අගමැති බණ්ඩාරනායකගේ මහජන ආණ්ඩුව යටතේ 1957 සැප්තැම්බර් මස 07 වැනිදා අතුරු මැතිවරණයක් පැවැත්විණ. ඒ ස්වාධීන මන්ත්‍රී කේ. එම්. පී. රාජරත්න මහතාට ඡන්ද පෙත්සමකින් අහිමිවූ වැලිමඩ අසුන වෙනුවෙනි.


ජාතික විමුක්ති පෙරමුණ නියෝජනය කළ තම සැමියාගේ අයිතිය වෙනුවෙන් තම ගුරු වෘත්තිය පසෙකලා එම අසුන වෙනුවෙන් තරග වැදුණේ ළාබාල බිරින්දෑවූ කුසුමා රාජරත්නය. අත්දැකීම් අඩු වුවද ඇයට සහ සැමියාට ඇති මහජන කැමැත්ත පිළිබිඹු කරමින් වැඩි ඡන්ද 11,000 කින් ඇය ජයග්‍රහණය කළාය.


මෙම පෙරළිකාර මන්ත්‍රීවරිය මැතිසබයට පැමිණියේ තම සැමියා කැටුවය. ඔවුන් සමඟ සිංහල ශ්‍රී අක්ෂරය නොම්මර තහඩුව ලෙස යෙදූ රිය පෙරහරක්ද එහි ළඟාවිය. ඉංග්‍රීසි අක්ෂරය නොයොදවන ලෙස කළ බලපෑමකි එය.


සිංහල බස මෙරට එකම රාජ්‍ය භාෂාව විය යුතු යැයි කථාවෙන් පමණක් නොව ක්‍රියාවෙන්ද ඔවුහු අගමැතිට බලපෑම් කළහ. එනිසා බණ්ඩාරනායක ආණ්ඩුවට රාජරත්නලා හිසරදයක් විය.
සිංහල හා දෙමළ භාෂා දෙකම රාජ්‍ය භාෂා ලෙස සමව පිළිගත යුතු යැයි කියැවෙන දෙමළ පනත මෙන්ම බණ්ඩාරනායක චෙල්වනායගම් ගිවිසුම අවලංගු කළ යුතු යැයි ඇය හඬ නැගුවාය. මේ පනත ආවොත් උතුරේ නැගෙනහිර රාජකාරි කෙරෙන්නෙ දෙමළෙන් විතරයි. ඉන්දියානුවන්ටත් පුරවැසිකම දෙන්න යනවා. යූඇන්පීයත් සද්දයක් නෑ. මේක රටේත් සිංහල ජනතාවගේත් මිනීවළ කැපීමක්.


දෙමළ පනත වනාහි සිංහල බසට මුල්තැන දෙන බව කියා බලයට පැමිණ වෙනත් ලෙසකින් සිංහලය වැළලීමේ පනතක් ලෙස ඇය පෙන්වා දුන්නාය. ලංකා සමසමාජ පක්ෂය, ලංකා කොමියුනිස්ට් පක්ෂය පෙඩරල් පක්ෂය හා යූ.ඇන්පීය ඇගේ දෝෂ දර්ශනයට ලක්වූ පක්ෂ විය.


රාජරත්නලා සිංහල ශ්‍රී අකුර වාහනවලට යෙදීමට විරෝධය පාමින් උතුරු නැගෙනහිර පළාත්වල වාහනවලට දෙමළ ශ්‍රී අකුර යොදනු ලැබිණ.


මෙයද කුසුමා රාජරත්න මන්ත්‍රීවරියගේ විවේචනයට ලක්විණ. “දෙමළ ශ්‍රී අකුර යෙදීම නීතිවිරෝධීයි. ඇයි ඒකට නීතිය ක්‍රියාත්මක නොවන්නේ?”


