චිරාත් කාලයක සිට පැවත ගෙන ආ සාර් රාජ්‍ය පාලනයෙන් හෙම්බත් වූ රුසියන් ජනතාව, රටෙත් බිහි වූ දර්ශනික නායකයන් විසින් සොයා ගනු ලැබු පාලන ක්‍රම කෙරෙහි සුවිශාල විශ්වාසයකින් යුතුව, සාර් පාලනය අවසන් වන තුරු කැරලි කෝලාහල, උද්ඝෝෂණ, සටන්වල නියැළීමේ ප්‍රතිඵලයක් වශයෙන්, මාර්ක්ස්, එංගල්ස්, ට්‍රොට්ස්කි වැනි දේශපාලන චින්තකයන් විසින් ප්‍රතිෂ්ඨාපනය කරන ලද මාක්ස්වාදය සහ කොමියුනිස්ට්වාදය හිස් මුදුනින් පිළිගෙන ඊට අවතීර්ණ වන ලදී. 


එහි ප්‍රතිඵලය කෙබඳු එකක් දැයි විමර්ශනය කර බැලීමේ ශක්තියක් නොවු ඔවුහු අවශ්‍යව තිබු සාර් පාලනයේ අවසානය තුළින්ම උද්දාම වෙමින් හිස මත වැටුණු පාලනය වෙස් වළාගෙන පැමිණි ආශිර්වාදයක් ලෙසින් සැලකූහ. 


එහෙත් බටහිර රටවල් මාර්ක්ස් හා කොමියුනිස්ට්වාදයේ බියකරු බව වලසෙකු තුළින් මවා පෑමත්, එවකට පැවති සියලුම මාධ්‍යයන් තුළින් ජනතාවට හඳුන්වා දීමත් සිදු කළ ද එහි පෙන්වන අනතුරු පැත්තට වඩා යහපත් පැත්ත පිළිබඳව සිහින දකිමින් එම නව දේශපාලන දර්ශනයට ජනතාව නැඹුරු විය. 


ලංකාවේ ද නවසිය හතළිස් ගණන්වල දී උගත් තරුණ රැළේ නායකයන් කිහිප දෙනෙක් මාක්ස්වාදය වැලඳ ගත් අතර, එවකට පැවති ඉංග්‍රීසි ආධිරාජ්‍යවාදී පාලනයට මහත් හිසරදයක් ගෙන දෙන අන්දමින් එය ව්‍යාප්ත කළේ නොයෙකුත් ජනතා සුබ සිද්ධින් මුල් කරගෙනය. මේ අනුව ලංකාවේ ද මාර්ක්ස්වාදය වැලඳ ගැනීමට කම්කරුවෝ ප්‍රධානව පීඩිත පන්තියේ ජනතාවද වැඩි කැමැත්තක් දැක් වූහ. 


මෙරට මාර්ක්ස්වාදී නායකයන් අතර පිලිප් ගුණවර්ධන හා ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා ඉදිරිපසින් සිට කටයුතු කළ නමුත් ඔවුන් උසස් අධ්‍යාපනය ලද්දේ අධිරාජ්‍යවාදී බටහිර රට වලින් බව මෙහිලා සඳහන් කිරීම උචිතය. 
පිලිප් ගුණවර්ධනගේ විප්ලවකාරී සම සමාජ පක්ෂයත්, ඇන්. ඇම්. ගේ ලංකා සම සමාජ පක්ෂයත්, නව සිය හතළිස් ගණන්වල දී දේශපාලන පිටියට අවතීර්ණ වුවා පමණක් නොව, 1947 දී පැවති පාර්ලිමේන්තු මහ මැතිවරණයට ද ඉදිරිපත් වෙමින් සෑහෙන ආසන සංඛ්‍යාවක් දිනා ගනු ලැබීය. මේ අනුව මුල්ම පාර්ලිමේන්තුවේ විරුද්ධ පක්ෂ නායකයා වූයේ ආචාර්ය ඇන්. ඇම්. පෙරේරාය. 


බටහිර අධිරාජ්‍යවාදී ගැති යැයි හංවඩු ගසමින්, ඩී. ඇස්. සේනානායකගේ නායකත්වයෙන් එක්සත් ජාතික පක්ෂයට පහර ගැසු පිලිප් හා ඇන්. ඇම්. දේශපාලනමය වශයෙන් එම විපක්ෂය කෙරෙහි ඔවුන් තුළ ඇති වූ විරෝධය, බද්ධ වෛරයක් මෙන් විය. එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් වු එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක තම දේශපාලන පක්ෂයක් වශයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බිහි කළ ද බණ්ඩාරනායකගේ රදල ධනේශ්වර පවුල් පසුබිම මත එය ද දක්ෂිණාංශයේ අත කොළුව කැයි හඳුන්වමින් ඔහුගේ සමාජවාදය ද වෘකයාගේ බැටළු හමට සමාන කිරීමට ද ඔවුහූ පසුබට නොවූහ. 


