1971 අප්‍රේල් අරගලයට පසුගිය 5 වැනිදාට වසර 47 කි. මෙරට දේශපාලනයටත් 71 අප්‍රේල් අරගලය තරම් ගුණාත්මක බලපෑමක් ඇති කළ වෙනත් සිදුවීමක් නොමැති තරම්ය. එහෙත් 71 අප්‍රේල් අරගලය සම්බන්ධයෙන් විවිධ මතවාද පවතී. එය එසේ වුවද වඩාත් වැදගත් වන්නේ 71 අරගලයේ සැබෑ හිමිකරුවා වන ජනතා විමුක්ති පෙරමුණ ඒ සම්බන්ධයෙන් දරණ මතය වේ. ජනතා විමුක්ති පෙරමුණ විසින් 2012 වසරේදී ප්‍රකාශයට පත් කළ පක්ෂයේ ඉතිහාසය 1965 - 1994 කෘතියෙහි. අප්‍රේල් අරගලයට සම්බන්ධ මෙම උපුටනය ඒ නිල මතය අවධාරණය කරනු පිණිසය.


ජූලි වර්ජනයේ පරාජයත් සමග එක් කරුණක් ඔප්පු විය. එනම් පැරණි වමේ අවස්ථාවාදී මුට්ටකාසි මුදලාලි පැලැන්තිය ප්‍රජාතන්ත්‍රවාදී ලෙස වෘත්තීය සමිති බලය වෙනස් කිරීමට ඉඩ නොදෙන බවය. මේ තත්ත්වය තුළ තවදුරටත් අලුතින් සමිති පිහිටුවීමෙන් වැළකීමේ ජවිපෙ උපක්‍රමය වලංගු නොවීය. පංතිය සමගි කිරීම සඳහා වන සිය උපාය මාර්ගය වෙනස් නොකරම ඒ සඳහා වූ පැරණි උපක්‍රමය වෙනස් කර නව උපක්‍රමික ක්‍රියා මාර්ග ගැනීමට මේ තත්ත්වය ජවිපෙට බල කළේය. ඒ අනුව පසුව සියලු සමිති එකම මධ්‍යස්ථානයකට ඒකරාශි කිරීමේ අරමුණින් අලුතෙන් වෘත්තීය සමිති පිහිටුවීමට ජවිපෙ තීරණය කළේය.


රාජ්‍ය අංශයේ මෙන්ම පෞද්ගලික අංශයේද අලුතින් සමිති පිහිටුවීමට ජවිපෙ ගත් තීරණයත් සමඟ සටන්කාමී හා ඒ වන විට පැවති වමේ සංශෝධනවා දී හා අවස්ථාවාදී ක්‍රියාමාර්ග පිළිබඳ කලකිරී සිටි වැඩකරන ජනයා ජවිපෙ සමිතිවලට බැඳීමට පටන් ගත්තෝය. ඒ ජූලි වර්ජනය පාවාදුන්නේ ජවිපෙ විසින්ය යන අවලාදය ද නොසලකාය. පැරණි වම එතෙක් ගොඩනගාගෙන සිටි වෘත්තීය සමිති අධිරාජ්‍යයේ බිඳ වැටීම ද ඒ සමගම ඇතිවිය. පසු කාලයක් වන විට රාජ්‍ය අංශයේ සියලුම වෘත්තීය සමිති එක්තැන් කරමින් එහි මධ්‍යස්ථානය ලෙස සමස්ත ලංකා වෘත්තීය සමිති සම්මේලනය ගොඩ නැගූ ජවිපෙ පෞද්ගලික අංශයේ මධ්‍යස්ථානය ලෙස සංස්ථා සේවක සංගමය බිහි කළේය. ස.ලං.වෘ.ස. සම්මේලනයේ සභාපති ධූරයට රෝහණ විජේවීර සහෝදරයා පත්වූ අතර එහි ලේකම් ධූරයට ගමනායක සහෝදරයා පත්විය. සංස්ථා සේවක සංගමයේ ප්‍රධානියා වූයේ එවකට ජවිපෙ ප්‍රධාන ලේකම් වූ ලයනල් බෝපගේය. පසුව වතු වෘත්තීය සමිතිය ද ගොඩනැගීම ආරම්භ කළ අතර එහි ප්‍රධානියා වූයේ තංගරාජා සහෝදරයාය.