ජාත්‍යන්තර කම්කරු සම්මේලන නියෝජනය කිරීමට රාජ්‍ය අනුග්‍රහයෙන් යැවූ වෘත්තීය සමිති නායකයන් වූ සෞම්‍යමූර්ති තොණ්ඩමන් හා මුස්ලිම් ජාතික අසීස් වැනි අය ඉන්දීය යුද හමුදාවට ඔත්තු සපයන්නන් බවත් ඔවුන්ගේ වෑයම කල්ලතෝනින් ලක්ෂ එකහමාරකට රට ආක්‍රමණය කිරීමට ඉඩ සැලසීම බවත් ඇගේ තර්කය විය.


මේ තරම් ව්‍යක්ත ලෙසත් තර්කානුකූල ලෙසත් ආණ්ඩුව විවේචනය කරන්නේ එදා සැමියාගේ පිහිටෙන් මැතිසබයට ආ සබකෝලයෙන් පිරි ගැමි කාන්තාව දැයි අගමැති බණ්ඩාරනායක මහතාද මවිත විය.


ඇය හෙළ සිරිත් ගරුකරන පවුලක දෙවැනි දියණිය ලෙස 1925 දෙසැම්බර් 02 වැනිදා කුසුමා පෙරේරා නමින් උපත ලැබුවාය. මිරිහාන ආරච්චිගේ ආවිස් පෙරේරා වෙද මුහන්දිරම් ඇගේ පියා විය. කොළඹ තන්ත්‍රිගේ දෝන කරලැයින් ඇගේ මව වූවාය.


දියණියන් දෙදෙනා හා පුතුන් දෙදෙනාට මවුපියන් ලබාදුන්නේ එදා ඉහළින් සැලකූ මිෂනාරි අධ්‍යාපනය නොව ගමේ පාසල් අධ්‍යාපනයයි. අනතුරුව කෝට්ටේ ආනන්ද බාලිකාවේ උසස් අධ්‍යාපනය ලැබුවාය. වෙදගෙදර සිට පාසලට තිබුණේ මද දුරකි.


සමාජවාදයට ඇගේ සහ මිතුරියන්ගේ සිත් යොමුවිය. පන්තියේ මිතුරකුවූ බැසිල් ද සිල්වා කෝට්ටේ සුළුනගර සභාවට තරග වැදුණු අතර ගැහැනු ළමෝ ගෙවල්වලට රහසෙන් ගොස් ඔහුට සහය දුන්හ. සිංහලයාට වළ කපා ගත්තේ සිංහලයාම තමයි. උඩරට රදලයන්ගේ අනුවණ වැඩ නිසා රාජ පරම්පරාවක් නැතිවුණා.


ගතානුගතික අධ්‍යාපන රටාව අබිබවා සමාජවාදය දෙසට ඇදෙමින් තිබූ ඇගේ මනස කලබල කරන සිද්ධියක් වෙද නිවසේ සිදුවිය. එනම් වෙද මැදුරේ නවාතැන් ගැනීමට තරුණ ශිෂ්‍යයකු පැමිණීම නිසාය. ඔහු හැඳින්වූයේ වැලිමඩ රාජරත්න නමිනි. කුසුමා හා රාජරත්න උගත්තේ එක පන්තියේය.


රාජරත්න සිංහල භාෂා සාහිත්‍යය ගැන බොහෝ දැනුම්ලත් අයෙකි. කුසුමා ඔහුගේ ඇසුරින් සිංහල උගත්තියක වූවාය. ඔවුන්ට නොදැනීම ඒ හිතවත්කම ප්‍රේමයට පෙරළමින් තිබිණ.


රාජරත්න ජ්‍යෙෂ්ඨය සමත්ව පාසලෙන් අස්වීය. කුසුමා බරපතළ ලෙස රෝගාතුරවූ අතර ඇයට විභාගය ගන්නට වූයේ ඊළඟ වසරේදීය. උසස් පෙළ සඳහා නුගේගොඩ අනුලා විද්‍යාලයට ගිය ඇයට නිතර රාජරත්න හමුවිය. ඔවුන්ගේ ප්‍රේමය ස්ථාවර වූයේ විශ්වවිද්‍යාලයේදීය.