එක්සත් ජාතික පක්ෂය පරාජය කොට නවසිය පනස් හයේ පිහිටුවා ගත් රජයෙන් සමාජවාදී පියවර කිහිපයක් ගනු ලැබුවත් එය මාක්ස්වාදී පිලිප් රජයට සම්බන්ධ වීමෙන් වූ ප්‍රතිඵලයක් බවට ද ඔවුන්ගේ නිගමනය විය. 
එහෙත් සමාජවාදයක් මාක්ස්වාදයෙන් බිඳී ආ දේශපාලනික දර්ශනයක් බවත් බණ්ඩාරනායකගේ සමාජවාදය පෙනුමට පමණක් වන බවත්, ඔවුන්ගේ මතය වූ අතර කෘෂිකර්ම ඇමති වශයෙන් පිලිප් ගුණවර්ධන ගෙනා කුඹුරු පනතට බිරිඳ සිරිමාගේ දැඩි විරෝධය පිළි ගනිමින් පිලිප්ට කෙනෙහිලිකම් කර රජයෙන් පන්නා දැමීමෙන් එය වඩාත් සනාථ වූ බවත් පිලිප් ඇන්. ඇම්. වාදීහු ප්‍රකාශ කළහ. මෙසේ කාලය පියඹා යමින් 1960 මහ මැතිවරණ දෙකකින් ඉක්බිති 1965 පැවති මහ මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂයේ නායක ඩඞ්ලි සේනානයක සිව්වෙනි වතාවටත් අගමැති වෙමින් රජයක් පිහිටුවා ගත්තේය. 


විවිධ දේශපාලන පක්ෂ කිහිපයකින් සමන්විත වූ මෙම හත් හවුල් රජයේ කිසිවෙකුත් අපේක්ෂා නොකළ අන්දමට එක්සත් ජාතික පක්ෂයත් සේනානායකවරුනුත් හැම අවස්ථාවකදීම නිර්දය ලෙස විවේචනය කළ මෙරට මාක්ස්වාදයේ පියා යැයි විරුදාවලිය ලැබු පිලිප් ගුණවර්ධන, ඩඞ්ලිගේ රජයේ ප්‍රබල අමැතිවරයෙක් විය. සේනානායක නාමයටත් පරිභව කරමින් එක්සත් ජාතික පක්ෂයේ මිනී පෙට්ටියට අන්තිම ඇණය ද ගැසු බවක් වේදිකාවල දී කියු පිලිප් අධිරාජ්‍යවාදී බටහිර කඳවුරට බර යැයි හඳුන්වා දුන් එ.ජා.ප. නායක ඩඞ්ලිගේ පපුවට හේත්තු වූයේ කළ එම වරදට සමාව අයැද සිටීමට මෙනි. 


බණ්ඩාරනායක රජයෙන් මෙන් නොව ඩඞ්ලි සේනානායක රජයේ ප්‍රබල දක්ෂිණාංශයේ කිසිම ඇමතිවරයෙකුට, පිලිප්ට විරුද්ධව කටක් නොඅරින්නට අගැමති ඩඞ්ලි නියෝගයක් පැන වූයේ සමාව දීමේ පියවරක් වශයෙන් විය හැකි හෙයින් කිසිම විරෝධයක් ඇති නොවීම නිසා පිලිප් ද තමාට මනාප පරිදි ඇමැති පදවියේ කටයුතු කළේය. 


පස් අවුරුදු කාල සීමාවකට ගොස් තුන් අවුරුද්දකින් බණ්ඩාරනායක එපා වූ පිලිප්ට ඩඞ්ලි සමග පස් අවුරුදු කාල සීමාවම සම්පූර්ණයෙන්ම ගෙවා දැමීමට හැකි වූයේ ඩඞ්ලි පිලිප්ට දැමු නාස් ලණුව නොගැලවන සේ දැමීමට සමත් වූ බැවිනි. 


1973 දී ඩඞ්ලි සේනානායකගේ හදිසි අභාවයෙන් පසු මහත් කම්පනයට පත් වූ මාක්ස්වාදී පිලිප් ගුණවර්ධන ශෝක ප්‍රකාශයක් කරමින් කියා සිටියේ තම දේශපාලන ජිවිතය තුළ ඩඞ්ලි සේනානායක තරම් අවංක දුර්ලභ ගණයේ දේශපාලනඥයෙකු හමු නොවු බවය. 


