IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


ජනාධිපතිතුමියනි, මේ නිලධාරීන් හරියට හසුරුවන්න

කොළඹ නාරාහේන්පිට අභයාරාමාධිපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් කාලයක සිටම මෙරට ජනතාව අතර ප්‍රසිද්ධියට පත්ව ඇත්තේ හෙදියන්ගේ හාමුදුරුවෝ යන අන්වර්ථ නාමයකිනි. ආනන්ද හිමියන් හෙදියන් විසිඅට දහසකට ආසන්න පිරිසක් සාමාජිකත්වය දරන රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ යාවජීව සභාපතිත්වය දැරීම උන්වහන්සේ එවැනි අන්වර්ථ නාමයකින් හැඳින්වීමට මුල්වූ ප්‍රධානතම හේතුවයි. එසේම මෙරට හෙද සංහතියේ ප්‍රගමනයට මුල්වූ වෘත්තීය අයිතිවාසිකම් රැසක්ම ලැබී ඇත්තේද උන්වහන්සේ විසින් දරන ලද උත්සාහයේ ප්‍රතිඵලයක් වශයෙනි.

 

 

කෙසේ වෙතත් එම දිගු කාලීන ක්‍රියාවලියේදී ආනන්ද  හිමියන්ට බොහෝ දුක් හිරිහැරවලට මුහුණ දීමට සිදුවූ අතර එවැනි ඇතැම් අවස්ථාවන්හිදී පොලිස් අත්අඩංගුවට පත්වීමට පවා සිදුව තිබුණේය. එහි ඊළඟ ප්‍රතිඵලය වූයේ සති ගණන් රිමාන්ඞ් භාරයට පත්වීමට පවා උන්වහන්සේට සිදුවීමයි. 


ඒ පිළිබඳව ආනන්ද හිමියන් කියන්නේ එවැනි අවස්ථාවන්හිදී තමන්ට කොතෙක් හිංසා පීඩා සිදුවුවත් අවසානයේදී මෙරට හෙද සංහතියේ යහපත උදෙසා තමන් වහන්සේ ඉදිරිපත් කළ සාධාරණ ඉල්ලීම් වැඩි ප්‍රමාණයක් දිනා ගැනීමට හැකිවූ බවයි.


“මුරුත්තෙට්ටුවේ හාමුදුරුවන්ගේ කට වැඩියි. ඒකයි හැම ආණ්ඩුවක්ම ඉක්මනින් තරහ කර ගන්නේ.”යි උන්වහන්සේගේ විරුද්ධවාදීන් කියතත් ආනන්ද හිමියෝ එම අදහස සපුරා ප්‍රතික්‍ෂේප කරති.


“යම් අසාධාරණයක් දැක්කම මම ඊට විරුද්ධ වෙනවා. එහෙම නැතුව තමන්ට ලැබෙන ලාබ ප්‍රයෝජන සලකාගෙන අසාධාරණය දැක දැකත් කට පියාගෙන ඉන්න එක අපේ මේ බුද්ධ චීවරයටත් අගෞරවයක්....


ආනන්ද හිමියන් එසේ කියන්නේ තමන්ගේ ක්‍රියා පිළිවෙත පැහැදිලි කරමිනි. උන්වහන්සේ බොහෝවිට මත ගැටුම් ඇතිකරගෙන ඇත්තේ රටේ බලසම්පන්න මැති ඇමැතිවරුන් සමගය. එසේත් නැත්නම් විධායක බලතල සහිත ජනාධිපතිවරුන් සමගය.


කාට වුවද කිවයුතු දෑ මූණටම කියා පෑම තමන් වහන්සේ මුල සිටම අනුගමනය කළ පිළිවෙත බව ආනන්ද හිමියෝ පවසති.
1980 දශකයේ මැද භාගයේදී අනුන්ගේ කේලාම් බස් නිසා ආනන්ද හිමියන් සමග දැඩිලෙස උරණවී සිටි ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා ආනන්ද හාමුදුරුවන් සමඟ කිසිම සාකච්ඡාවක් පවත්වන්න එපා. යි මෙරට සෞඛ්‍ය බලධාරීන්ට නියෝග කර තිබුණේය. එහෙත් එක්තරා බරපතළ ගැටලුවකදී අභයාරාමයට දුරකථන ඇමතුමක් දුන් ජනාධිපති ලේකම් ඩබ්ලිව්. ඇම්. පී. බී. මැණික්දිවෙල මහතා ආනන්ද හිමියන්ට ඉතා ගෞරව පූර්වකව කියා සිටියේ අතිගරු ජනාධිපතිතුමා තම පෞද්ගලික නිවසට වැඩම කරන ලෙස උන්වහන්සේට ආරාධනා කරන බවය.


