මේ දිනවල මාධ්‍යවල පළවෙන වාර්තා අතරින් ප්‍රධාන තැනක් ගන්නේ ඇමතිවරුන් ඉවත් කිරීම් ගැනය. මධ්‍යම ආණ්ඩුවේ ඇමතිවරුන් ඉවත් කෙරේ. පළාත් සභා ආණ්ඩුවල අමාත්‍යවරුන් ඉවත් කෙරේ. සවිස්තරව වටහා ගන්නේ නම් පසුගිය සීමිත දින ගණනක් තුළ ‘එපා වෙන තරමට’ ඇමතිවරුන් අස්කෙරුණ බව දේශපාලන ඉතිහාසය ගැන හොඳින් දන්නා මගේ දුම්රියේ මිතුරෙක් කීවේය. ඔහු කියන පරිදි මේ සිදුවීම් සමාන කළ හැක්කේ අගමැති දහනායක මහතා රාජ්‍ය නායකත්වය දැරූ 1959 සැප්තැම්බර් 26 - 1960 මාර්තු 20 යන කාල පරාසයටය. ඔහු කී අන්දමට මේසා විශාල විශ්වාසභංග යෝජනා සංඛ්‍යාවක් එක දිගට ඉදිරිපත් වූ යුගයක් වන්නේ ද ඒ සමයයි. ඒ නිසා මේ පිළිබඳව සොයා බැලීමට මටද සිත්විය. ඒ අනුව සිතාබැලීමේදී පෙනී ගිය සත්‍යය වූවේ මෙම අවස්ථා දෙකේ බොහෝ දුරට සමානකමක් තිබෙන බවයි.


වඩාත් දුර ඈත අතීතයට නොගොස් ආසන්නයෙන් පටන් ගතහොත් මෙයට ටික දිනකට පෙර අධිකරණ සහ බුද්ධශාසන ඇමති විජයදාස රාජපක්ෂ මහතා ඇමති පදවියෙන් ඉවත් කෙරුණි. එය ඉමහත් ආන්දෝලනාත්මක සිදුවීමක් විය. විදේශ කටයුතු භාර ඇමතිව සිටි රවි කරුණානායක මහතා ඉල්ලා අස්වූවේය. එය නෙරපා හැරීමක් නොවුනද එයින් කියවුණු කතාව බොහෝ දෙනෙකුට වැටහුනි. සංචාරක ප්‍රවර්ධන සහ ක්‍රිස්තියානි කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා ඉවත් කෙරුණි.

 

 

තවත් එවැනි බොහෝ දේ සිදුවිය. පසුගිය සතියේ ඉතා ආසන්නයේදීම මාධ්‍ය වාර්තා පළවූයේ දකුණු පළාත් සභාවේ ක්‍රීඩා, යෞවන කටයුතු, ග්‍රාම සංවර්ධන, සංස්කෘතික සහ කලා කටයුතු, සමාජ සුබසාධන හා ළමාරක්ෂක සේවා, වනිතා කටයුතු, ගෘහ ආර්ථික ප්‍රවර්ධන හා ඉදිකිරීම් සහ මිනිස් බල ඇමති වීරසුමන වීරසිංහ, බස්නාහිර පළාත් සභාවේ සභානායක සුනිල් ජයමිණි. ආණ්ඩු පක්ෂයේ සංවිධායක ගුණසිරි ජයනාත්. පළාත් ගිණුම් කාරක සභාවේ සභාපති මෙරිල් පෙරේරා යන මහත්වරු එම තනතුරුවලින් ඉවත් කර ඇති බවටය. එම සිදුවීම සමහර මාධ්‍ය වාර්තා කළේ ‘ඇමති රොත්තක් දොට්ට” යන සිරස්තල සහිතවය. ඒ නිසා මෙය කුහුල දනවන සිදුවීමක් වනවාට සැක නැත.


