එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතාගේ සභාපතිත්වයෙන් ආරම්භ කළ සිංහල මහා සභාවේ පළමු මහා සම්මේලනය පැවැත්වූයේ හලාවත මාදම්පේදී වන අතර, එය ඉතිහාසයට එක්වී ඇත්තේ ‘මාදම්පා සම්මේලනය’ යන නමින්ය.


මාදම්පේ සේනානායක මධ්‍ය මහා විද්‍යාලයට යාබදව පිහිටා තිබූ ශාලාවක මෙම සම්මේලනය 1951 වසරේ ජූලි මස 9 වැනිදා උත්සවාකාරයෙන් යුතුව පවත්වා ඇත. මෙම ශාලාවේ අයිතිකාරයා පසුකාලයක බණ්ඩාරනායක රජයේ කර්මාන්ත හා ධීවර අමාත්‍ය ධුරය දැරූ ජේ. සී. ඩබ්ලිව්. මුණසිංහ මහතාට අයත් වූවකි.


ජේ. සී. ඩබ්ලිව්. මුණසිංහ මහතා සිංහල මහ සභාවේ භාණ්ඩාගාරික පදවිය දැරූ අතර, සම්මේලනය පවත්වනු ලැබ ඇත්තේ එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතාගේ ප්‍රධානත්වයෙනි.


මෙම සම්මේලනය පැවැත්වීමට සංවිධාන කටයුතු සිදු කරනු ලැබ ඇත්තේ මුණසිංහ මහතාය.


ඒ කටයුත්ත සඳහා ප්‍රදේශයේ සිටි උගත් බුද්ධිමත් යතිවරුන් ඇතුළු ප්‍රදේශයේ උගතුන්ගේ ද සහාය නොඅඩුව මුණසිංහ මහතාට ලැබී ඇත. සිංහල භාෂාව රාජ්‍ය භාෂාව ලෙස පත් කරගත යුතුව ඇතැයි කියන යෝජනාව ඇතුළු රටට ජාතියට හිතකර වැදගත් යෝජනා 7ක් පමණ සම්මත කරගෙන ඇත්තේ මාදම්පා සම්මේලනය යනුවෙන් ඉතිහාසයට එක්වී තිබෙන්නේ මෙකී සම්මේලනයේයි.


පසු කාලයක රටේ සංස්කෘතික පෙරළියක් යුග පෙරළියක් ඇති කිරීමට අඩිතාලම වැටුණේ එදා මෙම මාදම්පේ සම්මේලනය මගින් සම්මත කරගත් යෝජනා නිසාය. මාදම්පේ සම්මේලනයේදී සම්මත කරගත් යෝජනා ක්‍රියාත්මක කිරීමට අවකාශය සැලසුණේ එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතාගේ නායකත්වයෙන් 1951 වසරේ සැප්තැම්බර් මාසයේ 2 වැනිදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පිහිටුවා ගැනීමෙන් අනතුරුවය.


එච්. එම්. ධර්මරත්න මහතා පදිංචිව සිටින්නේ මාදම්පේ ඉහළගම ප්‍රදේශයේය. ව්‍යාපාරිකයෙක් වන ධර්මරත්න මහතා මේ වනවිට පසුකරමින් සිටින්නේ ජීවන ගමනේ 84 වැනි සැතපුම් කණුව වන්නේය. මාදම්පේ සහ ඒ අවට ප්‍රදේශවල කොයි කවුරුත් අතරත් ඔහු ප්‍රසිද්ධියට පත්ව සිටින්නේ ධර්මේ අයියා එහෙමත් නැත්නම් ධර්මේ මුදලාලි මහතා කියාය.


ධර්මරත්න මහතා ප්‍රදේශයේ සමිති සමාගම් ගණනාවක විවිධ නිලතල උසුලා ප්‍රසිද්ධ සමාජ සේවකයකු ද වෙයි.


මාදම්පේ සම්මේලනය නමින් ඉතිහාසයට එක්වී තිබෙන මේ සම්මේලනය පැවැති ශාලාව එදා පිහිටා තිබුණේ ද ධර්මරත්න මහතාගේ නිවසට නුදුරිනි. මෙම සම්මේලනයට සහභාගි වීමට ප්‍රධාන අමුත්තා වශයෙන් ආ එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතා ඇතුළු සම්භාවනීය අමුත්තන් පිරිස මහවැව කොස්වාඩියේ සිට මහත් හරසරින් පිළිගෙන පෙළපාලියකින් සම්මේලනය පැවැති මාදම්පේ ශාලාව වෙත රැගෙන ආ පිරිස අතරේ ධර්මරත්න මුදලාලි මහතා ද සිටියේය.


