ශ්‍රී ලංකාවේ රාජ්‍ය සංස්ථා අතුරින් ඉතා වැදගත් ආයතනයක් වශයෙන් රජයේ මුද්‍රණ නීතිගත සංස්ථාව හැඳින්විය හැකිය. මුද්‍රණ ක්ෂේත්‍රයේ රාජ්‍ය අංශයේ විශාල වැඩ කොටසක් ඉටුකෙරෙන මෙම ආයතන​යේ ප්‍රධාන කාර්යාලය හා කර්මාන්ත ශාලාව පිහිටුවා ඇත්තේ පානළුව ප්‍රදේශයේය. මුල් කාලයේ ප්‍රධාන කාර්යාලය කොළඹ ආශ්‍රිතව පවත්වා ගෙන ගිය අතර දැනට ප්‍රධාන කාර්යාලය ඇතුළු‍ සියලු‍ කටයුතු පානළුව ප්‍රදේශයේ අක්කර ගණනාවක භූමිභාගයක ඉටුකරගෙන යනු ලබයි.


මෙම සංස්ථාව පිහිටුවීමේදී එහි පර්මාර්ථ අතර ප්‍රධානම වූයේ පාසල් පෙළපොත් මුද්‍රණය කිරීමයි. එයට අමතරව ීඡක්‍ අභ්‍යාස පොත් මුද්‍රණය කරනු ලබන අතර එම පොත් මිල දී ගැනීමට පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවෝ වැඩි රුචියක් දැක්වූහ. මෙයට අමතරව පෞද්ගලික රචකයින්ගේ පොත් පත් මුද්‍රණ කර දීම හා විවිධ මුද්‍රණ කටයුතුද සිදු කරනු ලබයි. ජාතික ලොතරැයි කීපයක්ද එකල මුද්‍රණය කළ බව මට මතකය.


මෙම මුද්‍රණ සංස්ථාව 1999 වර්ෂය පමණ වන විට අර්බුද රැසකට මුහුණ දුන්නේය. සංස්ථාවේ ප්‍රධාන කටයුත්ත වූ පෙළපොත් මුද්‍රණය පුද්ගලික මුද්‍රණකරුවන් අතට පත්වීම එම අර්බුදයේ ප්‍රධාන හේතුවයි. රජයේ සමහර දේශපාලනඥයන්ගේද ආශිර්වාදය ඇතිව පටන්ගත් මුද්‍රණාල වෙත පෙළපොත් මුද්‍රණය පිරිනැමීමෙන් විශාල අර්බුදයක් හටගත්තේය. ඒ අනුව සියයට 85 කට වැඩි මුද්‍රණ කටයුතු පෞද්ගලික අංශයට ඇදී ගිය අතර සියයට 10 කටත් අඩු ප්‍රමාණයක පෙළපොත් මුද්‍රණ කටයුතු සංස්ථාවට හිමිවිය. අභ්‍යාස පොත් හා වෙනත් ග්‍රන්ථ මුද්‍රණයෙන් ලැබෙන ඉතා සුළු ආද‌ායම මෙන් නොව විශාල ආදායමක් ලැබු​ණේ පෙළපොත් මුද්‍රණයෙනි. පෞද්ගලික මුද්‍රණකරුවන් පෙළපොත් මුද්‍රණ කටයුතු සිදු කිරීමෙන් මුද්‍රණ සංස්ථවේ ආද‌ායම අඩුවීම පමණක් නොව ප්‍රමිතියෙන් තොරව ප්‍රමිතියෙන් බාල කොළවල මුද්‍රණය කරන ලද පෙළපොත් ද ළමයින්ට ලබා ගැනීමට සිදුවිය. ඒ නිසා දෙමව්පියන්ගෙන්. පාසල් දරු දැරියන්ගෙන් දොස් අසන්නටද සිදු විය. නිසි කලට පාසල් ළමයින්ට පෙළපොත් නොලැබුණි. මේ ක්‍රමය තුළ ආයතනයේ සේවක සේවිකාවන්ටද දීමනා - පඩිනඩි ලබා ගැනීමේ ගැටලු‍කාරී තත්ත්වයටද මුහුණදීමට සිදුවිය. සේවක උද්ඝෝෂණ හා ගැටලු‍ ද මතුවන්නට විය. ජාතික සේවක සංගමය ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය යන වෘත්තීය සමිති දෙකම ඒ අනුව සටන් මගට පිවිසියේ නැවතත් පෙළපොත් මුද්‍රණය තම සංස්ථාවට අවශ්‍ය බවට ප්‍රකාශ නිකුත් කරමිනි.


