1815 ඓතිහාසික උඩරට ගිවිසුම අනුව, සිංහල ද්වීපයේ පාලනය, ඉංග්‍රීසීන් වෙත පැවරුණු නමුත්, ශතවර්ෂාධික කාලයක් අවිච්ජින්නව පැවති හා භූක්ති විඳි නිදහස නැති වී යෑමේ තර්ජනය හමුවේ. උඩරට සිංහල නායකයන් දැඩි කනස්සලට පත්වී, ඉංග්‍රීසි පාලනයට විරුද්ධව යමින්, ස්වාධීන සිංහල රාජ්‍යයක් පිහිටුවීමේ ගිනි පුපුර, අවුළුවා ලීමට පටන් ගත්තේ, ජාත්‍යානුරාගයෙන් හා දේශානු රාගයෙන් මත් වෙමිනි.
 
මෙහිලා මුල්ම ගිනිදැල්ල නැඟී ආවේ, තෙල්දෙණියේ මහඇළ විදානේ සහ මඩුගල්ලේ උඩගබඩා නිලමේ වෙතිනි. මෙයින් ඇවිළී ගිය ගිනිදලු, පළාතෙන් පළාතට පැතිරීගොස් වලපනේ රණකාමී ජනතාව හා ඌවේ දේශප්‍රේමී ජනතාව ද එක්වීමෙන් ප්‍රබල වූ අතර වාරියපොල සුමංගල හා අඹගොල්ලේ හිමිවරුන්ගේ මග පෙන්වීම යටතේ, වීර කැප්පෙටිපොල හා මඩුගල්ලේ නිලමේගේ මෙහෙයවීමෙන්, වඩාත් උත්සන්න විය.
 
කැරැල්ල මැඩ පැවැත්වීමට, අති බිහිසුණු අන්දමින් ප්‍රතිප්‍රහාර එල්ල කළ ඉංග්‍රීසීහු, ඉන්දියාවෙන්ද ගෙන්වා ගත් ද්‍රවිඩ හමුදාවන්ද එක්කාසු කර ගනිමින්, කැරැල්ල මර්දනයකොට, කැප්පෙටිපොල - මඩුගල්ලේ දිසාවේවරුන් මෙන්ම, තෙල්දෙණිය මහඇළ විදානේ, මඩුගල්ලේ උඩ ගබඩා නිලමේ ආදී රණශූරයන්ගේ හිස් ගසා දමා, කැරැල්ලට සම්බන්ධ සෙසු සටන්කාමීන්ගේ දේපළ ඉඩ කඩම්, රාජසන්තක කරන ලදහ.
 
අනතුරුව, ආගන්තුක වැවිලි විශේෂයක්වන තේ, කෝපි, කොකෝ  යනාදිය වගා කිරීමට උඩරට උචිත ප්‍රදේශයක් බවට තීන්දු කර, 1821 ජුලි 14 වැනි දින රජයේ ගැසට් නිවේදනයකින්, ඉඩම් විකිණීම වලංගු කරන ලදී. මෙසේ, සිංහලයන්ගෙන් පැහැර ගත් ඉඩම්, අක්කර දහස් ගණනක්, එක් අක්කරයක් සිලිං පහ බැගින් මිල කර සුද්දන්ටම විකුණන ලද අතර 1839 දී මෙම වැවිලි ව්‍යාපාරයේ සේවය සඳහා දකුණු ඉන්දීය ද්‍රවිඩයන්, සිංහලයන්ගේ මාන්නයට අභියෝග කරමින්, මෙරටට ගෙන්වා ගන්නා ලදී.
මෙයින් ඉතා විශාල වශයෙන් ලාභ උපදවාගත් ඉංග්‍රීසීහු ලිඛිත ඔප්පුවකින් අයිතිය ඔප්පු කිරීමට අපොහොසත් වූ කැලෑ ඉඩම්, පදිංචි නොවූ ඉඩම්, මඩ ඉඩම් රාජසන්තකකොට, සුළු මිල ගණන්වලට වැවිලිකරුවන්ටම විකුණන ලදහ.
 