ඒ කාලයේ ධර්මරත්න එහෙමත් නැත්නම් ධර්මේ අයියා අවුරුදු 18ක තරම් වයසේ පසුවන නව යොවුන් වියේ තරුණයෙකි. මේ වනවිට 84 හැවිරිදි වියේ පසුවුවත් ධර්මරත්න මහතාට මාදම්පා සම්මේලනය ගැන හොඳ මතකයක් සිය මතක ගබඩාවේ නොනැසී පවතී.


මාදම්පේ අපේ ගම. ඒ නිසා මේ වගේ ඓතිහාසික සිද්ධියක් මැරෙන තුරාවට අමතක වෙයි ද කියා ඔහු ප්‍රශ්න කරන්නේ ඒ නිසා විය හැකිය.


“ඔය සම්මේලනය පවත්වන කාලයේ මම අවුරුදු 18ක විතර කොල්ලෙක්. ජේ. සී. ඩබ්ලිව්. මුණසිංහ මහත්තයා තමා සිංහල මහා සභාවේ සම්මේලනය මාදම්පේ එයාට අයත් ශාලාවක තියන්න මූලිකත්වය අරගෙන කටයුතු කළේ. මේ වැඬේට මාදම්පේ ශ්‍රී සුදර්ශනාරාමාධිපතිව වැඩ  විසූ මේධානන්ද හිමියන්, ඔන්දිරිස් වෙද මහත්තයා, ඒබ්‍රහම් රාළහාමි, විජේසිංහ රාළහාමි, ගාර්ලින් රාළහාමි, සුබසිංහ රාළහාමි, නෙළුම්පොකුණේ මහින්ද හා ගාමිණී ජයරත්න මහත්තයලාගේ තාත්තා අගිස්තීනු මුදලාලි සහ ගල්මුරුවේ ඊබට් ගුණසේකර මහත්තයා වාගේ අය මාදම්පා සම්මේලනයේ වැඩවලට මුල ඉඳලම ලොකු සහයෝගයක් දුන්නා කියා මට මතකයි. ගුරුවරයෙක් වූ ඉලංග මුදලි මහත්තයාත් මේ සම්මේලනය සාර්ථක කරගන්න ලොකු වැඩ කොටසක් කළා.


නාත්තණ්ඩිය - මහවැව, කොස්වාඩියේ ඉඳලා බණ්ඩාරනායක මහත්තයායි ඒ මහත්තයා එක්ක සම්මේලනයට සහභාගි වෙන්න එන අමුත්තන් පිළිඅරගෙන පාපැදි පෙරහරකින් මාදම්පේ රැස්වීම තියන ශාලාව ළඟට එක්කරගෙන එන්න මුණසිංහ මහත්තයා සූදානම් කරලා තිබුණා. සිය ගණනක් තරුණ, බාල, මහළු අය මේ පාපැදි පෙරහැරට එකතු වී සිටියා. ඒ අය අතර මමත් හිටියා. මගේ සමකාලීන මිතුරන් වන පුඤ්ඤසේන බණ්ඩයියා, ඇල්බට් අයියා එහෙම හිටියා මට මතකයි.


ඒ කාලයේ මාදම්පේ කාර් දෙක තුනකට වඩා තිබුණේ නැහැ. ගාර්ලින් රාළහාමිගේ, අගිස්තීනු මුදලාලිගේ හා ගල්මුරුවේ ඊබට් ගුණසේකර කියන මහත්වරුන්ගේ කාර් 4 මේ පෙළපාලියේ ගියා. රැස්වීම සුදානම් කරලා තිබුණේ මාදම්පේ සේනානායක ඉස්කෝලේ ළඟ තියන මුණසිංහ මහත්තයාගේ ශාලාවේ. බණ්ඩාරනායක මහත්තයාව දැක බලාගන්න එහෙ සිද්ධ වෙන්නේ මොකක්ද කියා දැක බලාගන්න විශාල පිරිසක් එකතු වෙලා හිටියා. පොලිසියේ රාළහාමිලා දෙතුන් දෙනෙක් බැටන් පොලු අරගෙන ආරක්ෂාවට ඇවිත් සිටියා.


