විජය ළය දැදුරු කළ  වෙඩි උණ්ඩයේ  කතාව

විජයගේ ඝාතනය පිළිබඳව අප පසුගිය සති කිහිපය තුළ දීර්ඝ වශයෙන් කථා කළ අතර විජය සමග ඉතා සමීප ඇසුරක් තිබූ හිටපු අමාත්‍ය ෆීලික්ස් පෙරේරා මහතා අවමංගල උත්සවය සිදුවූ ආකාරයත් ඊට පසුව ක්‍රියා කළ ආකාරයත් පිළිබඳව අපට විස්තර කළේය.


විජයගේ අවමංගල උත්සවයට අතිවිශාල ජනකායක් සහභාගි වුණා. වෙඩි ප්‍රහාරය හිසට එල්ල වූ නිසා මුහුණ සම්පූර්ණයෙන් විරූපී වී තිබුණා. මෘත දේහයේ හිස කොටස ආවරණය කරලයි තිබුණේ. අවමඟුල් කටයුතු සිදුකළේ 1988 පෙබරවාරි 21 වැනිදා කොළඹ නිදහස් චතුරශ්‍රයේදීයි. අවමංගල උත්සවය මහජන පක්ෂයේ ප්‍රධානත්වයෙන් සංවිධානය කර තිබුණා. එවකට පැවති එක්සත් ජාතික පක්ෂ රජයේ උපරිම සහයෝගයත් හිමිවුණා. අවමංගල උත්සවය සජීවීව රූපවාහිනිය සහ ගුවන් විදුලිය ඔස්සේ විකාශය කෙරුණා. ලංකාවේ අවමංගල්‍ය උත්සවයක් එසේ විකාශනය කළ පළමු අවස්ථාව මෙයයි. කොළඹ පිරෙන්නට මහජන ගඟක් මෙම අවස්ථාවට ගලා ආවා.


විජයගේ දේහය තැන්පත් කර තිබූ ජාතික කලා භවන අසලදී ගිනි තබාගෙන එක් පුද්ගලයෙක් දිවි නසා ගත්තා. ඔහු විජයගේ බොහෝම හිතවත් ළඟින් ඇසුරු කළ අමරසිරි ජයසිංහයි. පොඩි අමරේ නමින් හැඳින්වූ ඔහු බොහෝ අවස්ථාවල විජයගේ රියැදුරු ලෙසද කටයුතු කළ අයෙක්. තවත් විජයට හිතවත් ඡායාරූප ශිල්පියෙක් ආහාර නොගෙන බීමතින් පසුව මිය ගිය බවත් වාර්තා වුණා. විජයගේ මරණය සිදුවූ 1988 පෙබරවාරි 16 වැනිදා භයානක අඟහරුවාදා නැත්නම් අඳුරු අඟහරුවාදා ලෙස අප හැඳින්වූවා.


විජයගේ අවමංගල උත්සවය නිමාවීමෙන් පසු අපි අපේ පක්ෂයේ (මහජන පක්ෂයේ) නියෝජිතයන් එකතුවෙලා විටින් විට සාකච්ඡා පැවැත්වුවා. මොකද විජයගේ අවමංගල්‍ය උත්සව අවස්ථාවේ චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය අත්දෙක ඔසවා ප්‍රතිඥාවක් දුන්නා විජයගේ ගමන ඉදිරියට ගෙනියන බවට. කොහොම වෙතත් එතුමියගේත් දරු දෙදෙනාගේත් ආරක්ෂාව සඳහා අපේ පක්ෂයේ බොහෝදෙනා උපදෙස් දුන්නා විදේශ රටකට ගොස් සිටින්න. අපි මැතිවරණ කටයුතු සියල්ල මෙහෙ සිට සංවිධානය කරන්නම් කියලා ඒ අනුව ප්‍රධාන සංවිධායක ලෙස ඔසී අබේගුණසේකර මහතා කටයුතු කළා. මම සම්පූර්ණයෙන් ගම්පහ දිස්ත්‍රික්කය ආවරණය වන පරිදි සංවිධාන කටයුතු මෙහෙයවූවා.