මෙසේ ඉවත් කර ඇති සියලු දෙනාම පාහේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයන් බවට සැකයක් නැත. විජයදාස රාජපක්ෂ මහතා ඉවත් කරණ අවස්ථාව වන විට එක්සත් ජාතික පක්‍ෂයේ සාමාජිකයෙකු වශයෙන් කටයුතු කළත් ඔහු එම පක්‍ෂයට සම්බන්ධ වූවේ ඉතා මෑතකදීය. නෙරපා හැරීමට ආසන්නයේ ඒ මහතාට එරෙහිව නැගුණු චෝදනා අනුවද මෙය තහවුරු වූ බව සිහිපත් වේ. දහනායක පාලන සමයේ රජයෙන් ඉවත් කරන ලද්දේත් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ඇමතිවරුන් සහ උපඇමතිවරුන් වීමද සුවිශේෂත්වයකි. බලයට පත්වන විට විජයානන්ද දහනායක මහතාද ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සාමාජිකයෙකි. එපමණක් ද නොව ඔහු එම පක්‍ෂයේ නායකයා ද විය.


දහනායක මහතාගේ දීර්ඝකාලීන දේශපාලන භූමිකාව අතිශයින්ම විචිත්‍රවත් වූවකි. ඉතා ප්‍රගතිශීලී වාමාංශිකයකු ලෙස සිය දේශපාලන ගමන ඇරඹූ ඒ මහතා ප්‍රථමයෙන්ම ගාල්ල නාගරික මන්ත්‍රීවරයෙකු ලෙස පත්වීම් ලැබීය. ඉන්පසු ගාල්ල නගරාධිපතිවරයා ලෙස පත් වූ ඔහු දුගී දුප්පත් ජනයා සමග උරෙනුර ගැටී සේවය කරන අතර ඇසුරු කළේ ද පීඩිත ජනතාව පමණි. නිදහසට පෙර සමය වූ මෙකල ප්‍රධාන නගරයක පුරපතිවරයා යනු ඉතා සම්භාවනීය සහ ගරු කටයුතු පුද්ගලයෙක් වූවේය. එහෙත් දහනායක මහතා එසේ ක්‍රියා කළේ නැත. ගාල්ලේ මුහන්දිරම් තනතුරක් දැරූ සිය පියාගේ සමාජ පන්තිය පවා ඔහු ගණනකට ගත්තේ නැත. ඔහුගේ වෘත්තීය ජීවිතය ගතකළේ ගුරුවරයකු වශයෙනි. 1943 දී බිබිලේ ආසනය සඳහා පැවති අතුරු මැතිවරණයෙන් ජයගෙන රාජ්‍ය මන්ත්‍රණ සභාවට පත්වීමට මෙම දක්ෂ දේශපාලනඥයාට හැකියාව ලැබුණි. එම මැතිවරණ සටනේදී ඔහු අනුගමනය කළ දේශපාලන උපාය උපක්‍රම අදටත් රසවත් වෘත්තාන්තයක් ලෙසින් ජනතා සිත්සතන්වල රැඳී පවතී.


ඔහු බිබිල කොට්ඨාසයේ මැතිවරණ ව්‍යාපාරය ගෙන ගියේ තනිවමය. වර්තමාන මැතිවරණ ආසන ගණනාවකින් සමන්විත පහළ ඌව එදා බිබිල ආසනයට අයත් වූ බව කියනු ලැබේ. ප්‍රදේශය විශාල වුවත් නිවාස තිබුණේ  ස්වල්පයකි. ජනගහනයද ඉතා තුනීව පැවතුනි. එසේ වුවත් දහනායක මහතා මේ සෑම නිවසක් පාසාම ඡන්දය ඉල්ලමින් පයින්ම ඇවිද්දේය. උදේම පටන් ගන්නා මෙම දුෂ්කර ක්‍රියාව ඉරමුදුන්වන තුරු ඔහු සිදු කරයි. දහවල් වන විට ජනයා ස්නානය සඳහා රැස්ව සිටින ළිඳක් හෝ තොටුපළක් වෙත ගොස් තමා ඇඳගෙන සිටින ජාතික ඇදුම් කට්ටලය සෝදා වේළෙන තුරු අමුඩයකින් සැරසී ගැමියන් සමග කතාබස් කරමින් කාලය ගෙවයි. තමා දුප්පතාගේ නියෝජිතයා බව ක්‍රියාවෙන්ම ඔප්පු කළේය. ගාල්ලේ සිට පැමිණි නාඳුනන අමුත්තා ප්‍රදේශයට සම්බන්ධකම් ඇති ධනවත් අපේක්‍ෂකයා පරාජයට පත් කළේය. දිනපතාම නොවරදවාම ඔහු මෙම සිරිත අනුගමනය කළ බව බිබිල ප්‍රදේශයේ විසූ මගේ වැඩිහිටි ඥතීන් මා සමග පවසා ඇත.

