මහනුවර දේශපාලනය විශේෂිතය. ඊට ප්‍රධාන වශයෙන් හේතුභූත වූයේ කාලානුරූපව පැවැත්වෙන මහ ඡන්දයෙන් ජයග්‍රාහකයාට වැඩිකලක් මන්ත්‍රී පදවියේ ‘රජවීමට’ ඉඩ ප්‍රස්තාවක් නොදීමය.
 
කෙසේ වුවද අනුක්‍රමයෙන් බෝගම්බර වැව ප්‍රමාණයෙන් කුඩාවට පත්වෙමින් ආවද, මහනුවර සංවර්ධනය වේගවත් වෙමින් දැකුම්කලු නගරයක් බවට පත් වූයේ, ශීඝ්‍රවය.
 
රාජ්‍ය මන්ත්‍රණ සභා යුගයේදී මහනුවර වශයෙන් වෙන් වූ ඡන්ද කොට්ඨාසයට මහනුවර නගරය, යටිනුවර හා හේවාහැට අයත් වූ නමුත් 1947දී යටිනුවර කඩුගන්නාව ආසනයටද හේවාහැට ගලහ ආසනයටද යා කෙරිණ.
1931 ප්‍රථම රාජ්‍ය මන්ත්‍රණ සභාවට මහනුවරින් ප්‍රබල අපේක්ෂකයන් දෙදෙනෙකු ඉදිරිපත් වූ අතර එක් අයෙකු වූයේ ලංකා ජාතික සංගමය පිහිටුවීමෙහිලා මූලාරම්භක පතාක යෝධයෙකු වූ නීතිඥ ජෝර්ජ් ඊ. ද සිල්වාය. අනෙකා ප්‍රකට සමාජ සේවකයෙකු වූ ජෙරාඞ් විජේකෝන්ය. තුන්වැනියෙක්ද ඉදිරිපත්ව සිටි අතර ඔහු නමින් ඇෆ්. පී. සේනාරත්නය.
 
ඡන්ද ප්‍රතිඵලය මෙසේ විය.
ජෝර්ජ් ඊ. ද සිල්වා ඡන්ද  10,444
ඇෆ්. පී. සේනාරත්න ඡන්ද 5346
ජෙරාඞ් විජේකෝන් ඡන්ද 4652
වැඩි ඡන්ද 5098
 
1936 පැවති දෙවැනි රාජ්‍ය මන්ත්‍රණ සභා මැතිවරණයේදී ද මහනුවර නගරයේ ප්‍රකට ව්‍යාපාරිකයෙකු මෙන්ම සමාජ සේවකයෙකු වූ ඇල්බර්ට් ගොඩමුන්නේ ඇතුළු තිදෙනෙකු පරාජයට පත්කරවමින් ජෝර්ජ් ඊ. ද සිල්වා යළිත් ජය ගත් අතර මන්ත්‍රී ඩබ්ලිව්. ආතර් ද සිල්වා 1942 දී ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ සෞඛ්‍ය ඇමැති ධුරයට ද තෝරා ගන්නා ලදී.
 
සෝල්බරි ආණ්ඩු ක්‍රමය යටතේ පැවැති පළමුවන පාර්ලිමේන්තු මහමැතිවරණය ඉලක්ක කරගෙන ආරම්භ කරන ලද එක්සත් ජාතික පක්‍ෂයේ උපසභාපති පදවියටද පත් කර ගනු ලැබූ ජෝර්ජ් ඊ. ද සිල්වා 1947 දී එක්සත් ජාතික පක්‍ෂයෙන් තරග කළේ ස්වාධීනව ඉදිරිපත් වූ ඇල්බර්ට් ගොඩමුන්නේ ප්‍රබල ප්‍රතිවාදියා වශයෙන් සලකා ගෙන වුවත් නාමයෝජනා භාරගැනීමේ අවසන් දිනයට ආසන්නව මහනුවර කච්චේරියේ ලිපිකරු සංගමයේ සභාපති ධුරය දැරූ ලිපිකරුවකු වන ටී. බී. ඉලංගරත්න වාමාංශික පක්‍ෂවල ද සහාය ඇතුව ඉදිරිපත් වී තිබීම අනපේක්‍ෂිත අභියෝගයක් විය. මෙම තරගය ඉතා තියුණු මුහුණුවරක් ගත් අතර ජෝර්ජ් ඊ. ද සිල්වා ජයගත්තේ 205 ක් වැනි සුළු ඡන්ද ගණනකිනි.
 