වැවිලි ව්‍යාපාරය පුළුල්වත්ම, ඒවා නඩත්තු කිරීම සඳහා ඉන්දීය ද්‍රවිඩයන් තව තවත් ගෙන්වා ගැනීම වර්ධනය වී 1847 දී බදු රැසක්ද පනවන ලදී. සිය ඉඩම්ද අහිමිව, අසරණව සිටි ජනතාව මෙයට විරුද්ධව 1847 දී ගුන්නෑපාන ආරච්චිගේ නායකත්වයෙන්, මහනුවර දිසාපති හමුවීමට පැමිණි නමුත්, බි්‍රතාන්‍ය හමුදාව විසින් ඔවුන් පලවා හරින ලදහ.
 
මෙයින් පසු 1848 දී යළිත් කැරැල්ලක් ඇතිවී මාතලේ ගොන්ගාලේගොඩ බණ්ඩා, වනවාසල ඬේවිඞ් නමින් රජු ලෙසත්, පුරන්අප්පු එහි අදිකාරම් හැටියටත් පෙනී සිට, කැරැල්ල මෙහෙයුවත්, බිතාන්‍ය සන්නද්ධ හමුදා ඉදිරියේ දරුණු මිනිස් ඝාතනයකින් හා දේපළ විනාශයකින්, කැරැල්ල අසාර්ථක විය. කැරැල්ලට අනුශාසනා දුන් කුඩාපොල හිමියන්ද, ගොන්ගාලේගොඩ බණ්ඩා හා පුරන්අප්පු යන වීරයන්ද ඉංග්‍රීසීන් විසින් වෙඩි තබා මරා දමන ලදහ. 
 
චීවරධාරී බෞද්ධ භික්ෂූ නමක් ඉංග්‍රීසීන් විසින් පළමුවරට ඝාතනය කිරීම පිළිබඳව ඉංග්‍රීසීන් පවා උරණවූ, අතර එහි ප්‍රතිඵලයක් වශයෙන් ආණ්ඩුකාරවරයා ඇතුළු ඊට සම්බන්ධ නිලධාරීන්, බි්‍රතාන්‍ය ආණ්ඩුව විසින් සේවයෙන් පහකර  ආපසු රටට ගෙන්වා ගන්නා ලදහ. එසේම, ඉංග්‍රීසින් 1848 නිදහස් සටන මෙහෙය වූ කැරලි නායකයන්ගේ ඉඩම් කොල්ලකා, එම ඉඩම්වල ඉන්දීය කම්කරුවන් පදිංචි කළ යුතු බවට, යටත් විජිත භාර මහලේකම්ව සිටි සර් එමර්සන් ටෙනන්ට් විසින් 1848 අගෝස්තු 14 වැනි දින ටොරින්ටන් ආණ්ඩුකාර තැන වෙත යෝජනා කරන ලදී.
 
මෙයින් පසු තව තවත් ඉඩම් රජය සතුකර ගැනීමේ අභිලාෂයෙන් ඉංග්‍රීසි පාලනය, 1856 දී විහාර දේවාල ඉඩම් ලියාපදිංචි කිරීමේ ආඥා පනත පනවා ලක්ෂ ගණනින් යළිත් ඉඩම් කොල්ල කෑහ.
 
1897 දී පැන වූ මුඩුබිම් පනත අනුව, කැලෑවක්, හේනක්, මුඩුබිමක්, පදිංචි නොවූ ඉඩමක්, යමෙකුට අයිතිවී එය ඔප්පුවකින් ඔප්පු කළ නොහැකිවීනම්, ඒ හැමෙකක්ම රාජසන්තක කොට, ඉංග්‍රීසින්, විසින් කොල්ල කා ගන්නා ලදී.
 
 
1855 සිට 1902 දක්වා කොල්ල කාගත් ඉඩම් සමහරක් මෙසේය: 
 
කාලය ආණ්ඩුකාර තැන අක්කර ප්‍රමාණය
 
1855-1860 සර් හෙන්රි වෝර්ඞ් 111,596
1860-1865 සර් චාර්ල්ස් මැකාර්ති 156,893
1866-1871 සර් එච්. රොබින්සන් 229,926
1872-1877 සර් විලියම් ග්‍රෙගරි 269,905
1878-1883 සර් ජේම්ස් ලොන්ඩන් 114,828
1890-1895 සර් ඒ. ඊ. හැව්ලොක් 87,327
1896-1902 සර් ජේම්ස් රිජ්වේ 185,313
 
