රාජ්‍ය මන්ත්‍රණ සභාවේ සිටි ඇමැතිවරුන් තමන් සතු බලතල වැඩි කරගන්නට තැත් දරමින් සිටියා මිස අධිරාජ්‍ය ගැති පාලන රටාවලිය වෙනස් කොට පූර්ණ නිදහසක් ලබා ගැනීම උදෙසා වූ කාර්යකට එළැඹෙන්නට තැත් නොකළහ. පැවති පාලන ක්‍රියාවලිය යටතේ මහ ලේකම්, මුදල් ලේකම් හා නීති ලේකම් තනතුර පැවරී තිබුණේ බි්‍රතාන්‍යයන් සතුවය. ඇමැතිවරුන් සංදේශයක් මගින් ආණ්ඩුකාරවරයාගෙන් ඉල්ලා සිටියේ එකී තනතුරු පවරා දෙන ලෙසටය. ඉදිරියේ දී පැවැත්වෙන මැතිවරණයේ දී බලය සුරක්ෂිත කරනු උදෙසා කරන උප්පරවැට්ටියක් ලෙස මෙය පෙන්වා දුන් ජාතික සංගම් නායකයෝ යුගයේ අවශ්‍යතාව වනුයේ පූර්ණ නිදහසක් මුළුමහත් ජනතාවගේ අපේක්ෂාව වන බව ප්‍රකාශ කළහ.


ඇන්. ඇම්. ප්‍රමුඛ වමේ කණ්ඩායම ඇමැතිවරුන් ගෙන යන ක්‍රියා කලාපයේ ඇති යටි අදහස තේරුම් කර දෙමින් ජනතා මතයක් ගොඩනැඟීමෙහිලා දීප ව්‍යාප්තව කළ මෙහෙවර තුළින් මෙතෙක් කලක් නිහඬව සිටියවුන්ට පණ උපද්දන්නට හැකි විය. නාගරික තරුණ කොටස් උදෙසා දේශපාලන පන්ති පැවැත්වීමේ කාර්යභාරයේ දී ඇන්. ඇම්. මුල් තැනක් ගෙන කටයුතු කළේය.


වැඩ කරන ජනතාව කළ වහල් මෙහෙය මුලිනුපුටා දැමීමේ පළමු අඩිතාලම වැටුණේ ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වාගේ සභාපතිත්වයෙන් ඇරැඹුණු මෙරට පළමු වෘත්තීය සමිතිය මගිනි.


මෙහි ලේකම්වරයා ලෙස වර්නන් ගුණසේකර කටයුතු කළේය. 1933 පෙබරවාරි මාසයේ සිට ජූලි මාසය දක්වා දිගු කලක් මුළුල්ලේ වැල්ලවත්ත රෙදි මෝලෙහි පැවැති වැඩ වර්ජනය මෙරට ඉතිහාසයේ කම්කරු අරගලයන්හි ප්‍රමුඛස්ථානය හිමිකර ගත්තේය. මෙම වැඩ වර්ජනය කඩාකප්පල් කිරීම සඳහා ඒ.ඊ. ගුණසිංහ ගත් සියලු ප්‍රයත්න ව්‍යර්ථ විය.


මෙකී කටයුතු මෙපරිද්දෙන් කෙරීගෙන යද්දී සූරිය මල් ව්‍යාපාරය විවිධාකාරයෙන් මහජන අවධානය තමන් වෙත යොමු කරගැනීමට උත්සුක වන්නට විය. බි්‍රතාන්‍ය පාර්ලිමේන්තුවේ හිටපු මන්ත්‍රීවරයෙකු වූ ජේ. එල්. හොරබින් විසින් ලියන ලද ‘බි්‍රතාන්‍ය අධිරාජ්‍යවාදයේ විත්තිය’ නමැති ග්‍රන්ථය පරිවර්තනය කොට ජනතාව අතට පත්කිරීම මෙන්ම පොදු ජනතාවට අධිරාජ්‍යවාදයේ ඇති බියකරු බව පැහැදිලි කරමින් ‘කම්කරුවා’ නමැති පුවත්පතක් ද එළි දැක්විණි.


ඇන්. ඇම්. පිලිප් ඇතුළු කණ්ඩායමේ තවත් එක් පුරුකක් වූ ලෙස්ලි ගුණවර්ධනගේ සභාපතිත්වයෙන් පැවැති ‘වර්ක්ස් එඩියුකේෂන් ලීග්’ සංවිධානය රාත්‍රී පාසලක් හා කියැවීම් ශාලා කිහිපයක් පිහිටුවීය. මැලේරියා වසංගතයෙන් පීඩනයට පත් වූ තුන් කෝරලයේ ජනතාවට සූරියමල් සගයෝ පිහිට වන්නට පෙළ ගැසුණහ.