 

දහනායක මහතාගේ දීර්ඝකාලීන දේශපාලන භූමිකාව අතිශයින්ම විචිත්‍රවත් වූවකි. ඉතා ප්‍රගතිශීලී වාමාංශිකයකු ලෙස සිය දේශපාලන ගමන ඇරඹූ ඒ මහතා ප්‍රථමයෙන්ම ගාල්ල නාගරික මන්ත්‍රීවරයෙකු ලෙස පත්වීම් ලැබීය. ඉන්පසු ගාල්ල නගරාධිපතිවරයා ලෙස පත් වූ ඔහු දුගී දුප්පත් ජනයා සමග උරෙනුර ගැටී සේවය කරන අතර ඇසුරු කළේ ද පීඩිත ජනතාව පමණි. නිදහසට පෙර සමය වූ මෙකල ප්‍රධාන නගරයක පුරපතිවරයා යනු ඉතා සම්භාවනීය සහ ගරු කටයුතු පුද්ගලයෙක් වූවේය.

 


1947 ප්‍රථම පාර්ලිමේන්තු මැතිවරණයේදී ලංකා සමසමාජ පක්‍ෂයේ  අපේක්ෂකයා වශයෙන් ගාල්ල ආසනයට තරග වැදී ජයගත් ඔහු පසුව මතගැටුමක් නිසා එම පක්‍ෂයෙන් ඉවත් කරන ලදී. ඉන් පසු භාෂා පෙරමුණ නම් සංවිධානයක් ගොඩනගාගෙන සිංහල පමණක් රාජ්‍ය භාෂාව විය යුතු යැයි පැවති ජනප්‍රිය මතවාදයට අනුව කටයුතු කළේය. එක්දහස් නවසිය පනස් හයේදී මෙම භාෂා පෙරමුණ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සහ පිලිප් ගුණවර්ධන මහතාගේ නායකත්වයෙන් පැවති විප්ලවකාරී සමසමාජ පක්‍ෂය සමග එක්ව මහජන එක්සත් පෙරමුණ නමැති දේශපාලන සන්ධානය ගොඩනැංවීම සඳහා ක්‍රියාකාරී දායකත්වය දැක්වීය. එකී මැතිවරණයෙන් එම සන්ධානය විශිෂ්ට ජයග්‍රහණයක් ලබාගැනීමට සමත් වූවේය. එහිදී එම රජය පිහිටුවීමේදී විජයානන්ද දහනායක මහතාගේ සුවිශේෂී දේශපාලන ජ්‍යෙෂ්ඨත්වය සලකා බැලීමට බණ්ඩාරනායක අගමැතිතුමාට සිදුවිය බණ්ඩාරනායක මහතා සහ පිලිප් ගුණවර්ධන මහතාත්, ආර්.ජී. සේනානායකත් හැරුණු විට රාජ්‍ය මන්ත්‍රණ සභාව නියෝජනය කිරීමේ මහජන වරමින් පත් වූ අයෙකු ආණ්ඩුව තුළ සිටියේ දහනායක මහතා පමණකි. ඒ නිසා අධ්‍යාපන ඇමති පදවිය ඔහුට පිරිනැමීමට අගමැතිවරයා කටයුතු කළේය. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ආරම්භකයකු 