මාදම්පේ ප්‍රදේශයටම ඒ කාලයේ යූ.එන්.පී. පවුල් දෙක තුනකට වඩා හිටියේ නැහැ. ඒ පවුල් දෙක තුනේ අය මේ රැස්වීමට ආවේ නැහැ. ඒ ගැන රැස්වීමෙන් පස්සේ වැඩිහිටි අය කතා බහ වුණා කියා ඒ ගැනත් මට මතකයක් තිබෙනවා. සම්මේලනය සාර්ථක කර ගැනීමට ලැබුණු එක ගැන මුණසිංහ මහත්තයා පුදුම සතුටකින් හිටියේ. එදා සිංහල මහා සභාවේ පළමු සම්මේලනය තිබුණ තැන අද පේෂකර්මාන්ත දෙපාර්තමේන්තුවට අයත් ගොඩනැගිල්ලක් තිබෙනවා. ඕලන්ද ඇළෙන් පාරුවල පටවාගෙන එන බඩු මාදම්පේ තොටුපොළෙන් බාගෙන ඉඳලා කරත්තවල පටවාගෙන යද්දී ගැල්කරුවන්ගේ නවාතැන් පොළක් බවට ද ඒ කාලයේ පත්ව තිබුණා.”
සිංහල මහා සභාවේ ප්‍රථම සම්මේලනය ගැන ඡායාරූපයක් එක්ක විස්තර පත්තරවල පසුව පළ කර තිබී ඇත්තේ පොල්ගෙඩි අකුරිනි. ඒ හා සම්බන්ධ තොරතුරු හෙළි කරමින් ධර්මරත්න මහතා සිය මතකය අවදි කරමින් කීවේ මෙවැනි කතාවකි. 


මේ ඒ කතාවයි.


“ඒ කාලයේ අපේ පැත්තේ පත්තර ගත්තු පවුල් හතරකට පහකට වඩා හිටියේ නැහැ. හුඟ දෙනෙකුට අකුරු කියවන්න පුළුවන්කමක් තිබුණේ නැහැ. ඒකයි පත්තර අරගෙන කියෙව්වේ නැත්තේ. මාදම්පේ පොඩි කඩමණ්ඩියක් ඒ කාලයේ තිබුණේ. කඩමණ්ඩියේ පත්තර කඩයක් තිබුණා. එතැනට කට්ටිය එකතු වෙනවා. අකුරු දන්න කෙනෙක් මහ හයියෙන් අනිත් අයටත් ඇහෙන්න පත්තරේ සේරම කියවනවා. මේක හැමදාම උදේට වෙන දෙයක්. සිංහල සභාවේ මාදම්පේ සම්මේලනය ගැන පත්තරවල ඡායාරූප එක්ක ලොකු විස්තරයක් පළකර තිබුණා. කෙනෙක් මහ හඬින් ඒ විස්තර කියවද්දි විස්තරේ අහගන්න ගොඩක් කට්ටිය එදා කඩමණ්ඩියට ඇවිත් හිටියා මට අද වගේ මතකයි.”


ඊට පසුකාලයක මෙච්ච ලොකු ඇබැද්දියක් ගැන ද ධර්මරත්න මහතාගේ මතකයේ තිබේ. හලාවත ආසනය වෙනුවෙන් මැතිවරණයට ඉදිරිපත්ව සිටි ජේ. සී. ඩබ්ලිව්. මුණසිංහ මහතා ඉදිරිපත්ව සිටි නිසා ඔහුට සහාය දැක්වීමට රැස්වීමකට එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතා පැමිණ ඇත.


“බණ්ඩාරනායක මහත්තයාව මාදම්පේ ටවුන් එකේ ඉඳලා බයිසිකල් (පාපැදි) පෙළපාලියකින් හලාවත නගරයට කැඳවාගෙන ගියා. ඒ බයිසිකල් පෙළපාලියටත් මම ගියා. එතකොට බණ්ඩාරනායක මහත්තයාගේ නායකත්වයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පිහිටුවපු මුල් කාලය. රැස්වීම ඉවර වෙලා රෑ බෝ වෙලා ආපසු එනකොට හලාවත වැරවල ලොකු පිරිසක් පොලු මුගුරු තියාගෙන පාර හරස් කරගෙන ගියා පෙළපාලියට ගිහින් එන අයට පහර දෙන්න. ඊබට් ගුණසේකර මහත්තයා එයාගේ මොරිස් මයිනර් කාර් එකෙන් ආවේ. ගුණසේකර මහත්තයා කාර් එකෙන් බැහැලා ගිහින් එයා ළඟ තිබුණ පිස්තෝලය අතට අරගෙන වෙඩි තියන්න හැදුවා විතරයි, අපිට ගහන්න හිටිය කට්ටිය පැනලා දිව්වා.”


ඒ කාලයේ වැරවල යූ.එන්.පී බලකොටුවක් යැයි ද ධර්මරත්න මහතා පවසයි.