මෙම මතු වූ තත්ත්වය හමුවේ පාලනාධිකාරියට ද පවතින්නට හෝ ක්‍රියාත්මක වන්නට නොහැකි මට්ටමට අර්බුදය උග්‍රවිය. මෙම තත්ත්වය උදාවන සමයේ සංස්ථාවේ සභාපති පදවිය උසුලන ලද්දේ ප්‍රකට වෘත්තීය සමිති නායකයෙකු වූ ඒ. බී. සී. ද සිල්වා මහතායි. එතුමා නොයෙකුත් උත්සාහයන් ගත් නමුත් පෙළපොත් මුද්‍රණයේ වැඩි කොටස සංස්ථාවට ලබා ගැනීමේ සටන ජය ගැනීමට නොහැකි විය. බැරිම තැන සභාපතිවරයා සිදු කරන ලද්දේ සියලු‍ මාධ්‍ය ආයතනවල මාධ්‍යවේදීන් ද කැඳවා මාධ්‍ය හමුවක් පවත්වා “මේ මුද්‍රණ සංස්ථාව කිසිසේත් ගොඩ ගැනීමට නොහැකි” බව පවසා එකල දේශපාලන තත්ත්වය පිළිබඳව විවේචනයක්ද සිදු කරමින් ඉල්ලා අස්වීමය. රජය එම ප්‍රශ්නයට විසඳුමක් ලබා දෙන්නේ නැත්නම් සභාපතිකමේ රැඳීමේ තේරුමක් නැතැයි එතුමා සිතුවාට සැක නැත.


කෙසේ වුවද මෙම අවස්ථාවේ එවකට ජනමාධ්‍ය ඇමතිතුමා මාව ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මැතිනිය කරා යොමු කළ විට එතුමිය මාගෙන් විමසා සිටියේ මෙම මුද්‍රණ සංස්ථාව භාර ගෙන ක්‍රියා කළ හැකිද යන්නයි. සංස්ථාවේ ආද‌ායම් නැති වී ගොස් පඩිනඩි ගෙවා ගැනීමට නොහැකි වෘත්තීය සමිති අරගල උත්සන්න වී ඇති මොහොතක එම ආයතනය භාර ගැනීම කෙතරම් අභියෝගයක්දැයි මම කල්පනා කළෙමි. කෙසේ වුවද “අපේ රටේ මොනම රාජ්‍ය ආයතනයක් වූවද උනන්දුව හා කැපවීම මත උත්සාහවන්තව ක්‍රියා කළහොත් ගොඩගත හැකිය” යන මතයේ මා නිරතුරුව සිටි නිසා එම අභියෝගය භාර ගනිමින් මම මුද්‍රණ සංස්ථාවේ සභාපතිකම භාරගත්තෙමි. එය භාරගත් දිනම සංස්ථාවට ගිය මා තමුන්නාන්සේලාගේ සහාය ලැබේ නම් රජයේ සහාය කෙසේ හෝ අරගෙන මෙම ප්‍රශ්නය විසඳ‌ා දීමට කටයුතු කරන බව’’ ප්‍රකාශ කළෙමි. එදින සිටම සංස්ථාවේ වැඩ පටන්ගත් මා හට සිදු වූයේ රජයේ මැති ඇමතිවරුන් කීප දෙනෙකු පසු පස ඔවුන් හමුවීමට නිරතුරුව යාමටයි. ප්‍රශ්නය පිළිබඳව ලිඛිත ඉල්ලීම් වලින් පමණක් ක්‍රියා නොකොට එවකට ආයතනයේ සාමාන්‍යාධිකාරී වශයෙන් ක්‍රියා කළ උදයාර් මහතා ද සමග ගොස් අද‌ාළ ඇමතිවරුන් හමුවුණෙමි. එවකට මෙම ආයතනය ජනමාධ්‍ය අමාත්‍යාංශයට අයත් වුවද පෙළපොත් ලබා ගැනීමේ කටයුතු පිළිබඳව සාකච්ඡා කළ යුත්තේ අධ්‍යාපන අමාත්‍යාංශය සමගයි. අධ්‍යාපන අමාත්‍යාංශයේ ප්‍රකාශන දෙපාර්තමේන්තුව සමග සාකච්ඡා කීපයක් පැවැත් වූ අතර ජනමාධ්‍ය අමාත්‍යවරයා සමගද ජනාධිපතිතුමිය සමගද සාකච්ඡා කළෙමි. කවර ආකාරයේ සාකච්ඡා කළද ප්‍රශ්නය විසඳ‌ාගැනීම එතරම් පහසු නොවූයේ පෞද්ගලික මුද්‍රණකරුවන් කිහිප දෙනෙක්ම මෙම කාර්යට අත ගසමින් ඔවුන් ඉතා බලවත්ව සිටි හෙයිනි. කෙසේ වුවත් මම සාකච්ඡා අත නොහැරියෙමි. අදාළ මැති ඇමැතිවරුන් නිරතුරුවම හමුවුණෙමි. යම් ආයතනයක් ගොඩගැනීමට සහාය ලබා ගැනීමට කවුරුන් වුවද අවංකව හමුවීම වරදක් නොවේ. එය ලැජ්ජාවටද කරුණක් නොවේ. අවශ්‍ය වන්නේ කෙසේ හෝ ආයතනය ගොඩ ගැනීමයි.


