පියාගේ ඒකාධිකාරියට එරෙහිව සටන් වැදුණු විවියන්ගේ එකම පැතුම වූයේ කාන්තා නිදහස සුරක්ෂිත කිරීම තුළින් මාතෘ මූලික සමාජ ක්‍රමයක් ගොඩනැගීමයි.
 
යළි මව් රටට ආ විගසම ගම්බද මෙන්ම නගරබද අඩු ආදායම් ලාභී කාන්තාවන්ගේ ස්වයං ආර්ථික රටාව දියුණු කිරීමට පියවර රැසක් ගත්තාය.
 
මේසා විශාල මෙහෙවරක් කරන විවීට වාමාංශික කඳවුරෙන් අපූරු ඇරයුමක් ලැබිණ. එනම් ප්‍රාදේශීය අසුනක් තරග කර දේශපාලනයට පිවිසෙන ලෙසයි. ඒ අනුව ඇයට භාරවූයේ ප්‍රථම නාගරික මැතිවරණය නියෝජනය කරමින් හැව්ලොක් ටවුන් අසුන තරග කිරීමටය.
 
විවියන් පියාගෙන් දුරස්ථ වුවද ඔවුහු හදවත්වලින් එකිනෙකාට ළංව සිටියහ. දිගු කලකට පසු ඔවුන්ට එකිනෙකාට සජීවීව මුණගැසීමේ අවස්ථාව හිමිවිය. ඒ සුහද සාදයකදී නම් නොවේ.
පිලිප් ගුණවර්ධනයන්ගේ පියාගේ අවමගුල් උළෙලේදීය. මුලදී ඈතින් ඈතින් හොරගල් ඇහුලූ පියා සහ දියණිය පසුව එකිනෙකා හා ළෙන්ගතුව කතාබහට පෙළඹුණහ.
 
“තාත්තා කොහොමද සැපසනීප” විවි ඇසුවාය.
 
‘වරදක් නෑ දුවට කොහොමද?’ තවම දරුවෙකු ගැන හිතුවේ නැද්ද?’ පියාගේ පැනය දරුවකු පිළිබඳ ඇයගේ සිහිනය අලුත් කළේය.
 
‘මං දුවට අවවාද දෙන්න යන්නෙ නෑ ඒත්.’
 
දෛවයේ සරදමින් ඈත්වුවද තමාගේ යහපත ගැන පියා සැලකිලිමත් වන අයුරු දැනී විවීට හැඬුම් ආවේය.
 
‘ඡන්දෙට මූණ දෙන්න තියෙනවා. ඊට පස්සේ සේරම හරියාවි’ විවී පිළිතුරු දුන්නාය.
 
ඇත්තෙන්ම නාගරික මැතිවරණය ඔවුන්ට තීරණාත්මක විය. වෙනත් කඳවුරකින් තරග කළද දොස්තර ගුණතිලක යටිසිතින් දියණියගේ ජයග්‍රහණය පැතීය.
 
ඡන්ද ප්‍රතිඵල නිකුත්වන්නට පැයකට පෙර විවීගේ පියා බලවත් ලෙස රෝගාතුර වූයේය.
 
‘විවියන් මගේ දුව මට විශ්වාසයි. එයා දිනනව. ඔහු කියවන්නට විය. තත්පරයෙන් තත්පරය ප්‍රතිඵල නිවේදන කාලය ගලායන්නට විය. එතෙක් විවී දෙස වපර ඇසින් බැලූ නෑ හිතමිත්‍රාදීන්ගේ ද පැතුම වූයේද විවියන්ගේ ජයග්‍රහණයයි.
‘මගේ දුව දිනුම්ද?’ පියා එතෙක් දැඩි උත්සාහයෙන් විවර කරගෙන සිටි නෙත් වසාගනිමින් මිමිණීය. මොහොතකින් හතර වටින්ම ප්‍රීතිගෝෂා රතිඤ්ඤා හඬ ඇසෙන්නට විය. ඒ විවියන් සහෝදරියගේ ජය පතළ කරමිනි. ‘තාත්තේ අපි දිනුම්’ දරුවෝ කෑගහන විට ආඩම්බරකාර පියා සදහටම දිවියෙන් සමුගෙන තිබිණ.
 