කල වයස් සපිරිණු බැවින් මවුපියෝ කුසුමාට රාජරත්න යෝජනා කළෝය. ඔවුන් ඒ වන විටත් පෙම්වතුන් බව දැනගත්තේ එදිනය.


කෝනාර මුදියන්සේලාගේ පොඩි අප්පුහාමි රාජරත්න සහ කුසුමා පෙරේරා ගුරුතුමිය අතර විවාහය 1950 අගෝස්තු 30 වැනිදා සිදු කෙරිණි.


කිසිදු දැවැන්ත පක්ෂයකට මුක්කු නොගසා ස්වාධීනව දේශපාලනය කළ ඔවුහු සිංහලකම වෙනුවෙන් පෙනී සිටියහ. දෙමළ පනතට එරෙහිව කරුණු කියන්නට රාජරත්න යුවළ රට වටා රැස්වීම් පෙළක් ඇරඹූහ. මෙම ක්‍රියාපටිපාටිය අරගලයක් බවට උත්සන්න වීමට වැඩිකල් නොගියේය. අන්තිමට රාජරත්න රාජද්‍රෝහියකු බවට හංවඩු ගැසුණු අතර ඔහු දෙමළ ජනතාවගේ ලේ පිපාසිතයකු ලෙසට රාවයක් පැතිරිණ.


ජාතිවාදය ඇවිස්සීමේ ක්‍රියාපිළිවෙත මත රාජරත්න අත්අඩංගුවට ගැනීමට පොලිස් හමුදාව යොදන ලදී. තවදුරටත් සියුමැලි කාන්තාවක් නොවූ කුසුමා තම සැමියා බේරාගැනීමට සටනට බැස්සාය.
කොළඹදී රාජරත්න අල්ලා ගැනීමට නොහැකිවූ අතර වැලිමඩ ගමේදී ඔහු අත්අඩංගුවට ගන්නට තැත් කළහ. “එයාව එහෙම අරන් යන්න දෙන්න බෑ. අපි මහජන මන්ත්‍රීවරු. මුලින්ම ජනතාවගේ මතය විමසන්න.” කුසුමා ගුගුළාය.


වැලිමඩින් බේරුණද රාජරත්නයන් කොළඹදී අත්අඩංගුවට ගැනිණ. 1957 දී ඔහු වෙනුවෙන් වැලිමඩ අසුන නියෝජනය කළ කුසුමා අනතුරුව 1960 මාර්තු සහ 1960 ජූලි මහ මැතිවරණවලදී ජාතික විමුක්ති පෙරමුණෙන් තරග කර ඌවපරණගම අසුන දිනුවාය.


වරක් යුගොස්ලෝවියානු තානාපතිවරයා රටින් පිට කළ යුතු යැයි ඇය හඬක් නැගුවාය. සමසමාජ නායකයන් සමඟ කුමන්ත්‍රණය කර දෙමළ කතෝලික සමසමාජ ආණ්ඩුවක් හදන්නට යුගොස්ලෝවියානු තානාපතිවරයාවූ ජාන් කොස්වින් උත්සාහ කරන බව ඇගේ චෝදනාව විය.


මෙය අසා සමසමාජ පක්ෂය කලබලයට පත්වූ අතර තානාපතිවරයාට සියරට බලායාමට සිදුවිය. මෙවැනි පෙරළියක් කළ ප්‍රථම කාන්තාව ලෙසද කුසුමා රාජරත්න ඉතිහාස ගත වනු ඇත.

 

 

 

 

 

 

 

 


පුෂ්පනාත් ජයසිරි මල්ලිකාරච්චි