පළමු ඩී. ඇස්. සේනානායක රජයේ කර්මාන්ත හා ධීවර ඇමැති වූ ජෝර්ජ් ඊ. ද සිල්වා සෞඛ්‍ය ඇමැති වශයෙන් කළ දස්කම් පෙන්වන්නට අවස්ථාවක් නොලබා  ඇමැති පදවියෙන් පමණක් නොව මහනුවර මන්ත්‍රී ධුරයෙන්ද ඉවත් වීමට සිදුවූයේ තම චරිතය පිළිබඳවද සිල්වාගේ ආධාරකරුවන් අයථා චෝදනා නැගී යයි ඉලංගරත්න ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කරන ලද පෙත්සමේ කරුණු සලකා බැලීමෙන් අනතුරුව 1948 පෙබරවාරියේදී ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දෙනු ලැබූ තීන්දුවට අනුවය. මෙසේ තම ඡන්ද බලය අහිමි වූ ඔහු 1950දී දිවංගත විය.
 
මෙය මහනුවරට වැටුණු පළමු ඡන්ද පෙත්සම විය.
 
අනතුරුව පැවති අතුරු මැතිවරණයට වාමාංශික පක්‍ෂවල සහාය ද ඇතුව ටී. බී. ඉලංගරත්න ඉදිරිපත් වෙද්දී ජෝර්ජ් ඊ. ද සිල්වාගේ පුත් මහනුවර හිටපු නගරාධිපතිවරයෙකු වූ ප්‍රෙඞ් ඊ. ද සිල්වා ද ස්වාධීනව ඉදිරිපත් විය. මෙම අතුරු මැතිවරණයේ ජය ටී. බී. ඉලංගරත්නට හිමිවිය.
 
එහෙත් ප්‍රෙඞ් ඊ. ද සිල්වාගේ චරිතය පිළිබඳව අසත්‍ය ප්‍රකාශ කළැයි චෝදනා කොට ඉලංගරත්නගේ පත්වීමට එරෙහිව ඉදිරිපත් කරන ලද ඡන්ද පෙත්සම අනුව ඉලංගරත්නට අසුන අහිමි විය. තරග කිරීමටද තහංචි වැටිණි.
මෙය මහනුවරට වැටුණු දෙවැනි ඡන්ද පෙත්සම විය.
 
නැවත පැවති අතුරු මැතිවරණය සඳහා පෙර පරිදිම වාමාංශික සහාය ලත් ටී. බී. ඉලංගරත්නගේ බිරිඳ තමරා කුමාරි ඉලංගරත්න ඉදිරිපත් වූ අතර එක්සත් ජාතික පක්‍ෂයෙන් ඉදිරිපත් වූයේ ඒ. සී. එල්. රත්වත්තේය.
ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා, පීටර් කෙනමන්, අයි. ඇම්. ආර්. ඒ. ඊරියගොල්ල, ඩබ්ලිව්. දහනායක, තමරා කුමාරි ඉලංගරත්නටත්, ඇස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක, ඩඞ්ලි. සේනානායක රත්වත්තේටත් වහ වැටී උදව් කළ අතර අවසානයේදී ඉතා තියුණු තරගයක් වූ මෙයින් තමරා කුමාරි ඉලංගරත්න වැඩි ඡන්ද 10ක් වැනි ඉතා සුළු ගණනකින් ජය ගත්තාය. මේ සඳහා මහනුවරට ආවේණික පුරුද්දක් වූ ඡන්ද පෙත්සමක් ඉදිරිපත් වූවද එය නිෂ්ප්‍රභා විය.
 
මෙය මහනුවරට වැටුණු තුන්වැනි ඡන්ද පෙත්සමයි.
 
1952 මහ මැතිවරණයට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයෙන් ඉදිරිපත් වූ තමරා කුමාරි ඉලංගරත්නව, එක්සත් ජාතික පක්‍ෂයේ ඊ. ඇල්. සේනානායක විසින් පරාජය කරන ලද නමුත් ඔහුට විරුද්ධව ඉදිරිපත් කරන ලද ඡන්ද පෙත්සමෙන් අසුන අහිමිවිය. එය මහනුවරට වැටුණු සිව්වැනි ඡන්ද පෙත්සමයි.
 
පසුව පැවැති අතුරු මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ පියසේන තෙන්නකෝන් හා එක්සත් ජාතික පක්‍ෂයෙන් ප්‍රෙඞ් ඊ. ද සිල්වාත් තරග කළ අතර ප්‍රෙඞ් ඊ. ද සිල්වා ජය අත්කර ගත්තේය.
 
ජෝර්ජ් ඊ. ද සිල්වා පියාගෙන් ඇරඹි මහනුවර ඡන්ද පෙත්සම් පෙරහර අවසන් වූයේ ඔහුගේ පුතා වන ප්‍රෙඞ් ඊ. ද සිල්වා ජය ගැනීමෙන් පසුවය. 07 වසරක් තිස්සේ මහනුවර ගිනියම් කළ පෙත්සම් ගින්න එමගින් නිවී යෑමෙන් පෙත්සම් ඉතිහාසයටද තිත තැබිණ.
 
 
 
 
 
 
 
එල්. ඩබ්ලිව්. පුෂ්පකුමාර