• රටම පිළිගත් ටී. බී. සුබසිංහ මහතාගේ නාමය විශේෂයෙන් කැපී පෙනෙනුයේ කාරණා දෙකක් මුල් කරගෙනය. පළමුවැන්න ටී. බී. සුබසිංහ මහතා විරුද්ධ පක්ෂයෙන් තේරී පත්වූ ප්‍රථම කථානායකවරයා වීමයි. දෙවැන්න අඩුම කාලයක් එම තනතුර දැරූ මන්ත්‍රීවරයා වීමයි.

 

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කතානායක පුරාණය හදාරන විට වයඹ පළාතෙන් බිහිවූ කීර්තිමත් දේශපාලනඥයෙකු ලෙස රටම පිළිගත් ටී. බී. සුබසිංහ මහතාගේ නාමය විශේෂයෙන් කැපී පෙනෙනුයේ කාරණා දෙකක් මුල් කරගෙනය. පළමුවැන්න ටී. බී. සුබසිංහ මහතා විරුද්ධ පක්ෂයෙන් තේරී පත්වූ ප්‍රථම කතානායකවරයා වීමයි. දෙවැන්න අඩුම කාලයක් එම තනතුර දැරූ මන්ත්‍රීවරයා වීමයි.


1947 ප්‍රථම මහා මැතිවරණයේ දී බිංගිරිය ආසනයට තරග කර එතුමා ප්‍රථම වතාවට පාර්ලිමේන්තුවට පිවිසීම ද වාර්තාගත ජයග්‍රහණයක් විය. සම්පූර්ණ ඡන්ද ප්‍රතිඵලය මෙසේය. ටී. බී. සුබසිංහ (පුටුව) 10,410, ජී. ඊ. අර්ථනායක (කුඩය) 814, ඇල්. ඩබ්ලිව්. වීරසිංහ (ලාම්පුව) 684, ඇස්. ඇම්. ගුණරත්න බණ්ඩා (යතුර) 617 ඒ. ආර්. විජේකෝන් (අත) 105 වැඩි ඡන්ද සංඛ්‍යාව 15,596 කි. 1952 මැතිවරණයේ දී මෙම තත්ත්වය බොහෝදුරට වෙනස් වී තිබුණ ආකාරය දැකගත හැකි විය. ටී. බී. සුබසිංහ මහතාගේ ඡන්ද සංඛ්‍යාව 16,426 දක්වා ඉහළ ගොස් තිබූ නමුත් එජාපයෙන් තරග කළ දේවාර් සූරියසේන මහතා ඡන්ද 13894 ක් ලබාගෙන ප්‍රබල තත්ත්වයකට පත්ව සිටියේය.