1981 වසරේදී ජවිපෙට සටන් දෙකකට මුහුණ දීමට සිදුවිය. එකක් නිදහස් අධ්‍යාපනය අහෝසි කිරීම සඳහා ජයවර්ධන පාලනය ගෙන ආ අධ්‍යාපන ධවල පත්‍රිකාවට එරෙහිවය. අනෙක 1981 සංවර්ධන සභා ඡන්දයට ඉදිරිපත් වීමයි. මෙම සටන් දෙකම ජවිපෙට කිසියම්ම හෝ ජයග්‍රහණ ලබාදීමට සමත්වූ සටන් දෙකක් විය.


1981 වන විට ජයවර්ධන ආණ්ඩුවේ තරුණ කටයුතු රැකීරක්ෂා හා අධ්‍යාපන ඇමතිවරයා වූයේ, රනිල් වික්‍රමසිංහ මහතාය. ලංකාව තුළ නිදහස් වෙළෙඳපොළ ආර්ථිකය තහවුරු කිරීම සඳහා කටයුතු කරමින් සිටි එජාප ආණ්ඩුව තම අලුත් ආර්ථික ප්‍රතිපත්තියට ගැලපෙන සේ අධ්‍යාපනය ද වෙනස් කිරීමට තීරණය කළේය. එහි ප්‍රමුඛ අරමුණ වූයේ, නිදහස් අධ්‍යාපනය ක්‍රමානුකූලව අහෝසි කිරීමය. රනිල් වික්‍රමසිංහ අමාත්‍යවරයා විසින් අධ්‍යාපන ධවල පත්‍රිකාව ඉදිරිපත් කළේ, මෙවැනි වටපිටාවක් තුළය. නිදහස් අධ්‍යාපනය අහෝසි කිරීම සඳහා එම ධවල පත්‍රිකාව ඉදිරිපත් කළ විගසම ඊට ශිෂ්‍ය ව්‍යාපාරයෙන් එල්ලවූයේ බරපතළ විරෝධයකි. ඒ වන විටත් විශ්වවිද්‍යාල වැඩි ගණනක මහා ශිෂ්‍ය සංගම් තුළ බලයේ සිටියේ ජවිපෙ සමාජවාදී ශිෂ්‍ය සංගමයයි. අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය ජවිපෙ දේශපාලන මග පෙන්වීම යටතේ සමාජවාදී ශිෂ්‍ය සංගමයේ නායකත්වය තුළ ක්‍රියාත්මක විය. මේ නිසාම ධවල පත්‍රිකාවට එරෙහිව ශිෂ්‍ය ව්‍යාපාරයෙන් ඇරඹි සටනට ජවිපෙ සෘජු ලෙසම දායක විය.


අධ්‍යාපන ධවල පත්‍රිකාවට එරෙහිව දැනුවත් කිරීමේ සම්මන්ත්‍රණ රැලිවල සිට උද්ඝෝෂණ හා පෙළපාලි දක්වා වූ දැවැන්ත විරෝධතා රැල්ලක් නිර්මාණය වූ අතර 80 ජූලි වර්ජනය පොඩි පට්ටම් කර සිටි ආණ්ඩුව ශිෂ්‍ය විරෝධය ද එලෙස මැරබලයෙන් හා මර්දනයෙන් යටපත් කිරීමට සූදානම් විය. ධවල පත්‍රිකාවට එරෙහි සටන ශිෂ්‍ය ව්‍යාපාරය සමග ජවිපෙ අතට ගනිද්දී ධවල පත්‍රිකාව ක්‍රියාත්මක කිරීමේ සටනට ජයවර්ධන ජනාධිපතිවරයා ද අවතීර්ණ විය. මේ අතර ජන රැලියක් ඇමතූ ජයවර්ධන ජනාධිපතිවරයා පවසා තිබුණේ පෙළපාලි ගියත් විප්ලව කොරත් ධවල පත්‍රිකාව ඉවත්කර නොගන්නා බවය. එසේ පැවසූ ජයවර්ධන පාලනය ශිෂ්‍ය උද්ඝෝෂණවලට පහර දුන් අතර ශිෂ්‍ය නායකයන්ට එරෙහිව ද විවිධ ආකාරයෙන් ක්‍රියාත්මක විය. කොළඹ පැවති ශිෂ්‍ය උද්ඝෝෂණයකට එරෙහි අශ්වාරෝහක පොලීසිය පවා යෙදවූ අතර අශ්ව පා පහර වැදී හා අශ්වයන්ට පෑගී සිසුහු රැසක් තුවාල ලැබූහ. එම උද්ඝෝෂණවල දී ශිෂ්‍ය නායකයන්ව සිටි එච්. බී. හේරත් හා කේ. ඩබ්. එස්. අමරසිරි යන සහෝදරවරු තුවාල ලැබූහ.