විවි පිට පිටම තම අසුන රැක ගත්තාය. 1956 මහ මැතිවරණයට ඇය ඉදිරිපත් වූයේ උතුරු කොළඹ අසුන වෙනුවෙනි. විශිෂ්ට ජයග්‍රහණයක් ලත් විවීට පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමේ වාසනාව හිමිවිය.
 
එහෙත් ඇයට ඊට කලින් 1952 දී කැලණිය අසුන තරග කිරීමටද අවස්ථාව ලැබිණි. එහිදී ඇගේ ප්‍රතිවාදීන් වූයේ ජේ. ආර්. ජයවර්ධන සමග විමලා විජේවර්ධනයි. මෙහිදී විවියන්ට ඡන්ද ප්‍රචාරක කටයුතු සඳහා ඇවිදයාමට නොහැකි වීම ජයග්‍රහණයට විශාල බාධාවක් විය. අසුන පැරදුණද විවි ඊටත් වඩා ලොකු ජයග්‍රහණයක් ලැබුවාය. ඒ මව් පදවියයි. ප්‍රමිලා සිඟිත්තිය ඔවුන් අතරට ආවේ මෙම කාලයේය. සියලු දුක්ඛදෝමනස්සයන් ඇයට අමතක විය.
 
රුසියන් සමාජවාදී කඳවුරේ ලියෝන් ට්‍රොට්ස්කිගේ න්‍යායට විවී ගරු කළාය. එතුළින් ලෝක ත්‍රස්තවාදයට විසඳුම් ලැබේයැයි ඇය විශ්වාස කළාය.
 
1958 දී සිංහල හා දෙමළ භාෂා දෙකටම සමතැනදීම සුදුසුයැයි සමාජවාදය ගෙන ආ මතයට ඇයද එකඟ වූවාය.
දෙමළ ජාතියට පක්ෂ වූවා යැයි චෝදනා ලැබූ ඇයට පාර්ලිමේන්තුව අවසන් වෙද්දී ප්‍රතිවාදී අදහස් දැරූ අයගෙන් ගල්මුල් ප්‍රහාරයක්ද එල්ල වූ අතර ආරක්ෂක අංශ මැදිහත්වී ඇය බේරාගත් බව කියති.
 
කෙසේ වෙතත් විවියන්ට පොදු ජනතාව අතර සුවිශේෂී ආදර ගෞරවයක් හිමි වූයේය.
 
“රතුහැට්ටකාරිය රතු සාරි කාරිය රතුතොප්පිය පැලඳ රතු පෙළපාළියේ ඉදිරිපෙළ ගමන් කළාය”
 
සමාජවාදී පක්ෂවල පතාක යෝධයන් අතර සූරියමලක් මෙන් විවී කැපී පෙණුනාය. අගමැති බණ්ඩාරනායක මහතාගේ උපහාසාත්මක වදන්ද ඇය කෙරේ යොමුවිය.
 
‘අගමැතිතුමාට මගේ යතුර ඕනෑම වේලාවක භාර දෙන්න සූදානම්’ විවී වරක් පැවසුවාය.
 
අගමැති බණ්ඩාරනායක මැතිසබයේදී එම කියමන මතක් කළේ මෙසේය.
 
‘ඒක අහල මට මහ ආඩම්බරයක් දැනුණා. ඒක අසදෘශ ගල් ගුහාවේ දොර අරින අර මන්තරේ නේද?’ කලබලයට පත් විවී එය පත්‍රකාරයන්ගේ මවාපෑමක් බව කීවාය.
 
‘මොනතරම් කනගාටුවක්ද මට නිකං අලිබබා වගේ දැනුනා.’ යැයි සභාව සිනහගන්වමින් අගමැති කීය.
 
දයාරත්න රනේපුර සම සමාජ පක්ෂයේ පළාත් සභා මන්ත්‍රීවරයකුවූ අතර විවියන් ගේ පවුල හා ඔහුගේ පවුල අතර පැවතුණේ දැඩි මිතුරුදමකි. වරක් විවීගේ උපන්දින සාදයට දයාරත්නලාට ඇරයුම් පතක් ලැබිණ. ඇත්තෙන්ම එය යොමුකර තිබුණේ තිලකා රණේපුර වෙතය.
 
‘තිලකා සැමියාද රැගෙන එන්න’ යැයි එහි විය.
 