එවර ටී. බී. සුබසිංහ මහතාගේ වැඩි ඡන්ද සංඛ්‍යාව 2532 ක් විය. 1956 තුන්වැනි මහා මැතිවරණයේ දී සුබසිංහ මහතා බණ්ඩාරනායක පිලිප් එකමුතුවෙන් බිහිවූ ම.එ.පෙ. අපේක්ෂකයා හැටියට අත ලකුණ යටතේ තරග කළේය. එවර ඔහු සිය දේශපාලන ජීවිතයේ දී ලැබූ ඉහළම වැඩි ඡන්ද සංඛ්‍යාව (18,952) වාර්තා කිරීමට සමත් විය. එවර ටී. බී. සුබසිංහ මහතා මුළු ඡන්ද 26,246ක් ලබාගෙන ඩී. පී. මැල්ලවආරච්චි මහතා (එජාප - අලියා) 7294 පරදවා ඉතා පහසු ජයග්‍රහණයක් ලබා තෙවැනි වරටත් මැති සබයට පිවිසියේය. 1960 මාර්තු 19 දින මැතිවරණයේ දී අලුතෙන් ස්ථාපනය කළ කටුගම්පොල ආසනයට ‘වංගෙඩිය’ සලකුණ යටතේ නිදහස් අපේක්ෂකයෙකු ලෙස තරග කර තවත් වාර්තාවක් තැබූයේ ප්‍රධාන පක්ෂ දෙකෙහිම අපේක්ෂකයන් පරාජය කරමිනි. එවර ලීලානන්ද වීරසිංහ (ශ්‍රීලනිප - අත) 7594 හැරී ඇස්. දසනායක (එජාප - අලියා) 4768 සහ කේ. බී. හේරත් (ලප්‍රප - කුඩය) 2166 පැරදවූ සුබසිංහ මහතා ඡන්ද 8766ක් හිමිකරගෙන වැඩි ඡන්ද 1172 කින් ජයග්‍රහණය වාර්තා කළේය. මෙම මැතිවරණයේ දී ආසන 50ක් ලබාගත් එජාපය ඩඞ්ලි සේනානායක මහතාගේ නායකත්වයෙන් රජය පිහිටුවීය. 1960 මාර්තු 30 දින පාර්ලිමේන්තුව රැස්වූ විට අභිනව කතානායකවරයෙකු තෝරා පත්කර ගැනීමේ අවස්ථාව උදාවිය. ආණ්ඩු පක්ෂයේ ජේ. ආර්. ජයවර්ධන මහතා (කැලණිය) නාත්තන්ඩිය මන්ත්‍රී සර් ඇල්බට් ඇෆ්. පීරිස් මහතාගේ නම යෝජනා කළ අතර ඇම්. ඩී. බණ්ඩා මහතා (හඟුරන්කෙත) එය ස්ථිර කළේය. විපක්ෂය වෙනුවෙන් කටුගම්පොල මන්ත්‍රී ටී. බී. සුබසිංහ මහතාගේ නම සී. පී. ද සිල්වා මහතා (මින්නේරිය) විසින් යෝජනා කරන ලද අතර ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා මහතා (යටියන්තොට) ස්ථිර කළේය. අනතුරුව ඡන්දයක් පැවැත්වූ අතර සර් ඇල්බට් ඇෆ්. පීරිස් මහතාට ඡන්ද 60 ද ටී. බී. සුබසිංහ මහතාට ඡන්ද 93 ද ලැබී තිබුණ අතර පාර්ලිමේන්තු ඉතිහාසය තුළ විපක්ෂයෙන් තේරී පත්වූ ප්‍රථම කතානායකවරයා ලෙස වාර්තාවක් ද තබමින් ටී. බී. සුබසිංහ මහතා දිවුරුම් දුන් ආකාරය දැකගත හැකි විය. පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් අභිනව කතානායකවරයාට සුබ පතමින් සාම්ප්‍රදායානුකූලව කථා පැවැත්වූ අතර, කවදත් කවියෙන් මැති සබය ඔප කළ සෝමවීර චන්ද්‍රසිරි (ස්වාධීන කැස්බෑව) කවියකින් එතුමාට සුබ පැතීය.


දුරු කළ දිවිය ඉඳු පිළිවෙතට හැම දිනේ
දැරු හදවත තුළෙහි මුදු කුළුණු සොමි ගුනේ
බොරු නැහැ ඔබෙන් අද මේ සබය බැබළුනේ
ගරුතර නව සභාපති තුමනි සැර දෙනේ


එහෙත් සුළුතර ආණ්ඩුව රාජාසන කථා විවාදයේදීම පරාජයට පත්වීම නිසා පාර්ලිමේන්තුව 1960 අප්‍රේල් මස 23 දින විසුරුවා හැරීමේ හේතුවෙන් ටී. බී. සුබසිංහ මහතාගේ කතානායක ධුරය ද දින 33ට සීමාවූයේ තවත් වාර්තාවක් සනිටුහන් කරමිනි.

 

 


ජී. ආර්. ඩී. බණ්ඩාර
ඡායාරූපය අන්තර්ජාලයෙනි