ඇන්. ඇම්. පෙරේරා හිටපු ඇමෙරිකානු ජනාධිපති ජෝන් එෆ්. කෙනඩි සමග. අසුන්ගෙන සී. පී. ද සිල්වා මැද සිටගෙන ඇමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති ආර්. එස්. එස්. ගුණවර්ධන.

 

මුළු මහත් වතුකරය පුරා වෘත්තීය සමිති අරඹා ඔවුන්ගේ අයිතිවාසිකම් ලබා දීමට සමසමාජ නායකයෝ ක්‍රියා කළහ. සුදු පාලනයක් රටේ පවතිද්දී සුදු වතුහිමියන්ට එරෙහිව මෙවැනි ක්‍රියාමාර්ගයක් ගැනීම ඒ කාලයේ හැටියට මාරයාට අතවැනීමක් විය. එහෙත් තම අයිතිවාසිකම් ගැන දැනුමක්වත් නොතිබුණු එම නූගත් ජන පිරිස පුබුදුවා සටනට මෙහෙය වූ ඇන්. ඇම්. ප්‍රමුඛ පිරිස සෑම වත්තක් පාසාම වෘත්තීය සමිති ගොඩ නගා ඔවුන්ගේ අයිතිය දිනාගැනීමට කටයුතු කළහ. නුවරඑළියේ මුල්ඔය වත්තේ සටන එවැනි ඓතිහාසික අවස්ථාවකි. අයිතිවාසිකම් ඉල්ලා පෙරට පැමිණි වතු කම්කරු ජනතාවට වෙඩි තබා කීප දෙනෙකු මරා දැමූ වතු අධිපතින්ට ගැලවී යාමට සම සමාජය ඉඩ දුන්නේ නැත.


මෙම සටන් රැල්ල වතුකරය පුරා පතුරුවා හැරීමට නායකයෝ වගබලාගත්හ. රම්බොඩවත්ත, වේවැස්ස, ඇල්ල, දෙමෝදර, ඇටම්පිටිය, වේවැල්හින්න, කඩියාලෙන ආදී අක්කර දස දහස් ගණනක් සිසාරා සටන පැතිර ගියේය. මෙම සටන් රැල්ල නිසා හටගත් අර්බුදය කෙතරම් දුර ගෙන යාමට ඇන්. ඇම්. සමත්වූවේද යත් ඇමති මණ්ඩලයට ඉල්ලා අස්වීමට පවා සිදුවිය. මෙම අවධියේ ඇතිවූ සුප්‍රසිද්ධ බ්‍රෙස්ගර්ඩල් සිද්ධියේදීද වතු පාලනය සහ සුදු යටත් විජිත පාලනයද සොලවාලීමට මෙම පුරෝගාමීහු සමත් වූහ.


දෙවැනි ලෝක මනා යුද්ධය ඇරඹුණේ මෙම වකවානුවේය. මව්බිම යටත් කොටගෙන සූරා කන බි්‍රතාන්‍ය අධිරාජ්‍යවාදයට යුද්ධය සඳහා කිසිදු සහායක් නොදීමට සම සමාජ පක්ෂය තීරණය කළාය. බි්‍රතාන්‍යයන් මෙය වටහා ගත්තේ බි්‍රතාන්‍ය යුද පෙරමුණේ පෙර දිග සතුරා වූ ජපානයට පක්ෂවීමක් ලෙසය. සම සමාජ පක්ෂය නීතිවිරෝධී බව ප්‍රකාශ කළ යටත් විජිත පාලනය සම සමාජ නායකයන් සිරභාරයට ගැනීමට කටයුතු කළේය. ජපන් ආක්‍රමණයක් සිදුවීමට ඔන්න මෙන්න කියා තිබියදී, තමන් මරා දමනු ඇතැයි යන සැකය ඇන්.ඇම්ලා තුළ ඇතිවීම නිසා පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ තීරණය පරිදි ඔව්හු සිර භාරයෙන් පැන යාමට තීරණය කළහ.