පළමුවරට ඇන්. ඇම්. මැතිවරණ සටනට එක් වූ අවස්ථාවේදී ඔහුගේ නාමයෝජනා පත්‍රය අත්සන් කළ අතුරලියේ සුවඳා, ඇන්. ඇම්. ගැන මෙසේ සඳහන් කරයි.


‘මැලේරියා වසංගතය තුන් කෝරළේම පැතිරුණා. දුප්පත් මිනිස්සු මැලේරියා වංසගතයෙන් හරියට දුක් වින්දා. කැඳ ටිකක්වත් උයාදෙන්න කෙනෙක් නැතිව බේතක් හේතක් නැතිව මේ වසංගතයෙන් මැරුණු අය එමට හිටියා. කිසිම කෙනෙක් ඒ කාලයේ අපේ දුප්පත් මිනිස්සු මැලේරියා හින්දා විඳි දුක් ගැන හෙව්වේ බැලුවේ නැහැ. අපිව හූරා කාපු රදල පන්තියත්, වතු අයිතිකරුවනුත් අපේ දුක ගැන ඇහැක් ඇරලා බැලුවේ නැහැ.
මට ඇන්. ඇම්. සහෝදරයා හමු වුණේ ඔන්න ඔය කාලයෙයි. මගේ ගම එදා රුවන්වැල්ල ආසනය කොටසකට තිබුණු අද දෙහිඕවිට ආසනයේ ඇහැලියගොඩ විලේගොඩයි. මම ඒ කාලේ අපේ ගමේ ගම්සභා නියෝජිතයා, පහත් යැයි සම්මත කුලයකැයි කියලා රදලයන් අපව හොඳටම කොන් කරලයි තිබුණේ. මුළු ගමටම ඒ කාලේ උළු හෙවිල්ලපු ගෙදරකට තිබුණේ අපේ ගෙදර විතරයි. දවසක් දා අපේ ගේ ගාවට කණ්ඩායමක් ඇවිත් අපිත් එක්ක කතා කළා. ඒ කණ්ඩායමේ රළු පෙනුමක් තිබුණු තේජවන්ත කෙනෙකුත් අපේ ඉතිහාස පොත්වල තියෙන ග්‍රීක් පිළිමයක් වගේ ලස්සන කරුණාවන්ත පෙනුමක් තියෙන කෙනෙකුත් හිටියා. රළු පෙනුමක් තිබුණු තේජවන්ත පුද්ගලයා තමයි බොරළුගොඩ පිලිප් ගුණවර්ධන සහෝදරයා. අර ග්‍රීක් පිළිමයක් වගේ හිටියයි කිව්වේ ඇන්. ඇම්. සහෝදරයා. තවත් ඒ කණ්ඩායමේ හිටිය කෙනෙක් තමයි කොමියුනිස්ට් පක්ෂයේ දොස්තර වික්‍රමසිංහ සහෝදරයා.

 

ඇන්. ඇම්. සහෝදරයාට ‘පරිප්පු මහත්තයා’ කියලා නමක් වැටුණෙත් ඔන්න ඔය පරිප්පු බෙදපු හින්දයි. ඒ කාලයේ හිටපු වතු අයිතිකාරයොත් රදලයොත් ඒක නිග්‍රහයට පාවිච්චි කරපු නමක් වුණත් තුන් කෝරලය ඇත්තෝ ඇන්. ඇම්. සහෝදරයාට පරිප්පු මහත්තයා කිව්වේ ලොකු ආදරයකින්.


ඔය කණ්ඩායම මට කතා කරලා කිව්වා අපි ආවේ මැලේරියාවෙන් දුක් විඳින අයට සාත්තු සප්පායම් කරන්න බෙහෙත් දෙන්න කියලා. ඒ ගොල්ලන්ගේ පිටිපස්සෙන් ගෝනි කරගහ ගත්ත අයත් හිටියා. ඒ ගොල්ලෝ මගෙන් ඉල්ලා හිටියා ඒ අයට පාරවල් පෙන්වන්න එන්න කියලා. ඒ කාලෙත් බොරළුගොඩ පිලිප් මහත්තයා ගැන නම් අපි අහලා තිබුණා. නමුත් ඇන්. ඇම්. සහෝදරයා නම් දැක්කෙත් එදයි. කොහොම වුණත් කරන්න ඇවිත් තියෙන වැඬේ හොඳ එකක් හින්දා මමත් පාරවල් පෙන්වන්නට කැමැති වුණා.


