ඓතිහාසික පිම්මකින් හඳට පැනගත් නීල් ආම්ස්ට්‍රෝන්ට වත් නොපෙනුණු සහල්, රටේ ජනතාවට හඳෙන් හෝ ගෙනැත් දෙමැයි පුරසාරම් දෙඩූ සිරිමා ආර්. ඩී. බණ්ඩාරනායක මැතිනිය කෙක්කෙන් බැරි වූ තැන කොක්කෙන් හෝ අටවා ගත් නවසිය හැත්තෑවේ තම රජය වඩාත් ශක්තිමත් කර ගැනීම සඳහා ලංකා සමසමාජ පක්‍ෂයේ ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා ඇතුළු වාමාංශික සහෝදරයන් කිහිප දෙනෙකුගේද සහයෝගය ඇතුව සමගි පෙරමුණු ආණ්ඩුවක් බිහි කළාය.


එහි වඩාත්ම වගකිව යුතු  තනතුරක් වන මුදල් ඇමති පට්ටම ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා මහතාටත් වැවිලි කටයුතු ඇමතිකම ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා මහතාටත්, ගමනා ගමන ඇමතිකම ලෙස්ලි ගුණවර්ධන මහතාටත් පිරිනමන ලද අතර නීල් ද අල්විස් මහතාට නියෝජ්‍ය ඇමති ධුරයක් පිරිනැමිණි. වසර දෙකකට නොඅඩු කාලයක් හැල හැප්පීමක් මතභේදයක් නොමැතිව කිරි පැණි න්‍යායෙන් වචනයේ  පරිසමාප්ත අර්ථයෙන්ම සමගි පෙරමුණක් වූ ආණ්ඩුවේ මුල්ම ඉරි තැලීම පටන් ගත්තේ ඇන්. ඇම්. ලාගේ නායකත්වයෙන්, අගනුවර නව නගර ශාලාවේ පැවති පනස් තුනේ හර්තාල් අනුස්මරණ රැස්වීමෙන් පසුවය. එහිදි මුදල් ඇමැති ඇන්. ඇම්. හා ඔහුගේ ගෝල බාලයන් විසින් කරන ලදුව මාධ්‍යයෙන් එළි දැක්වුණු කතා පිළිබඳව තම අප්‍රසාදය පළ කළ අගමැතිනිය, දිවංගත තම ස්වාමියාටත් මැති ඇමැතිවරුන්ටත්, පොදුවේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයටත් පහර ගසමින් මේ රටේ ප්‍රගතිශීලි ප්‍රතිපත්ති ක්‍රියාත්මක  කිරීමට බණ්ඩාරනායක මහතාට හැකිවුයේ ඇන්. ඇම්. ඇතුළු වාමාංශිකයන්ගේ සහාය වීම නිසා යයි. ප්‍රකාශ කිරීමෙන් මහජනයා නොමග යැවීමට හා බණ්ඩාරනායක  නාමය අවතක්සේරු කිරීමට දරන ලද කුහක උත්සාහයකැයි අදහස් කළාය.


වතු ජනසතුව කරන ලද්දේ කෘෂිකර්ම ඇමති හෙක්ටර් කොබ්බෑකඩුව මහතා විසින් වුවත්, වතු සම්බන්ධ ඇමති වුයේ ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වාය. එම කාරණය හේතුවෙන් ආචාර්ය ඇන්. ඇම්. පෙරේරාත්, ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වාත් දැඩි කනස්සල්ලට පත්ව සිටියහ. එහෙත් වතු ජනසතුව, 1971 දී ඉඩම් ප්‍රතිසංස්කරණ නීතිය යටතේ ගැනුනක් හෙයින් එය ඉඩම් ඇමති හෙක්ටර් කොබ්බෑකඩුව මහතා විසින් ඊට අදාළ නීතිමය හා ක්‍රියාත්මක  පියවර ගන්නා ලද්දේ මැතිනියද දැනුවත්වය. 


ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ජනසතුවට විරුද්ධ බවට ඇන්. ඇම්. ප්‍රකාශ කර ඇතත් ජනසතුව පටන් ගන්නා ලද්දේ 1956 දී දිවංගත බණ්ඩාරනායක අගමැතිතුමන්ගේ පාලන කාලයේ බවත් ඒ අවස්ථාව වනවිට ඇන්. ඇම්. එම රජයට කිසිම සහයෝගයක් නොදක්වා, භාෂා දෙකට සමතැන්දීම, ලංකාවේ පදිංචි ඉන්දියානුවන්ට පුරවැසිකම් ලබාදීම ආදි ශ්‍රී.ල.නි.ප ප්‍රතිපත්තිවලට විරුද්ධවීමක් බණ්ඩාරනායක මැතිනියගේ දෝෂ දර්ශණයට ලක්වී ඇත.