සිරගෙදර වගකිවයුතු ජේලර්වරයෙකුගේද සහාය ඇතිව ඔහුත් සමගම සම සමසමාජයේ ප්‍රධාන සිරකරුවන් හතර දෙනා වන ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා, පිලිප් ගුණවර්ධන, ආචාර්ය කොල්වින් ආර් ද සිල්වා සහ එඞ්මන්ඞ් සමරක්කොඩි යන මහත්වරු බෝගම්බර මහ උළු ගෙදරින් පැන ගත්හ. මේ මොහොතේ ඇන්. ඇම්. සිදු කළ කාර්යක් ගැන ඉතිහාසගතව ඇත. සිරෙන් බේරාගෙන මේ අය රැගෙන ඒමට ගියේ තවත් සම සමාජ නායකයෙකු වූ රොබට් ගුණවර්ධන මහතාය. සිරගෙදර තුළට යාමට මහදොර අරින යතුරේ ආකෘතිය සබන් කෑල්ලකට ගෙන කඩුවෙල ප්‍රදේශයේ හිතවතෙකු ලවා සාදාගෙන රැගෙන ගියේ රොබට්ය. පිටතින් දෙන ලද සංඥාවකට අනුව පිටතට පැමිණි ජේලර් සොලමන් අනෙක් කිසිවෙකුට නොදැනෙන පරිදි පිටතට පැමිණ රොබට් හමුවී සාකච්ඡා කර නැවතත් සිරගෙය තුළට ගොස් සිරකරුවන් හතර දෙනා කැඳවාගෙන නැවතත් පිටතට පැමිණියේය. එතනට එනතුරු පැමිණි ඇන්. ඇම්. පෙනෙන්නට නොවීය. විනාඩි කීපයකට පසු යළිත් පැමිණි ඔහු පිරිසට එක්විය. සිරකුටියෙන් පිටතට එද්දී එතෙක් ඔහු පැලඳ සිටි කට්ටා සෙරෙප්පු යුවළ ගෙනෙන්ට ආපසු ගොස් තිබුණි. එය එකල වටිනාකම ශත දොළහක් බව ඇන්. ඇම්.ගේ කටින්ම කියනු මම අසා ඇත්තෙමි. රටපුරා යුද්ධ නීතිය පනවා ඇති මොහොතක මේ සා නීතිවිරෝධී කටයුත්තක නියැළෙන අවස්ථාවක ශත පහක්වත් නොවටින කට්ටා සෙරෙප්පු කුට්ටමක් පසු පස ගියේ ඇයි දැයි උඩකැන්දවල සරණංකර හිමියන් සුහද සාකච්ඡාවකදී විමසන විට මමද එම ස්ථානයේ සිටියෙමි. “හාමුදුරුවනේ මම ශත පහක්වත් නිකරුණේ නාස්ති කරන්නේ නැහැ. ඇන්. ඇම්ගේ හැටි එහෙමයි” කියා කොක්හඬලා සිනාසුන අයුරු මට තවමත් මතකය. අනතුරුව ඔහු ප්‍රකාශ කළේ “මම මුදල් ඇමතිකම කරන්නෙත් එහෙමයි. රටට අයිති ශත පහක්වත් අහිමිවන්නට මම ඉඩ දෙන්නෙ නැහැ” යනුවෙනි. එකල 1965 මැතිවරණ සමය බැවින් භාරකාර රජයේ මුදල් ඇමතිවරයා වශයෙන් ඔහු කටයුතු කරමින් සිටි වකවානුව විය.


සිරගෙදරින් පලාගිය සිරකරුවන් නැවතුණේ ඉන්දියාවේය. එහිදී ඇන්. ඇම්ට බි්‍රතාන්‍යයේ සමකාලීන ශිෂ්‍ය සගයෙකු අහම්බෙන් මෙන් මුණගැසුණි. ඔහුගේ මාර්ගයෙන් බොම්බායේ ඩිස්කවුන්ට් බැංකුවේ ඉහළ රැකියාවක් ලබා ගැනීමට හැකි විය. ඒ එම බැංකුවේ ලේකම් තනතුරකි. ආචාර්ය විශ්වනාත් යන නමින් ඔහු එම බැංකුවේ ටික කලක් සේවය කළේය. එයින් උපයන මුදල් ඉන්දියාව පුරා සැඟවී සිටි සම සමාජවාදීන්ට උපකාර වශයෙන් ලැබෙන්නට සැලැස්සුවේය. එහෙත් වැඩි කලක් මෙම හැංගිමුත්තම කරගෙන යාමට ලැබුණේ නැත. දිනක් ඉන්දියාවේ යටත් විජිත පොලිසිය නවාතැනට කඩා වැදී බැංකු ලේකම් විශ්වනාත් අත් අඩංගුවට ගත්තේය. ඒ විගසම ආපසු ලංකාවට එවනු ලැබ නැවතත් බන්ධනාගාර ගත කරනු ලැබුණි. ඉන් පසු නඩු විභාගයකටද යොමු කරවන ලදි.

ඉතිරිය ලබන සතියට...

සෝමසිරි වික්‍රමසිංහ