ඒ කාලේ මේ මහත්තුරු නොසෑහෙන්ඩ දුක් වින්දා, ගෙයක් ගෙයක් ගානේ කූඩැල්ලන් කඩ කඩා ගිහින් හාල්, පරිප්පු, මාමයිට්, සීනි, තේ කොළ වගේ දේවල් බෙදලා දුන්නා. සාත්තුවට කෙනෙක් නැති ගෙවල්වල හිටපු ලෙඞ්ඩුන්ට කැඳ උයල පොවන හැටිත් මට අද වගේ මතකයි. ඇන්. ඇම්. සහෝදරයාට ‘පරිප්පු මහත්තයා’ කියලා නමක් වැටුණෙත් ඔන්න ඔය පරිප්පු බෙදපු හින්දයි. ඒ කාලයේ හිටපු වතු අයිතිකාරයොත් රදලයොත් ඒක නිග්‍රහයට පාවිච්චි කරපු නමක් වුණත් තුන් කෝරලයේ ඇත්තෝ ඇන්. ඇම්. සහෝදරයාට පරිප්පු මහත්තයා කිව්වේ ලොකු ආදරයකින්. 


ඒ දවස්වල ඒ කණ්ඩායමට නතර වෙන්න තැනක් තිබුණේ නෑ. හැමදාම උදේට ඇවිත් ගම්වල ඇවිදලා ලෙඞ්ඩුන්ට සාත්තු සප්පායම් කරලා හැන්දෑවට ගිහින් පහුවැනිදා උදේම ආයෙත් එනවා. සමහර දවස්වලට ඒ ගොල්ලන්ට කන්න මොකුත් ලැබුණේම නෑ. ඒ කාලේ හිටිය ‘විජය බේකරිය මුදලාලි’ කියලා කෙනෙක්. ඉඳහිට ඒ විජය මුදලාලිගේ ගේ පැත්තෙන් ගියොත් යාන්තමින් මොනා හරි කන්න බොන්න ලැබුණා. 


ඇන්. ඇම්. සහෝදරයා තුන් කෝරලේට ආවේ ඔන්න ඔය විදියටයි. ඒ කාලේ කරපු සේවය තුන් කෝරලේ මිනිස්සුන්ට කවදාවත්ම අමතක වෙන්නේ නෑ. ඊට පස්සේ ඇන්. ඇම්. සහෝදරයා, පිලිප් සහෝදරයා අපේ පළාත්වලට ඇවිත් ‘බැරිකම් තිබුණාට කෙනෙක් සූරාකන්න පාගාගෙන ඉන්න තවත් කෙනෙකුට අයිතියක් නැහැ’ කියලා අපට කියලා දුන්නා. මේ අදහස් ඉක්මනින්ම තුන් කෝරලේ ජනතාව අතරේ පැතිරුණා. ඒකට හේතුව වෙන මොකක්වත් නෙමෙයි. ඒ තරමටම දුප්පත් මිනිස්සු වතු අයිතිකාරයන්ගෙනුත් රදලයන්නෙුත් විඳපු දුක් හිරිහැරයි.


ඔය කියන කාලේ රදලයින් දුප්පත් මිනිහෙකුට පාරේ බැහැලා යන්න දුන්නේ නෑ. අපේ කකුල් කුණුවෙලා ඉදිමිලා තිබුණත් සෙරෙප්පු කුට්ටමක් දාගෙන ගියොත් කම්මුලට පාරක් ගහලා පන්නලා දාන සිරිතක් තිබුණා. කොටින්ම කියනවා නම් රදලයින් තුන් කෝරලේ මිනිස්සුන්ට සැලකුවේ තිරිසනුන්ට වාගේ ඉතාමත්ම නින්දිත විදියටයි.


ඒ විතරක් නම් කමක් නෑ. තුන්කෝරලේ සමහර පළාත්වල ගෙදරක ගෑනු ළමයෙක් වැඩිවියට පත්වුණාම ඒ ගෑනු ළමයා ඇහැට කනට පෙනෙන ළමයෙක් නම් ඒ පළාතේ ඉන්න ප්‍රධාන රදලයින්ට ඉස්සර වෙලාම පාවලා දෙන්නත් සිද්ධවෙලයි තිබුණේ”


සූරියමලෙන් පිබිදුණු ජාතිය නව යුගයකට ප්‍රවිෂ්ට විය. ඒ අධිරාජ්‍යවාදය තුරන් කරන දැවැන්ත සටනයි.