“ඇයි මහත්තයෝ ජනාධිපතිතුමාගෙ ගෙදර දානයක්ද? පිරිතක්ද?”
උන්වහන්සේ එලෙස විමසූ විට අනේ නැහැ හාමුදුරුවනේ, ජනාධිපතිතුමාට ඔබවහන්සේ මුණ ගැසීමට අවශ්‍ය වෙනත් රාජකාරි ප්‍රශ්නයක් සම්බන්ධව කතා කරන්නයි කී මැණික්දිවෙල මහතා ඒ සඳහා තමන්ටම පැමිණ උන්වහන්සේ කැඳවාගෙන යාහැකි බවද කීවේය.


“මහත්තයෝ. ජනාධිපතිතුමාගෙ ගෙදර දානයක් හරි පිරිතක් හරි තියෙනවා නං මම අනිවාර්යෙන්ම වඩිනවා. හැබැයි ඔය කියන විදියේ සාකච්ඡාවකටනං මට එන්න බෑ......”කී ආනන්ද හිමියන් දුරකථනය විසන්ධි කළේ මොනම හේතුවක් නිසාවත් තමන් සමග සාකච්ඡා නොකරන ලෙස ජේ. ආර්. විසින් සෞඛ්‍ය බලධාරීන්ට දී ඇතැයි කියන නියෝගය ගැන ද සඳහන් කරමිනි.


අන්තිමේදි සිදුවූයේ මැණික්දිවෙල මහතාට අභයාරාමයට පැමිණ නොයෙකුත් කරුණු කාරණා කියා ආනන්ද හිමියන් ‘බ්‍රෙමාර්’ මන්දිරය කරා වැඩම කරගෙන යාමය. එහිදී ජේ. ආර්. ජයවර්ධන මහතා තම නිවසේ දොරකඩ අසලටම පැමිණ උන්වහන්සේට වැඳ නමස්කාර කර ඉමහත් ගෞරවාදරයෙන් පිළිගෙන තිබුණේය. එහි ඊළඟ ප්‍රතිඵලය වුයේ තම සගයන්ගේ නොයෙකුත් කියුම්බස්වලට මුළාවී ආනන්ද හිමියන් දෙස සතුරු ආකල්පයෙන් බැලූ ජේ. ආර්. ඉන්පසු උන්වහන්සේ සමග බොහෝ සෙයින්  හිතවත්වීමය.


තවත් අවස්ථාවකදී හෙදියන්ගේ ප්‍රශ්න කීපයක් පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා පෙරවරු 8.00 ට අරලියගහමන්දිරය වෙත පැමිණෙන ලෙස චන්ද්‍රිකා ජනාධිපතිතුමිය රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයට දැනුම් දී තිබුණාය. ඒ අනුව ආනන්ද හිමියන් ඇතුළු සංගමයේ නියෝජිත පිරිස් අරලියගහමන්දිරය වෙත ගොස් තිබුණේ පෙරවරු 7.30ටත් කලිනි.


එහෙත් තමන්ට රාජ්‍ය තාන්ත්‍රික අමුත්තන් කීපදෙනෙකු පිළිගැනීමට ඇති බැවින් එහි පැමිණීමට තරමක් ප්‍රමාද විය හැකියැයි ඇය තමන්ගේ ලේකම්වරයෙකු අත ආනන්ද හිමියන් ඇතුළු නියෝජිත පිරිස වෙත දැනුම් දී තිබුණාය. 


“හොඳයි මහත්තයෝ ඒවත් ඉතින් කළ යුතුම රාජකාරි කටයුතුනේ....” යි කී උන්වහන්සේ ඒ අසල තිබූ සුව පහසු අසුනක හිඳ ගත්තේය. කෙසේ වෙතත් එදින දහවල් 10.30 පමණ වනතුරුම ජනාධිපතිනිය හෙද නියෝජිත පිරිස හමුවීමට නොපැමිණියෙන් පිරිස මඳක් නොසන්සුන් විය.