හා 1952 පත් වූ ප්‍රථම මන්ත්‍රී කණ්ඩායමට අයත් වූ සී.පී. ද සිල්වා මහතා සභානායක ධුරයට පත්කෙරුණු අතර දහනායක මහතා රජයේ තෙවැන්නා තරමට බලවතෙකු වූවේය. රජයේ කටයුතු ආරම්භ කිරීමෙන් වැඩි කලක් ගතවීමටත් මත්තෙන් කල්ලිවාදයක් ඇරඹීම නිසා ආණ්ඩුව කොටස් දෙකකට බෙදුණි. වම සහ දකුණ වශයෙනි. කුඹුරු පනත සහ සමුපකාර බැංකු පනත ඉදිරිපත් කිරීම ක්‍රියාත්මක කිරීමට යාම නිසා පිලිප් ගුණවර්ධන මහතා රජයේ විවිධ කොටස්වල අප්‍රසාදයට ලක්ව සිටියේය. ලංකාව රතු රටක් කිරීමේ ක්‍රියා පිළිවෙතක් අනුගමනය කරමින් සිටින බවට සමහර ඇමති සගයෝ ඔහුට චෝදනා කළහ. අමාත්‍යවරු වැඩි පිරිසක් ඔහුට විරුද්ධව නැගී සිටියහ. කෘෂිකර්ම හා ආහාර ඇමති පිලිප් ගුණවර්ධන මහතාත් ඔහුගේ පක්‍ෂය නියෝජනය කළ අනෙක් ඇමතිවරයා වූ පී.එච්. විලියම් ද සිල්වා මහතාත් ඇමති මණ්ඩලයෙන් ඉවත් කරනතුරු තමන් ඇමති මණ්ඩලය වර්ජනය කරන බව ඇමතිවරු අති බහුතරයක් කියා සිටියහ. ඔවුහු ඒ අනුව ක්‍රියා කළහ. අගමැති බණ්ඩාරනායක මහතාට පක්‍ෂව සිටියේ ඇමතිවරුන් දෙදෙනකු පමණි. ඔහු අසරණ විය. 

අගමැතිවරයාට විරුද්ධ කණ්ඩායමේ නායකයා ලෙස කැපී පෙනුණේ අධ්‍යාපන ඇමති දහනායක මහතාය. 1959 ශ්‍රී.ල.නි.ප. කුරුණෑගල සම්මේලනයේ දී ඔහු නායකත්වයට පත්කර බණ්ඩාරනායක මහතා නෙරපා දැමීමට පක්‍ෂයේ ප්‍රබල පිරිසක් කටයුතු කළද එම ප්‍රයත්නය අසාර්ථක විය. අගමැතිවරයා ඝාතනය කිරීමේ සැලසුම් දියත් වූවේ ඒ අනුවය. දිනක් සතියේ කැබිනට් මණ්ඩල රැස්වීම පැවැත්වෙමින් තිබියදී අගමැතිවරයාට නයි විස යෙදූ කිරි වීදුරුවක් පානය සඳහා ලබා දුන් බව කියනු ලැබේ. එහෙත් එය පානය කළේ ඔහු අසලම වාඩි ගෙන සිටි සභානායක සී.පී. ද සිල්වා මහතාය. ඔහු බරපතළ ලෙස රෝගී බවට පත් වූ අතර ප්‍රතිකාර සඳහා එංගලන්තයේ රෝහලකට ඇතුළත් කරන ලදි. 


1959 සැප්තැම්බර් අවසානයේ සිරිත්පරිදි එක්සත් ජාතීන්ගේ මහා සමුළුවේ වාර්ෂික සැසි වාරය පැවැත්වීමට නියමිතව තිබුණි. එම සභාවාරය ඇමතීම සඳහා ලංකාවේ අග්‍රාමාත්‍ය ඇස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතාද නිව්යෝක් බලා යාමට සූදානම්ව සිටියේය. ඔහු පිටත්ව යාමට නියමිත වූවේ සැප්තැම්බර් විසි අටවැනිදාය. ඔහු නිව්යෝර්ක් ගොස් ආපසු පැමිණෙනතුරු ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථාවේ විධිවිධාන අනුව වැඩබලන අගමැතිවරයෙකු පත් කළ යුතුවිය. බණ්ඩාරනායක මහතා විසින් එම වැඩ බැලීම සඳහා නම් කරනු ලැබුවේ ඩබ්ලිව්. දහනායක ඇමතිවරයාය. අසනීපයෙන් පෙළෙමින් ලන්ඩනයේ ප්‍රතිකාර ගනිමින් සිටි නිසා සභානායක සී.පී. ද සිල්වා මහතාට එම වටිනා අවස්ථාව අහිමි විය.


