නෙත් කිරුළපන ප්‍රදේශයේදීමයි. මේ ඝාතන වළක්වන්න හෝ ඝාතනයන් හෙළිදරවු කරගන්න කවුරුවත් සහයෝගයක් දුන්නේ නෑ මේ අවස්ථාවල. මොකද එහෙම මැදිහත්වුණා නම් ඒ අයටත් මරණය තමයි අත්වෙන්නේ. මුළු රටම හිටියේ භීතියෙන්. විශේෂයෙන් එක්සත් ජාතික පක්ෂයේ විශාල පිරිසක් මේ කාලවකවානුව තුළ ඝාතනයට ලක්වුණා. මේ නිසා එක්සත් ජාතික පක්ෂයේ දේශපාලන ව්‍යාපාරය දරුණු කඩා වැටීමකට ලක්වුණා.


පළාත් සභා පනත සම්මත කරගත්තට පස්සේ පළමුවැනි පළාත් සභා මැතිවරණය පවත්වන්න කටයුතු සූදානම් කළා. ඒ වෙලාවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පළාත් සභා වර්ජනය කළා. ඔවුන් ඒකට හේතු විදියට සඳහන් කළේ පළාත් සභා හරහා රට බෙදනවා කියන කාරණය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මේ හිඩැසත් එක්ක වමේ ඇතැම් පක්ෂ ඒතැනට තල්ලුවෙලා ගියා. විජය කුමාරතුංගගේ මහජන පක්ෂයට පළාත් සභා හරහා හොඳ නියෝජනයක් ලැබුණා. ඒ පළාත් සභා මැතිවරණය අපේ රටේ දේශපාලන ඉතිහාසය තුළ නොමැකෙන මතක සටහනක් තියපු එකක්. දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයෙන් ඡන්දදායකයන්ටත් මරණ තර්ජන එල්ල වෙන්න පටන් ගත්තා. ඡන්දය දැම්මොත් මරණවා කියලා තමයි ප්‍රචාරය ගෙනිච්චේ. ඡන්දය දාන්න යන පළමුවැනි පස්දෙනා ඝාතනය කරනවා කියලා පත්‍රිකා හා තුණ්ඩු කෑලි හරහා රටට මේ අය තර්ජනය කරලා තිබුණේ. මෙවැනි තත්ත්වයක තමයි පළමුවැනි පළාත් සභා මැතිවරණය අවසන් වුණේ.

 

 


තව කොටසක් ලබන සතියේ.

 

 


ප්‍රියන්ත කොඩිප්පිලි