ඒ සමගම මඳක් වටපිට බලා එහි සිටි ජනාධිපතිනියගේ සම්බන්ධීකරන ලේකම්වරයෙකු තමන් අසලට කැඳවාගත් ආනන්ද හිමියන් “මහත්තයෝ දැන් වෙලාව එකොළහටත් කිට්ටුයි. මෙතන තවත්වෙලා තැග් ගැහි ගැහි හිටියොත් මට දානෙත් වරදිනවා”යි කියමින් ආපසු යාමට තැත් කළේය. එහිදී එම නිලධාරියා උන්වහන්සේ වළක්වා ගත්තේ “ඔබ වහන්සේට දවල් දානය අපි සූදානම් කරලයි තියෙන්නේ.....”යි කියමිනි.


කෙසේ වෙතත් චන්ද්‍රිකා මැතිනිය එදින සාකච්ඡාවට පැමිණෙන විට මධ්‍යහ්නය ද පසුවී තිබුණේය. තමන්ගේ ප්‍රමාදය ගැන සමාව අයැදීමක් පවා නොකළ ඇය සාකච්ඡාවට එක්වූයේ හෙම්බත්ව ගිය ස්වරූපයකිනි.   


මේ අතර ආනන්ද හිමියන් මෙරට හෙද සංහතිය මුහුණ පා සිටි ප්‍රශ්න පිළිබඳව බලවත් උද්වේගයකින් යුතුව කරුණු දැක්වීමට පටන් ගත්තේය.


ඒ සමගම ජනාධිපතිනියට මඳක් ඔබ්බෙන් අසුන්ගෙන සිටි ඇයගේ ලේකම්වරයෙකු  තම දබරඇඟිල්ල දෙතොල් අතර තබා නිහඬවන ලෙස උන්වහන්සේට සඥා කළේය. එමගින් සිදුවූයේ ආනන්ද හිමියන් වඩාත් කෝපයට පත්වීමය.


“ගරු ජනාධිපතිතුමියනි, අප අද උදෑසන සිට මෙම ස්ථානයට ඇවිත් ඉන්නේ ඔබතුමිය සමඟ වැදගත් කරුණු කාරණා කීපයක් පිළිබඳව සාකච්ඡා කිරීමටයි. ඔබතුමියගේ එක එක නිලධාරීන් කියන විදියට කට පියාගෙන ඉන්න අපි සුදානම් නෑ. ඒ නිසා අපිත් එක්ක සාකච්ඡා කරන්න කලින් තමන්ගේ නිලධාරීන් ටික හරියාකාරව මේච්චල් කර ගන්නා ලෙස අපි ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිනවා.


උන්වහන්සේ තරමක් උස් හඬින් එසේ කියා සාකච්ඡාවෙන් ඉවත්ව යාමට සුදානම් වූයේ තවදුරටත් මෙහි රැඳී සිටීම තමන්ගේ වටිනා කාලය නාස්ති කිරීමක් වන බව කියමිනි. ඒ සමගම තිගැස්සී ගිය චන්ද්‍රිකා මැතිනිය තමන් අසල අසුන්ගෙන සිටි එම ලේකම්වරයාට එම ස්ථානයෙන් ඉවත්ව යන ලෙස අණ කළාය. ඔහු එම ස්ථානයෙන් ඉවතට යද්දී මඳක් නිහඬව සිටි ඇය ආනන්ද හිමියන් දෙස බලා සිනාසුණාය.


“තරහ අවසර හාමුදුරුවනේ ඔබවහන්සේ සඳහන් කළ ඔය කරුණු කාරණා මට කෙටියෙන් ලිඛිතව සටහන් කරල දෙන්න. මොකද මට තේරෙනවා ඒවා හැකි ඉක්මනින් විසඳිය යුතු ප්‍රශ්න බව.”


ජනාධිපතිනිය එසේ කියද්දී එම කාරුණික ඉල්ලීමට පිටුපෑමට ආනන්ද හිමියන් ඇතුළු හෙදි නියෝජිත පිරිසට නොහැකි විය.

නිහාල් ජගත්චන්ද්‍ර



අදහස් (0)

ජනාධිපතිතුමියනි, මේ නිලධාරීන් හරියට හසුරුවන්න

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31135 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13267 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10953 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 51 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 884 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 266 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site