ගතවෙමින් පැවතියේ ඉතා තීරණාත්මක කාල වකවානුවකි. බණ්ඩාරනායක අගමැතිවරයා මරා දැමීමට කල් යල් බලමින් සැලසුම් කරමින් සිටි කුමන්ත්‍රණකරුවෝ මේ මොහොතේ ක්‍රියාත්මක වූහ. 1959 සැප්තැම්බර් 25 වැනිදා පෙරවරුවේ අගමැති නිවසට පැමිණි තල්දූවේ සෝමාරාම නමැති චීවරධාරී මිනීමරුවාගේ පිස්තෝලයෙන් නිකුත් වූ වෙඩි උණ්ඩවලින් මාරාන්තික තුවාල ලැබූ අගමැතිතුමා පසුදා මිය ගියේය. ඒ වනවිටත් අගමැති ධුරයේ වැඩ බැලීමට බණ්ඩාරනායක මහතා විසින්ම තෝරාගෙන සිටි දහනායක මහත්මයාගේ නායකත්වය පිළිගැනීමට ඇමති මණ්ඩලය තීරණය කළෝය. ඔහු අගමැතිවරයා ලෙස සර් ඔලිවර් ගුණතිලක මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.

මාසයක් ගතවීමටත් පෙර පළාත් පාලන සහ නිවාස කටයුතු පිළිබඳ වැඩබලන අමාත්‍යව සිටි  ඇම්.බී.ඩබ්ලිව්. මැදිවක, ආහාර සහ වෙළඳ ඇමති ආර්.ජී. සේනානායක, කර්මාන්ත සහ ධීවර කටයුතු අමාත්‍ය ජේ.සී.ඩබ්ලිව්. මුණසිංහ, රජයේ වැඩ ඇමති හෙන්රි අබේවික්‍රම යන ඇමතිවරු 1959 ජනවාරි 06 වැනි දින මධ්‍යම රාත්‍රීයේදී නෙරපා හරින ලදහ.

 

 


‘බලය යනු ඇස් අන්ධ කරවන හලාහල විසක්යැයි ස්කොට්ලන්තයේ ඩන්කන් රජුගේ මුවින් මහා කවි ශේක්ස්පියරයෝ කියවති. එය සත්‍ය බව දහනායක මහතා තම දේශපාලන හැසිරීමෙන් පසක් කළේය. තමන් නාකත්වය දරන ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ පිළිගත් ප්‍රතිපත්තියට එරෙහිව යමින් බොහෝ වැඩ කටයුතු සිදු කළේය. බණ්ඩාරනායක ඝාතනය පිළිබඳ පරීක්ෂණ විධිමත්ව සිදු කිරීමට ඔහු ඉඩ නොදෙන්නේ යැයි එවකට විපක්‍ෂ නායක ආචාර්ය ඇන්.ඇම්. පෙරේරා මහතා දැඩි ලෙස චෝදනා කළේය. ඒ පිළිබඳව විශ්වාසභංග යෝජනා කීපයක්ම ඉදිරිපත් විය. අලුතෙන්, අභ්‍යන්තර ආරක්ෂක අමාත්‍යාංශය නමින් ආයතනයක් පිහිටුවන ලදුව එහි ලේකම්වරයා ලෙස හිටපු උපපොලිස්පතිවරයෙකු ලෙස සේවය කළ සිඞ්නි ද සොයිසා මහතා පත් කළේය. එය ශ්‍රී.ල.නි.ප. මන්ත්‍රීවරුන් බොහෝ දෙනෙකුගේ දැඩි විවේචනයට හා විරුද්ධත්වයට හේතුවිය. එයට පාදකවූවේ බණ්ඩාරනායක මිනීමැරුම් නඩුවේ විත්තිකරු ලෙස අත්අඩංගුවට පත්ව සිටි ඩිකී සොයිසා මහතා සිඞ්නි සොයිසා මහතාගේ සහෝදරයා වීමයි. මෙසේ පටන්ගත් අර්බුදය දිගින් දිගටම ගියේය. නඩුවේ ප්‍රධාන විත්තිකරු වූ කැලණිය පන්සලේ නායක හිමි වූ බුද්ධරක්ඛිත කුරුණෑගල සම්මේලනයේදී බණ්ඩාරනායක මහතා පක්‍ෂ නායකත්වයෙන් පලවා හැර දහනායක මහතා එම පදවියට ගෙන ඒමට සටන් කළ ප්‍රධානම ආධාරකරුවීමද මතභේදයට ලක් වූ කරුණක් විය. මෙම පසුබිම හමුවේ දහනායක මහතාගේ පාලනය ශ්‍රී.ල.නි.පක්‍ෂයට ආදරය කළ නායකයන්ගේ සහ බිම්මට්ටමේ බහුතරයකගේ ප්‍රසාදයට හේතුවූවේ නැත. මෙම තත්ත්වය අවබෝධකර ගත් දහනායක මහතා තමාගේම වූ පක්‍ෂයක් ගොඩනැගීමටත් එමගින් ඉදිරි මැතිවරණයට තරග කිරීමටත් තීරණය කළේය. මේ බව දැන් වූ විට එම රජයේ ඇමතිවරු වික්ෂිප්ත භාවයට පත්වූහ. ඔවුහු එම යෝජනාව එකහෙළා ප්‍රතික්‍ෂේප කළහ. එක දිගට එන විශ්වාසභංග යෝජනා මාලාව  රජයේ පැවැත්මට මහත් තර්ජනයක් විය. රජයට වැඩි ඡන්දය අහිමි වී ඇති බව පෙනෙන්ට තිබුණි. දහනායක මහතා ලංකා ප්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂය නමින් තමාගේම වූ නව දේශපාලන පක්‍ෂයක් ආරම්භ කළේය. එය කෙටියෙන් සඳහන් වූවේ ඇල්.පී.පී. යනුවෙනි. බණ්ඩාරනායක ඝාතකයන්ට උදව් කරන්නේය යන මතය පදනම් කොටගෙන ප්‍රතිවාදීහු එය අර්ථ දැක්වූවේ ලංකා පිස්තෝල පාටි වශයෙනි. එම පක්‍ෂයේ වර්ණය ලෙස පිළිගෙන තිබුණේ දම්පාටය. මැතිවරණ ලකුණ වූවේ කුඩයයි. ඒ නිසා ප්‍රතිවාදීහු ‘දන්කුඬේ” යනුවෙන් උපහාසයට ලක් කළහ.