එකතුව 1,155,788
 
මෙසේ ඉංග්‍රීසි අධිරාජ්‍යවාදීන් විසින් ඉඩම් කොල්ලකා ගැනීමෙන් අනතුරුව, මෙරට අධිරාජ්‍යවාදී ගැති සිංහල, ද්‍රවිඩ, මුස්ලිම් ධනපතියන්ද කජු වගාව යටතේ ඉඩම් කොල්ලකෑමේ යෙදුණේ. සූක්ෂ්ම අත්දමිනි, මන්නාරම, වවුනියාව, යාපනය හා මඩකළපුව දිසාවලින් ඉඩම් අක්කර 14,195 ක් මිලදී ගත්තවුත් අතර ද්‍රවිඩයන් 667 ක්ද, සිංහලයන් 43 ක්ද මුස්ලිම් 30 ක්ද වශයෙන් මෙම ඉඩම් කොල්ලයේ යෙදී ඇත. එයින් නම් සමහරක් මෙසේය.
 
නම දිසාව අක්කර ගණන
 
සුන්දරේෂන් වවුනියාව 50
ආර්. නාගේෂන් - ගාල්ල එම 100
එම්. විශ්වලිංගම් - යාපනය එම 50
වී. මයිල්වේ - යාපනය එම 50
එස්. අරුලන්දම් - කොළඹ එම 100
සී. රඝුනාදන් එම 100
පී. පද්මනාදන් - කොළඹ එම 100
එස්. කදිරවේළු පිල්ලේ එම 100
උත්තරමත්ත්‍රී වයි ආර්. පියසේන එම 50
එල්. සෙල්වරත්නම් - පේරාදෙණිය එම 25
දෙස් එල් ඥාණ නාදන් - අනුරාධපුර එම 25
සී. කුමාරවර්ති - නෝටන්බි්‍රජ් එම 50
නෙල්සන් සෝමදාස - කුරුණෑගල එම -
එස්. සෙල්වදොරේ - හැටන් එම 50
පී. මුතුලාගු - මාතලේ එම 50
ඒ අබ්දුල් කාදර් - කොළඹ එම 100
සී. කරුණා පගාශන් - උඩුපුස්සැල්ලාව එම 25
ටී. පුපාලසිංහම් - නුවරඑළිය එම 25
එස්. තම්බයියා - සීතාඑළිය එම 25
එස්. මානික්කවාසගර් - වතුමුල්ල එම 25
එස්. සිවසෙල්වම් - කඳපොල එම 25
එස්. තම්බලවානන් - කොළඹ එම 100
එස්. තම්බලවානන් සහ පිරිස - මන්නාරම එම 600
 
එසේම, මෙයට අමතරව ඉඩම් අක්කර 78,612 ක් හා රුපියල් 78,70,759/46 ක විදේශ විනිමය ප්‍රමාණයක්ද අධිරාජ්‍යවාදී සමාගම්වලට, බෝරකාරයින්ට, දේශීය ධනපතියන්ට බෙදාදී ඇත.
 
1967 නොවැම්බර් මස 04 වැනි දින මැතිසබයෙන් අනාවරණය වූ තවත් ඉඩම් කොල්ලයක එන විස්තර අනුව, පහත සඳහන් මැති - ඇමැතිවරුන්ද ඊට ඇතුළත්ව ඇත.
 