කෙසේ වුවත් අවසානයේ පරාජය පිළිගෙන ධවල පත්‍රිකාව තාවකාලිකව හෝ හකුලා ගැනීමට ජයවර්ධන පාලනයට සිදුවිය. එය පොදුවේ ශිෂ්‍ය ව්‍යාපාරය ලැබූ අති විශාල ජයග්‍රහණයක් විය. අවස්ථාවාදී වම නායකත්වය දුන් කම්කරු පංති ව්‍යාපාරයේ ජූලි සටන මර්දනය කිරීමට ජයවර්ධන පාලනය සමත් වුවද විප්ලවවාදී ව්‍යාපාරය නායකත්වය දුන් ශිෂ්‍ය සටන ඉදිරියේ පරාජය බාර ගැනීමට ජනාධිපති ජයවර්ධනයට සිදුවිය. අධ්‍යාපන ධවල පත්‍රිකාව ක්‍රියාවට නැගීමට එරෙහි සටන එදා එලෙස ජය ගත්තද ඉන් පසු බලයට පැමිණි හැම ආණ්ඩුවක්ම එහි ප්‍රතිපත්ති ක්‍රියාවට නැගීමට උත්සාහ කළ අයුරු අපි දුටුවෙමු. එකී උත්සාහය තවමත් අවසන් වී නැත.
1981 ජවිපෙ මුහුණ දුන් අනෙක් සටන වූයේ සංවර්ධන සභා ඡන්ද සටනය. 1977 මහ මැතිවරණයේදී ආසන 04 කට අපේක්ෂකයන් ඉදිරිපත් කරමින් මැතිවරණ දේශපාලනයට පිවිසි ජවිපෙට 1981 වනතුරුම මහජන නියෝජිතයන් පත්කර ගැනීමේ ජයග්‍රහණයක් ලබාගැනීමට නොහැකි විය. 1981 ජූනි මාසයේ දිස්ත්‍රික් සංවර්ධන සභා මැතිවරණය පැමිණියේ ඒ අතරය. 1978 දී නව ව්‍යවස්ථාවක් කෙටුම්පත්කර සම්මත කරගත් ජයවර්ධන පාලනය එතෙක් පැවැති පළාත් පාලන ආයතනවලට අමතරව දිස්ත්‍රික් මට්ටමේ ව්‍යුහයක් ලෙස දිස්ත්‍රික් සංවර්ධන සභා හඳුන්වා දුන්නේය. ඒ වනවිට පළාත් සභා තිබුණේ නැත. දිස්ත්‍රික් සංවර්ධන සභා පිහිටුවීම පිළිබඳ ජයවර්ධන ආණ්ඩුවේ පැහැදිලි කිරීම වූයේ එය දිස්ත්‍රික් මට්ටමේ සංවර්ධන කටයුතු සඳහා ඇති කරන පාලන ව්‍යුහයක් බවය. බලය බෙදීමේ සංකල්පයේ මූල බීජ ද මේ තුළ තිබිණි.