බැංකු ජනසතු කිරීම 1970 ශ්‍රී.ල.නි.ප මැතිවරණ ප්‍රකාශයේදි තවත් වැදගත් යෝජනාවක් වූ අතර ජනසතුවට ඇතැම් ශ්‍රී.ල.නි.ප. ඇමැතිවරුන්  විරුද්ධ බවටත්, ශ්‍රි.ල.නි.ප. ජනසතු විරෝධි යයි ජනතාවට ඇඟවීමට ඇන්. ඇම්. ඇතුළු කල්ලිය වේදිකාවලදී හඬ නගා කියා පෑමද මැතිනියගේ කනස්සල්ලට හේතුවිය.


ඉඩම් ප්‍රතිසංස්කරණය මත ඉඩම් ආධිපත්‍යය අක්කර පනහකට සීමා කළ යුතු යයි ලංකා සමසමාජ පක්ෂයද සහභාගි වූ මැතිවරණ ප්‍රකාශනය සකස් කිරීමේදි පැවැති ජනසතුව පිළිබඳව අදහසක් ඔවුන් කිසිවිටෙකත් ප්‍රකාශ කළේ නැත. වතු ජනසතු කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට එල්ල කර ඇති පහර බණ්ඩාරනායක මහතාටත්, තමාටත් තම රජයටත් එල්ල කිරීමක් බවද මැතිනිය චෝදනා කළාය. 1955 දී බණ්ඩාරනායක මහතාත් ඇන්. ඇම්. පෙරේරා මහතාත් අතර පැවති නිතරග ගිවිසුම හෝ රහස් කිසිවක් ඇත්නම් ඒවා හෙළිදරව් කරන ලෙසට ඇය අභියෝග කර ඇති අතර සමගි පෙරමුණ රජය ඉතිරි අවුරුදු දෙක කාලයේදීත් පවත්වා ගෙන යෑමට නම් මෙවැනි අවලාද නැවතිය යුතුව ඇති බවත් මැතිනිය තදින් ප්‍රකාශ කර ඇත. එසේම නුදුරේදී ක්‍රියාත්මක කිරීමට ඇති පොදුරාජ්‍ය මණ්ඩලීය මුදල් ඇමතිවරුන්ගේ සාකච්ඡාවටත් - ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ හා ලෝක බැංකුවේ සම්මේලන වලටත් පිටත්ව යෑම නවතන ලෙසටත් ඇය මුදල් ඇමති ඇන්. ඇම්. ට දැනුම්දී සිටියාය. 


1947 මහ මැතිවරණයෙන් පසු ඇන්. ඇම්. ගේ ඉල්ලීම ඉවත ලමින් අගමැති ධුරය භාර ගැනීම බණ්ඩාරනායක මහතා විසින් ප්‍රතික්‍ෂේප කළේ ඩී. ඇස්. සේනානායක අගමැතිගේ ඇවෑමෙන් ඔහුගේ උරුමක්කාරයා වී ඔටුන්න හිමි කුමාරයා වීමේ බලාපොරොත්තුවෙන් යැයි ඇන්. ඇම්. ගේ ප්‍රකාශය අගමැතිනිය තරයේම ප්‍රතික්‍ෂේප කළාය.


“1970 දී ආණ්ඩුවක් පිහිටුවීමට ලැබුණොත්, මුදල් ඇමැතිකම ලබා දෙන්නැයි ඇන්. ඇම්. කළ ඉල්ලීම දෙවරක් නොසිතා ඉටුකළ බව කී බණ්ඩාරනායක මැතිනිය තමන් අමාත්‍යාංශ සංශෝධනයක් කිරීමට ස්ථිර වශයෙන්ම සුදානම් වන බවද කියා සිටියාය.
මේ අනුව ආචාර්ය කොල්වින් ආර් ද සිල්වාගේ ඇමති තනතුර වෙනස් නොකිරීමටත් ආචාර්ය ඇන්. ඇම්. පෙරේරාගේ හා ලෙස්ලි ගුණවර්ධනගේ ඇමති පදවි වෙනස් කිරීමට කටයුතු කරන බවත් ප්‍රකාශ කළ අගමැතිනිය ඒ වෙනස් කිරීම් යටතේ එක් අමාත්‍යාංශයක් තෝරා ගත හැකි” බවද වැඩිදුරටත් ප්‍රකාශ කළාය.


වෙනස් කිරීම්:
ආචාර්ය ඇන්. ඇම්. පෙරේරාට
1. දේශීය හා විදේශීය වෙළඳාම හෝ
2. සෞඛ්‍ය, හෝ
3. නාවික හා සංචාරක යන තුනෙන් එකක්. 

ලෙස්ලි ගුණවර්ධනට
1. ධීවර, හෝ
2. තැපැල් හා විදුලි පණිවුඩ, හෝ 
3. කම්කරු යන තුනෙන් එකක්.


අගමැතිනියගේ දැන්වීම පරිදි ඉක්මන් තීන්දුවක් දීම අපහසු බවත් මධ්‍යම කාරත සභාවේ තීරණය මත කටයුතු කරන බව ඇන්. ඇම්. මැතිනියට දන්වා යැවුවේය.