 
මැති - ඇමැති නම මිලදී ගත් අක්කර 
 
දිස්ත්‍රික්කය ගණන 
 
අයි. ඇම්. ආර්. ඒ. ඊරියගොල්ලේ (ඇමැති) කුරුණෑගල 172
ඇන්. විමලසේන (උප ඇමැති) මාතලේ 100
එන්. එම්. අප්පුහාමි (උත්තර මන්ත්‍රී) අනුරාධපුරය 200
ඊ. ඇල්. සේනානායක (ඇමැති) අනුරාධපුර/මාතලේ 700
ජී. ජී. පොන්නම්බලම් (මන්ත්‍රී) යාපනය 200
එස්. බී. ලේනව (මන්ත්‍රී) අනුරාධපුරය    200
එන්. සින්නලෙබ්බෙ (මන්ත්‍රී) මඩකළපුව 100
වයි. ආර්. පියසේන (උත්තර මන්ත්‍රී) හම්බන්තොට 200
ඒ. ආර්. එම්. නවීන් (උත්තර මන්ත්‍රී) අනුරාධපුරය 50
පී. බී. ඒ. වීරකෝන් (මන්ත්‍රී) මාතලේ 100
ඇම්. ඒ. ඩැනියල් අප්පුහාමි (මන්ත්‍රී) මාතලේ 100
රස්කින් ප්‍රනාන්දු (මන්ත්‍රී) පොළොන්නරුව 3000
බෞද්ධ හිමි නමක්ද ඒ අතර වූහ.
මාලේවන ඤාණිස්සර හිමි මොණරාගල 100
ප්‍රධාන වෙළෙඳ ආයතන කිහිපයක්ද මීට ඇතුළත්ය.
ආයතනයේ මිලදී ගත් අක්කර 
නම දිස්ත්‍රික්කය ප්‍රමාණය
ලංකා දුම්කොළ සමාගම බදුල්ල 500
කාසන් සමාගම එම 1000
මුසාජි සමාගම එම 1000
මුසාජින් සහ පිරිස මොණරාගල 100
දිවුල පැලැස්ස පාමින් බදුල්ල 1500
එල්. එස්. වුවයිස් බදුල්ල 1000
ජැපර්ජි සහෝදරයෝ මොණරාගල 1000
අබ්දුල් හුසේන් ජැපර්ජි වවුනියාව 500
සිලෝන් තියටර්ස් වවුනියාව   1000
කොළම්බු කමර්ෂල් පොළොන්නරුව 1000
සී/ස සල්ගල ප්ලාන්ටේෂන් මොණරාගල 2600
ලංකා තුරග තරඟ සමාජය පොළොන්නරුව 1000
එස්. අම්බලවානර් මන්නාරම 500
එස්.අම්බලවානන් සහ පිරිස වව්නියාව 500
එස්. අම්බලවානන් වව්නියාව/මන්නාරම 1700
ඩොලර් කෝපරේෂන් වව්නියාව/මන්නාරම 1300
සෝමාවතී වතු සමාගම මොණරාගල/පොළොන්නරුව 1200
 
 
මෙසේ බදු සහන යටතේ ලබාදී ඇති ඉඩම්වලට අමතරව පහත දක්වා ඇති අයුරු විදේශ විනිමය ප්‍රමාණයන්ද ඇමැතිවරුන් ඇතුළු සමාගම් ලබාගෙන ඇත.
 
 
නම විදේශ විනිමය රුපියල් ශත
 
සී. මුනාජින් 678,325.68
ඊ. ඇල්. සේනානායක (ඇමති) 14,366.00
සී/ස එම්. ඇන් ඩී රිටේල් මාර්කට් 655,892.36
සී/ස ලංකා දුම්කොළ සමාගම 549,724.48
ඩී. අතපත්තු (ඇමති) 166,457.60
රස්කින් ප්‍රනාන්දු (මන්ත්‍රී) 122,964.00
ආර්. එල්. ජයකොඩි 135,609.00
ඇල්ප්‍රඞ් සොයිසා 76,836.00
පී. බී. ඒ. වීරකෝන් (මන්ත්‍රී) 9800.00
අයි. ඇම්. ආර්. ඒ. ඊරියගොල්ලේ (ඇමැති) 9500.00
ඒ. එස්. එම්. ජගනාදන් 91,393.00
 
නුවරඑළිය හිටපු මන්ත්‍රීවරයෙකු වන ටී. විලියම් ප්‍රනාන්දු මහතා ඉංග්‍රීසි පාලකයන් හා මෙරට ධනපතියන්, සිංහලේ ඉඩම් කොල්ලයේ යෙදී තිබූ අයුරු වගකිවයුත්තන්ගේ දැඩි අවධානයට යොමු කරවමින් ජනතාව ඉදිරියේ තබා ඇති 1962 මුද්‍රිත ‘සිංහලේ ඉඩම් කොල්ලය’ නමැති ප්‍රකාශනය ඇසුරින් මෙම ලිපිය සකස් විය.
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
එල්. ඩබ්ලිව්. පුෂ්පකුමාර