ඒ අනුව මවිසින් එවකට අධ්‍යාපන අමාත්‍යවරයාව සිටි ආචාර්ය රිචර්ඞ් පතිරණ මහතාට කීවේ අදාළ සියලු‍ පාර්ශ්වයන්ගෙන් සැදුම්ලත් සාකච්ඡාවක් කැඳවන ලෙසයි. ඒ තුළින් මේ ගැටලු‍ව විසඳෙන ලෙසයි. මාගේ ඉල්ලීම පිළිගත් රිචර්ඞ් පතිරණ මැතිතුමා බත්තරමුල්ල ඉසුරුපායට කාරණයට අද‌ාළ වන්නා වූ සියලු‍ නිලධාරීන් කැක්‍ෂෙව්වේය. රැස්වීමේදී සියලු‍ තොරතුරු විමසූ ඇමතිවරයා ඒ පිළිබඳව එනම් ඒ විෂය ගැන මූලිකත්වය ගෙන ක්‍රියා කළ නිලධාරියාට දොස් කිවූ ආකාරය මට හොඳටම මතක ඇතත් ඒවා මට මෙහි සඳහන් කළ නොහැකිය. එතුමා නිලධාරීන් බොහොමයකට ඉතා තදින් කතා කරමින් රාජකාරි කර ගත් අයුරු එකල ඉතා ප්‍රසිද්ධය.


කෙසේ හෝ මෙම රැස්වීමේදී පැය දෙක තුනක් මෙම කරුණ සාකච්ඡා කර ඇමතිතුමා ප්‍රකාශ කළේ පෙළපොත් මුද්‍රණයේ වැඩිම කොටස සංස්ථාවට දිය යුතු බවයි. ඒ වන විටත් දින වකවානු ප්‍රමාද වී තිබුණු නිසා අපගෙන් ඇමතිවරයා විමසා සිටියේ ඉතිරි වී ඇති මාස දෙක තුන ඇතුළත පොත් සියල්ල මුද්‍රණය කර දිය හැකිද යන්නයි. 


මා හා සාමාන්‍යධිකාරිවරයා ඒ සඳහා පොරොන්දු වූ අතර කාර්යාලයට පැමිණ ඊට පසුදා සිටම සැලසුම් සකස් කොට විශේෂ කාර්ය සාධක වැඩ සටහනක් ස‌ාද‌ා සේවක පිරිස් නිසි පරිදි යොද‌ා දිවා රෑ පූර්ණ අධීක්ෂණයක් යටතේ ක්‍රියා කොට පෙළපොත් මුද්‍රණය කරවා අධ්‍යාපන අමාත්‍යාංශයට නිසි දිනවලට භාර දුන්නේය. ඒ අනුව මා සභාපතිව සිටි ඉදිරි අවුරුදු දෙක තුන ඇතුළත සියයට අසූවකට වැඩි පෙළපොත් ප්‍රමාණයක් මුද්‍රණය කිරීම සංස්ථාවට ලබා ගැනීමට හැකි වූ අතර එහිලා එම අවුරුදු දෙක තුනක කාල පරිච්ඡේදය තුළ ඇමතිවරුන් වශයෙන් රිචර්ඞ් පතිරණ, සුසිල් ප්‍රේමජයන්ත යන ඇමතිවරුන් හා ජනමාධ්‍ය ඇමතිවරු වශයෙන් මංගල සමරවීර, අනුර ප්‍රියදර්ශන යාපා, අලෙවි මව්ලානා යන ඇමතිවරුන්ගෙන් ලැබුණු පූර්ණ සහාය ද අමතක කළ නොහැක.