මෙම සියලු උසුළු විසුළු මධ්‍යයේ අගමැති දහනායක මහතා තම රජය දිගටම පවත්වාගෙන යාමට උත්සාහ ගනිමින් සිටියේය. ඒ සඳහා නොයෙකුත් පියවර ගත්තේය. එයින් එක් ක්‍රියා මාර්ගයක් වූවේ තමාට හිතවත් නොවන ශ්‍රී ලංකා නිදහස් පාක්‍ෂික ඇමතිවරුන් නෙරපා හැරීමය. 1959 නොවැම්බර් අට වැනිදා කම්කරු ඇමති ඇම්.පී. ද සොයිසා මහතා නෙරපා දැමුණි. දෙසැම්බර් අට වැනිදා මධ්‍යම  රාත්‍රීයේදී ස්වදේශ කටයුතු ඇමති ටී.බී. ඉලංගරත්න, සෞඛ්‍ය ඇමති ඒ.පී.  ජයසූරිය, ගමනාගමන සහ විදුලි බල ඇමැති මෛත්‍රීපාල සේනානායක, සංස්කෘතික ඇමති පී.බී.ජී. කළුගල්ල යන මහත්වරුන් ඇමති මණ්ඩලයෙන් නෙරපා හරින ලදහ. මෙම තත්ත්වයට විරුද්ධව සිටි (රෝහල් ගතව සිට ආපසු පැමිණ සිටි) ඉඩම් හා කෘෂිකර්ම ඇමති සී.පී. ද  සිල්වා මහතා තමා අස්කිරීමට පෙර 1959 දෙසැම්බර් 12 වැනි දින ඉල්ලා අස්වූවේය. මාසයක් ගතවීමටත් පෙර පළාත් පාලන සහ නිවාස කටයුතු පිළිබඳ වැඩබලන අමාත්‍යව සිටි  ඇම්.බී.ඩබ්ලිව්. මැදිවක, ආහාර සහ වෙළඳ ඇමති ආර්.ජී. සේනානායක, කර්මාන්ත සහ ධීවර කටයුතු අමාත්‍ය ජේ.සී.ඩබ්ලිව්. මුණසිංහ, රජයේ වැඩ ඇමති හෙන්රි අබේවික්‍රම යන ඇමතිවරු 1959 ජනවාරි 06 වැනි දින මධ්‍යම රාත්‍රීයේදී නෙරපා හරින ලදහ.