ඒ කාලයේ තමයි ඔය පළාත් සභා ක්‍රමය ගෙන ආවේ. සංහිඳියාවටත්, ජාතිවාදී අරගලයට පිළිතුරක් ලෙසයි පළාත් සභා ක්‍රමය හඳුන්වලා දුන්නේ. එහිදී එක්සත් ජාතික පක්ෂයයි, මහජන පක්ෂයයි විතරයි එකඟ වුණේ පළාත් සභා ක්‍රමයට. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි, ජනතා විමුක්ති පෙරමුණයි. එයට එකඟ වුණේ නැහැ. අපි එතනදි එකඟ වුණේ කාරණා දෙකක් ඉදිරිපත් කරලා. ඒ දෙක තමයි මේ පළාත් සභා ක්‍රමයට අපි එකඟ වන්නේ පොලිස් බලතල හා ඉඩම් බලතල මධ්‍යම රජයට පවරා ගන්නේ නම් විතරක් එකඟ වනවා කියලා. ඒවා පළාත් සභාවලට ලබාදෙනවාට අපි විරුද්ධ වුණා. මොකද ලංකාව කියන්නේ කුඩා රටක්. ඉන්දියාව වගේ විශාල ප්‍රාන්ත නැහැ. ඉන්දියාවේ තමිල්නාඩුව ගත්තහම ලංකාව වගේ කිහිප ගුණයක් විශාලයි. ඒත් ඒ ප්‍රාන්තයේ සිටින්නේ ලංකාවේ බස්නාහිර පළාතේ සිටින මන්ත්‍රී සංඛ්‍යාවටත් වඩා අඩු සංඛ්‍යාවක්. ඒත් ප්‍රාන්තය විශාලයි. ඒවගේ ප්‍රාන්තයකට පොලිස් බලතල ලබාදීම සාධාරණයි. නමුත් ලංකාවට ඒක ගැළපෙන්නේ නැහැ කියලා අපේ පක්ෂය යෝජනා කළා. ඊට එකඟ වූ නිසා තමයි අපි පළාත් සභා ක්‍රමයට එකඟ වුණේ.


අපිට නිරන්තරයෙන්ම චන්ද්‍රිකා මැතිනිය උපදෙස් දුන්නා. අපිත් විටින් විට ඇයට මෙහේ සංවිධාන කටයුතු පිළිබඳව දැනුම් දෙනවා. පළාත් සභා මැතිවරණයට නාමයෝජනා කැඳවීමට පෙර දවසේ මගේ නිවසේ සියලු අපේක්ෂකයන් කැඳවා සාකච්ඡාවක් පැවැත්වුවා. ඒ සාකච්ඡාවට ඉදිරිපත්වූ අපේක්ෂකයෙක් සාකච්ඡා අවසන් වෙලා අපේ නිවසින් පිටත්වෙලා යද්දී මිනුවන්ගොඩ ප්‍රදේශයේදී වෙඩි තබා ඝාතනය කළා. හිටපු විදුහල්පතිවරයෙකු වූ ටී. අමරදාස මහතාව තමයි මෙසේ ඝාතනය කළේ. අපිට අපේ අපේක්ෂකයන් ගැන ඊට පස්සේ ආරක්ෂාව වෙනුවෙන් විශේෂ අවධානයක් යොමු කරන්න සිද්ධ වුණා. කොහොම වුණත් අපි නාමයෝජනා බාරදීලා මැතිවරණ ප්‍රචාරක කටයුතු ආරම්භ කළා.


පළමු පළාත් සභා මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කළා. බස්නාහිර පළාතේ බලය හිමිවුණේත් එක්සත් ජාතික පක්ෂයට. එහිදී අපි තමයි විපක්ෂය වුණේ. විපක්ෂ නායක ලෙස කටයුතු කළේ බස්නාහිර පළාත් සභාවේ ඔසී අබේගුණසේකර මහතා. මෙහිදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සම්බන්ධ වෙනත් පිරිසක් වෙනමම පක්ෂයක් යටතේ තරඟ කළා. ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත් වුණේ නැහැ. අපේ පක්ෂයේ බොහෝදෙනෙක් ඉතා සතුටු වුණා. අපේ සුළු පක්ෂයක් ජයග්‍රහණය කරලා බස්නාහිර පළාතේ විපක්ෂ නායක ධූරයට පත්වීම පිළිබඳව. ඒත් විජය කුමාරතුංග අපේ හිත මිතුරා සිටියා නම් ප්‍රතිඵල මීට වඩා වෙනස් වෙන්න තිබුණා.


කොහොම වුණත් අපි සුළු පක්ෂයක් වුවත් අපේ බලය පෙන්වූවා. පසුව දෙවන වරට පැවැත්වූ පළාත් සභා මැතිවරණයේදී අපි චන්ද්‍රිකා මහත්මිය ලංකාවට ගෙන්වුවා. ගෙනල්ලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යටතේ තරඟ වදින ලෙස ඇයව ඉදිරිපත් කළා. අපි අපේ පක්ෂයේ සාමාජිකයන් සමග ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයන් එකතුවෙලා තමයි දෙවන වර පැවති පළාත් සභා මැතිවරණයට තරඟ කළේ. මට මතක විදිහට ජනතා විමුක්ති පෙරමුණ ඒ මැතිවරණයටත් තරඟ කළේ නැහැ. මොකද ඔවුන් එදා ඉඳලම මේ පළාත් සභා ක්‍රමයට විරුද්ධවයි සිටියේ. කොහොම වුණත් ඒ මැතිවරණයේදී බස්නාහිර පළාතට චන්ද්‍රිකා මහත්මියව ඉදිරිපත් කරලා අති විශිෂ්ට ලෙසින් ඇයව පළාතේ මහ ඇමැතිනිය ලෙස ඔසවා තැබීමට කටයුතු කළා. මම හිතන්නේ විජය බලාපොරොත්තු වූ සිහිනය අපි ඉෂ්ට කළා කියලා.

 

 


මතු සම්බන්ධයි.

 

 

 

නිශාන්ත කුමාර බණ්ඩාර