මේ අනුව රැස්වූ මධ්‍යම කාරක සභාවේ තීරණය මත අගමැතිනියගේ එම යෝජනාව ලංකා සම සමාජ පක්‍ෂය මගින් පිළිනොගන්නා බව දන්වා යැවීමෙන් පසු අගමැතිනියගේ පිළිතුර වූයේ, එම අමාත්‍යාංශවලින් එකක් භාර ගන්නට අකමැති නම් තනතුරින් ඉල්ලා අස්වීමේ ලිපිය තමන්ට එවන ලෙසටය.


අගමැතිනියගේ එම දැන්වීම පරිදි ඉල්ලා අස්වීම ප්‍රතික්‍ෂේප කිරීමෙන් පසු ජනාධිපති
විලියම් ගොපල්ලව මහතාගේ අත්සනින් යුතුව 1975 සැප්තැම්බර් 02 වැනි දින ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා මුදල් ඇමැති ධූරයෙන් ඉවත් කෙරෙන පහත සඳහන් ලිපිය ජනාධිපති කාර්යාලයෙන් නිකුත් කෙරිණ.


ජනාධිපති කාර්යාලය
ජනාධිපති මන්දිරය
යොමුව: D/331 (III)75
කොළඹ - ශ්‍රී ලංකාව
ඉවත්කිරීම


ශ්‍රී ලංකා ජනරජයේ ජනාධිපති විලියම් ගොපල්ලව වන මම ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 96/(අ) වගන්තියෙන් මා වෙත පැවරී ඇති බලතල යටතේ හා ප්‍රකාර. ආචාර්ය නානායක්කාර පතිරණගේ මාටින් පෙරේරා වන ඔබ මුදල් අමාත්‍ය ධූරයෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි මෙයින් ඉවත් කරමි.


1975 ක් වූ සැප්තැම්බර් මස දෙවෙනිදා අ:භ: 4.00ට කොළඹදි.
වි. ගොපල්ලව
ජනාධිපති.


මෙවැනි ඉවත් කිරීමේ ලිපි, ආචාර්ය කොල්වින් ආර් ද සිල්වා හා ලෙස්ලි ගුණවර්ධන ඇමතිවරුන්ටත් යවා ඇත.


ලංකා දේශපාලන ඉතිහාසයේ  මුල්ම දේශපාලන පක්‍ෂය වන ලංකා සමසමාජ පක්‍ෂයේ නායකත්වය ලැබ සූරියමල් ව්‍යාපාරයෙන් පොඩි මිනිහා අතර තැනක් ලබාගෙන සිටි ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා, ලාංකිකයකු වශයෙන් ආචාර්ය පදවි යුගළයකින් සමන්විත වූ නමුත් ඔහුගේ මොළයෙන් ඉදිරියටත් රටට වැඩක් ගැනීමට තිබු අවස්ථාව එයින් අවසන් විය.


වාමාංශික ව්‍යාපාරය දේශපාලන බිල්ලෙක් ලෙසට හැඳින්වූ ඉංග්‍රීසි අධිරාජ්‍යවාදීන් ගණන් නොගෙන රට වෙනුවෙන් සටන් කළ රතු නායකයන්, රටට ගැළපෙන අයුරින් තෙම්පරාදු වීම නිසා ජනතාව කිසිම බියක් සැකක් නැතුව ඔවුන් පිළිගන්නා තනිවම පාලන බලයක් ලබාගැනීමට තරම් දේශපාලන ශක්තියක් නොතිබ්බද ඉංග්‍රීසි පාලනයට විරුද්ධව ගොස් සිරබත් කෑවේය. සැඟවී රටෙන් පලාගියේත් රටට ඇති ආදරය නිසාය. රටේ ප්‍රතිස්ඨාපනය වූ හැම රජයකටම ආවඩමින් නොසිට අවශ්‍ය වූ විට තර්කානුකූලව විවේචනය කළේ ජනතාව වෙනුවෙනි.


කම්කරුවන්ට - වැඩ කරන ජනතාවට, අතමිට මොළවා, දරදඬු වූ පාලකයන් ඉදිරියේ බියක් සැකක් නැතිව උද්ඝෝෂණය කරන්නට අයිතිවාසිකම් ඉල්ලා සිටින්නටත්  වෙඩි පහර ඉදිරියේ වුවත් ඉදිරියටම ගිය ඇන්. ඇම්. ලාගෙන් පෝෂණය වූ කම්කරුවන්ට කම්කරු දිනයක් ඇති කොට එය නිවාඩු දිනයක් බවටද පත්කරලීමට පාලකයන්ට බුද්ධිය පහළ කරවා දුන්නෙත් ඇන්. ඇම්ලාය.


ඇන්. ඇම්ලා අවංකය. ඔවුන් රටට බොරු කළේ නැත. රට රැවැට්ටුවේ නැත. තනි කළේ නැත. එවන් පුද්ගලයන් පාලන තන්ත්‍රයට ඈඳාගෙන රටට වැඩක් කරගත්තේ නම් එය ඔවුන්ට නොවේ රටටය.

එල්. ඩබ්ලිව්. පුෂ්පකුමාර