විවි සැබෑ කාව්‍ය රසිකාවක බව දත් රණේ ඇගේ ඇරයුම පරිදි සුබපැතුම් කවියක් ලියූ මල්කළඹක්ද රැගෙන සාදයට එක්විය.
 
මල් බඳුනකට සිටු මැදුරට ගියේ නැත
රූමතියකගෙ වරලස දැවටුණේ නැත
සුවඳක් දෙමින් පරපුරකට අනාගත
පියකරු විවී මල විකසිත වෙවී ඇත
 
සාදය නැටුමෙන් ගැයුමෙන් හා රසවත් පිළිසඳරෙන් විකසිත වූ නමුත් විවී එම කවිය යළි යළිත් ගයන ලෙස රණේට ඇවිටිලි කළාය. ඇගේ දශක තුනක දේශපාලන ජීවිතය තුළ කිසිවෙකුගෙන් පළිගත් බවක් ශාපකළ බවක් තමන්ගේ අයට පමණක් සැලකූ බවක් සඳහන් වී නොමැත.
 
පෞද්ගලික දේවල් මැතිවරණ වේදිකාව මත දිග නොහළ ඇය දේශපාලනය නිසා ගෙදර වැඩ අතපසු නොකළාය. ඇයම වෙළෙඳපොළේ ඇවිද එළවළු තෝරන අයුරු සුපුරුදු දසුනක් විය. ඇගේ ලොකුම සතුට වූයේ දරු මුනුබුරන් සමග විනෝද වීමයි.
 
පෙරදිග සුරංගනා කතාවලට කුඩා කල සිටම විවී ප්‍රිය කළාය. නව පුරපුරට කියවීමට සුරංගනා කතා පෙළක් හෙළ බසට නැංවීමට විවී සැදී පැහැදී සිටියාය. එය ඉටුවූවාදැයි නොදනිමු.
 
සෑම වසරකම දෙසැම්බර් 31 දින පවත්වන සමස්ත ලංකා සිංහල කවි සම්මේලනයට ඇය නොවැරදීම සහභාගි වූවාය. ඇය වඩාත් ප්‍රිය කළේ පී. මලල්ගොඩ කවියාගේ අපූරු දෙසුම් අසන්නටය. ඒ තුළ ජීවමය දේශපාලන පණිවුඩයක් හා සෞන්දර්යාත්මක කවි රටාවක් සැඟව ඇතැයි විවී කීවාය.
 
වරක් නන්දා මාලනියට හා විවියන්ට උපහාර පිණිස කොළඹ මහජන පුස්තකාලයේදී උළෙලක් පැවැත්විණ. රණේ සහෝදරයා මං ගැන හදපු කවිය එදාට කියන්නට ඕනෑ විවි රණේපුරගෙන් ඉල්ලා සිටියාය. එහෙත් රණේට එය මග හැරිණ.
උළෙලින් සති කිහිපයකට පසු මෙරට අධිරාජ්‍ය විරෝධී අරගලයේ රතු ගිනි සිළුව වන් දිරිය දියණිය විවී ලක්මවගෙන් සදහටම සමුගත්තාය.
 
ඇය නායකත්වය දුන් සමසමාජ කාන්තා සම්මේලනය වෙනුවෙන් ගුණකථනය පැවැත්වූයේ තිලකා රණේපුරය. විවියන්ගේ දේහය වසාගත් රතු ගිනිදලු අහසට නැගෙන විට අවමංගල උළෙල මෙහෙයවූ තිස්ස අබේසේකරයෝ රණේට කිට්ටු විය.
 
‘රණේ අර කවිය කියන්නට හොඳම වෙලාව මේක තමයි’
 
පියකරු විවී මල විකසිත වී ඇති බව එදා එම කවියෙන් පැවසුණත් අද ඒ මල මුකුලිතවී ඇති බව රණේගේ හිතට නැගුණි. ඔහු එම කවි පද මෙසේ වෙනස් කර ගැයීය.
 
 
 
මල් බඳුනකට සිටු මැදුරට ගියේ නැත
රූමතියකගෙ වරලස දැවටුණේ  නැත
සුවඳක් දෙමින් පරපුරකට අනා    ගත
පියකරු විවී මල මුකුලිත වෙලා    ඇත
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
පුෂ්පනාත් ජයසිරි මල්ලිකාරච්චි