කෙසේ වෙතත් 1981 පිහිටවූ දිස්ත්‍රික් සංවර්ධන සභා කරුණු කිහිපයක් නිසා විශේෂ විය. මෙහි එක් විශේෂයක් වූයේ සමානුපාතික ඡන්ද ක්‍රමය යටතේ පැවැත්වූ පළමු මැතිවරණය මෙය වීමය. මෙය සමානුපාතික ඡන්ද ක්‍රමයට අනුව පැවැත්වුවද එහිදී මනාප ක්‍රමය තිබුණේ නැත. ඒ වෙනුවට දේශපාලන පක්ෂ හෝ ස්වාධීන කණ්ඩායම් අපේක්ෂක ලැයිස්තුවක් ඉදිරිපත් කළ යුතුවූ අතර, එක් එක් පක්ෂවලට හෝ ස්වාධීන කණ්ඩායම්වලට ලැබුණු ඡන්ද ප්‍රමාණය අනුව සමානුපාතික ක්‍රමය තුළ මන්ත්‍රී ධූර ප්‍රමාණයක් ලැබෙන අතර එම මන්ත්‍රීධූරවලට පුද්ගලයන් පත්වූයේ ඉදිරිපත් කර තිබූ අපේක්ෂක ලැයිස්තුවේ අනුපිළිවෙල අනුවය. මෙම ක්‍රමය ජවිපෙට ගැටලුවක් නොවූවද අනෙක් පක්ෂවලට ගැටලුවක් විය. මක් නිසාද යත්, ලැයිස්තුවේ පහළ සිටින අය වැඩ නොකර අක්‍රිය වීමය. පසුව මනාප ක්‍රමය හඳුන්වාදෙන ලද්දේ එම ගැටලුවට විසඳුම ලෙසිනි.


මෙම දිස්ත්‍රික් සංවර්ධන සභා මැතිවරණයේ අනෙක් විශේෂත්වය වූයේ පළමු වාරයෙන් පසු දිස්ත්‍රික් සංවර්ධන සභා ආණ්ඩුව විසින්ම අහෝසි කිරීමය. දිස්ත්‍රික් සංවර්ධන සභාවල නිල කාලය වසර 4 ක් විය. එහෙත් 1981 පළමු වටයේ සභාවලින් පසු දෙවන වටයේ සභාවලට ඡන්ද විමසීම් නොපවත්වාම එය අහෝසි කරන ලදී.

අනෙක් අතට දිස්ත්‍රික් සංවර්ධන සභා මැතිවරණය පවත්වන අවස්ථාව වන විට විපක්ෂයේ සිටි ශ්‍රීලනිපය බරපතළ අභ්‍යන්තර අර්බුද රැසකට ලක්වී තිබුණි. සිරිමා බණ්ඩාරනායක ආණ්ඩු සමයේ සිදුවූ ක්‍රියා පිළිබඳ විමර්ශනය කිරීමට පත්කළ ජනාධිපති කොමිසම බලය අයුතු ලෙස යෙදවීම පිළිබඳව සිරිමා බණ්ඩාරනායක මහත්මිය වැරදිකරු කළ අතර 1980 ඔක්තෝබරයේදී ඇයගේ ප්‍රජා අයිතිය වසර 7ක කාලයකට අත්හිටුවන ලදී. මේ තත්ත්වය තුළ ඇයට දේශපාලනය කිරීමට හෝ දේශපාලන ව්‍යාපාරයකට නායකත්වය දීමට නීතිමය බාධාවක් ඇතිවිය. ඇය මැතිවරණ ක්‍රියාවලියකට දායක වුවහොත් එය අපේක්ෂකයන්ගේ තේරී පත්වීම්වලට ද අහිතකර ලෙස බලපාන තත්ත්වයක් ඇතිවිය. මෙහිදී වර්තමානයේදී මෙන්ම එදා ජයවර්ධන පාලනයේදීද අරමුණ වූයේ විරුද්ධ පක්ෂ දුර්වල කර තනි පක්ෂ පාලනයකට මග විවර කර ගැනීමය.

 

 

 

 

 

සකස් කළේ : 
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්