මේ අතර තම සැමියාගේ ඝාතනයෙන් පසු මගේ සැමියා නොමරා මැරුවේ ඇන්. ඇම්. යැයි, මාපිටිගම බුද්ධරක්ඛිත තල්දුවේ සෝමාරාම වැරදිකරුවන් කරන්නටත් පෙර ඝාතන ලැයිස්තුවේ මුලට ඇන්. ඇම්.ව නාමිකව නම් කිරීමට සිරිමාවන් පසු බට නොවු අතර ඊට පාදක වූ සිද්ධාන්තය වූයේ බණ්ඩාරනායක පාලන යුගයේ දී දවස් තුන්සිය හැට පහ ද ඉක්මවා යන අන්දමේ උද්ඝෝෂණ වැඩ වර්ජන මෙහෙය වූ නායකයෙකු හැටියට ඇන්. ඇම්. නම් දරා සිටි නිසාය.


කෙසේ වුවත් ඒ දෝෂාරෝපණ සියල්ලම දේශපාලනයේ දී ඇති වී නැති වී යන පෙණ බුබුළු තත්ත්වයෙන් සලකා මාක්ස්වාදී ආචාර්ය ඇන්. ඇම්. පෙරේරාට රජයක බලගතුම ඇමති තනතුර වන මුදල් ඇමතිකම සිරිමා රජයෙන් පිරිනැමුණේ පරණ කෝන්තර සියල්ලම යටපත් වෙන්නට ඉඩ හරිමිනි. 


මුදල් ඇමතිවරයා වශයෙන් රටේ භාණ්ඩාගාරයත්, රටේ විදේශ මුදල් සංචිතයත් තර කිරීමේ වගකීම දරමින් ඇන්. ඇම්. ගේ මුල්ම කාරිය වූයේ නිවෙස්වල කොට්ට යට පෙට්ටගම් තුළ පැඳුරු ආතා තුළ සැඟ වී පැළ පඳියම් ව තිබු රුපියල් 50 හා 100 නෝට්ටු මකුළු දැල් තුළින් එළියට එන්නට සලස්වා, යම් කිසි නිශ්චිත කාල සීමාවක් තුළ අවලංගුකර අලුත් නෝට්ටුවලට මාරු කර ගැනීමට ඉඩ ප්‍රස්ථාව ලබා දීමය. කෙසේ වුවද තමාට ඉහළින් යමක් කිරීමට ඇති ඉඩකඩ ඇන්. ඇම්.ට ඇහිරූ සිරිමා බණ්ඩාරනායක, මෙම මාක්ස්වාදියාට නාස් ලණුව දමා හීලෑ කර ගත්තේ, ආරූඪ කර ගත් පුරුෂ ධෛර්යයකිනි. 


එහෙත් සිරිමා රජයේ ආයු කාලය ක්ෂය වීමට ආසන්න මොහොතේ අයවැය ලේඛනය මගින් කිතුල් පොල් ගස් ඇතියවුන්ට රා මැදීමට දුන් අවසරයෙන් රටේ මහත් කලබැගෑනියක් ඇති වීම නිසාත්, මැයි දින උත්සවයක දී ඉකුත් බණ්ඩාරනායක අගමැතිනියගේ ද්වේෂයට ලක්වූ ඇන්. ඇම්. ගේ මුදල් ඇමතිකම ඉවත් කිරීම හේතුවෙන් ඇන්. ඇම්. ට සිරිමා රජයෙන් දොට්ට බැසීමට සිදු වුනි. මේ පිළිබඳ දෙදෙනා අතර හුවමාරු වු ලිපි වලින් ද එකිනෙකා අතර වු විරසකය ගින්නට පුළුන් දැමීමක් බඳු විය. 


ලංකා දේශපාලන ඉතිහාසය කලඹවමින් ඇති වූ විපර්යාසයන් දෙකක් හැටියට ඩඞ්ලි පිලිප්ට දැමු නාස් ලණුවත්, සිරිමා ඇන්. ඇම්. ට දැමු නාස් ලණුවත්, ඉතිහාසගත වන්නේ ප්‍රබල මාක්ස්වාදීන් හැටියට පිලිප් හා ඇන්. ඇම්. සේනානායකලා හා බණ්ඩාරනායකලා සමාජවාදී දවටනයෙන් එතූ ධනේශ්වර අධිරාජ්‍යවාදී ටොපිය ලොවනවුන් හැටියට කාලාන්තරයක් තිස්සේ හඳුන්වා දෙමින්ම, අවස්ථාවාදීව හෝ ඔවුන් සමග එක පතේ කෑමත් එක ඇඳේ ලැගීමත්ය. හැම දේශපාලන වාදයකම දර්ශනයකම නොමියන සලකුණ එයයි.

 

 

 

එල්. ඩබ්ලිව්. පුෂ්පකුමාර
ඡායාරූප : අන්තර්ජාලයෙනි