මෙයට අමතරව වෙනත් හේතූන් මත පළාත් පාලන හා නිවාස ඇමතිවරිය 1959 ඔක්තෝබර් 20 වැනිදා ඉවත් කළ අතර මුදල් ඇමති ස්ටැන්ලි ද සොයිසා මහතා නොවැම්බර් 23 වැනිදා ඉල්ලා අස්වූවේය. ඒ දෙදෙනා දහනායක මහතාට පක්‍ෂ කණ්ඩායමේ සිටියා වුවත් මහජන මතයට සහ විරුද්ධ පක්‍ෂයේ උද්ඝෝෂණ නිසා ඔවුහු එම පියවර ගත්හ.

 

 

මගේ දුම්රියේ මිතුරා එපාවෙනතුරු ඇමතිවරු අස් කළා යැයි කීවේ මෙම සිදුවීම් මාලාව පසුබිම් කොට ගෙනය. මෙවැනි මත භේදකාරී සිදුවීම් රැසකට මුහුණ දෙමින් ඊළඟ මැතිවරණය පැවති 1960 මාර්තු 19 වැනිදා තෙක් අග්‍රාමාත්‍ය ධුරයේ කටයුතු කරගෙන යාමට විජයානන්ද දහනායක මහතා සමත්විය. ලංකාව පුරා  ආසන විශාල සංඛ්‍යාවකට අපේක්ෂකයන් ඉදිරිපත් කළ ඔහුගේ ලංකා ප්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂය පිරිසිදු, අවංක හා මාක්ස්වාදී නොවන රජයක් පිහිටුවීම සඳහා බලය ඉල්ලා සිටියේය. ඔවුන්ට ආධාර කිරීම සඳහා පැවති ප්‍රචාරක රැස්වීම් ඇමතූ විජයානන්ද දහනායක මහතා පැවසුවේ ඇන්.ඇම්., පිලිප්, පීටර් කෙනමන් වැනි රත්තන් තමාට ලුණුමිරිසකටත් මදි බවත් තමා ගෝගියා පාෂා වැනි වැඩකාරයෙකු බවත්ය. ගෝගියා පාෂා යනු කලකට පෙර තුර්කියේ සිටි මැජික් කාරයෙකි.


මැතිවරණ ප්‍රතිඵල නිකුත් වී අවසාන වන විට දහනායක අගමැතිවරයාගේ අපරාජිත බළකොටුව වූ ගාල්ල ආසනය ඔහුට අහිමිව තිබුණි. එහෙත් ඔහුගේ පක්‍ෂයට ආසන හතරක් හිමිව තිබුණි. ගාල්ල ආසනයෙන් කඩා වෙන් කර බිහිකර තිබුණු අක්මීමන කොට්ඨාසය ජයගත් ප්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂයේ සේනපාල සමරසේකර මහතා තම නායකයා වූ පරාජිත දහනායක මහතා වැලඳගෙන අඬා වැලපෙන ආකාරය දැක්වෙන ඡායාරූප ඒ දිනවල පුවත්පත්වල පළ විය. ඔහු මෙන්ම කොත්මලේ ආසනය දිනූ ජේ.ඩී. වීරසේකර මහතා ද 1960 ජූලි මැතිවරණයේදී ශ්‍රී.ල.නි.පයෙන් තරග කර සිය දීර්ඝකාලීන දේශපාලන ජීවිතය සාර්ථක කරගත් අන්දම අපි දුටුවෙමු.


ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ප්‍රවාහයේදී උත්තරීතර වනුයේ ජනතාවයි. එනිසාම ඇතිවනතුරු ඇමතිවරුන් අස්කළ දහනායක අගමැතිවරයාට එවැනි ඉරණමක් අත් වූ බව ඉතිහාසයේ සඳහන්ව තිබේ.

 

 

 

 

 

 

සෝමසිරි වික්‍රමසිංහ.