මහජන එක්සත් පෙරමුණේ නායක ඇස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතා හමුවීමට සිළුමිණ කැමරා ශිල්පියා ඊයේ උදේ හොරගොල්ලට යන විට ඒ මහතා සිය දියණියන් 
දෙදෙනා සහ පුතා සමග කිරිබත් කෑමට සූදානමින් සිටියේය.

 

 

ළඟ එන සිංහල හින්දු අලුත් අවුරුදු සමයේ මතකට එන ශ්‍රී ලංකාවේ ප්‍රභූ පවුල් පිළිබඳ ලැයිස්තුවේ පෙරමුණ ගන්නේ අගමැති බණ්ඩාරනායක මැතිඳුන්ගේ පවුලයි. කිතුනු ලබ්ධිකයකු ලෙස උපත ලැබ ලොව ඉහළම තලයේ විශ්වවිද්‍යාලයක අධ්‍යාපනය හදාරා බටහිර පන්නයේ සිරිත් විරිත් අගැයූ ප්‍රභූවරයකු වුවද ඒ සියල්ලම අතහැර දමා පොදු ජනතාවගේ ආදරය දිනාගැනීමට සමත්වූ එතුමාගේ පවුල් ජීවිතයද එලෙසින්ම ආදර්ශවත්ය. 

සමකාලීන සිංහල ප්‍රභූවරුන්ගේ නිරහංකාර චර්යා රටාවන්ට බොහෝ ඇලුම්කළ බණ්ඩාරනායක තරුණයා මෙතෙක් කලක් වැලඳගෙන තිබූ, සංකර සිරිත් විරිත්, භාෂාවන් පමණක් නොව බාහිර ඔපයද ඉවත්කර මෙරටදීම නිෂ්පාදනය කළ සුදු කපු පිළියෙන් සැරසී රජසබය නියෝජනය කළේය. අගමැති තනතුරේ දිවුරුම් දුන්නේය. ජාතික හා ජාත්‍යන්තර තලවල සභාවන් නියෝජනය කළේය. 


1956දී අග්‍රාණ්ඩුකාර ශ්‍රීමත් ඔලිවර් ගුණතිලකයන් හමුවේ බණ්ඩාරනායක අගමැතිඳුන් දිවුරුම් දුන්නේ ජාතික ඇඳුමින් සැරසුණු අමාත්‍ය මණ්ඩලය සමගිනි. අගමැතිවරයා පමණක් නොව ඔහුගේ බිරිඳ වූ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියද හෙළ සිරිතට අනුව හැඩගැසුණු සුදු ඔසරියෙන් සැරසුණු කුලකතක වූ අතර දරුවන්ටද හෙළ සිරිත් පුහුණුකර තිබිණ. සිංහල අලුත් අවුරුදු මේසය කැවුම් කිරිබත් හා ගැමි ආහාරවලින් පිරී තිබූ අතර කෙතරම් රාජකාරි තිබුණත් සිංහල අවුරුදු චාරිත්‍ර ඉටුවූයේ තම මන්දිරය තුළම සියල්ලන්ගේ සහභාගිත්වයෙනි. ගමත් රජමැදුරත් පන්සලත් ඒකරාශි කොට නව සිංහල දේශයක් ගොඩනගන්නට ලබාදුන් පූර්වාදර්ශයක් ලෙස එකල මෙම පිළිවෙත හැඳින්විණ. 


අරලිය ගහ මන්දිරයේ දොරටු විවෘත වූයේ සුඛෝපභෝගී රිය, අශ්වකරත්ත වලින් මහේශාක්‍ය ලීලාවෙන් පැමිණෙන ප්‍රභූවරුන්ට පමණක් නොව කහ සිවුරෙන්, සුදු ජාතික ඇඳුමින් හෝ ගැමි ඇඳුමින් සැරසී පැමිණෙන සඟ - වෙද - ගුරු - ගොවි - කම්කරු හා සිසු ප්‍රජාව වෙනුවෙනි. 


චිරාගත සම්ප්‍රදායානුකූලව අරලියගහ මන්දිරයේ පැවති මත්පැන් සාදවලට තිත තැබුණේ අමද්‍යප ව්‍යාපාරයට එක්වූ බණ්ඩාරනායකවරුන්ගේ ප්‍රතිපත්ති නිසාය. එසේම ලංකා මහිලා සමිති ව්‍යාපාරය තුළින් සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය හෙළ සිරිත් විරිත් පිළිපදින, ස්වභක්තියෙන් නැඟී සිටීමට වෙර දරන කුල කාන්තාවන්ට රජමැදුරේ දොරටු විවර කළාය. ගමට ගොස් ඔවුන් සමග පෙළට හිඳ ඇඹුලේ රසවින්දාය. 


විරුද්ධවාදීන්ගේ හිත දිනාගැනීම හා ඔවුන්ගේ අදහස්වලට ඇහුම්කන්දී එකඟතාවකට පැමිණියන් යන ක්‍රියාපිළිවෙතද බණ්ඩාරනායක අගමැති යුවළගේ පැවති වැදගත් ගුණාංගයන් අතර විය. විරුද්ධවාදියාගේ අදහස් තමන්ට නොගැළපෙන්නේනම් ඔවුන්ගෙන් පළිගැනීම හෝ හෙළාදැකීම ඔවුන්ගේ සිරිත නොවීය. 

 

ඇස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතා අතිවිශාල වැඩි ඡන්ද සංඛ්‍යාවකින් අත්තනගල්ලේ පාර්ලිමේන්තු ආසනයට තෝරා ගැනීම පිළිබඳ ප්‍රතිඵල ඊයේ කොළඹ කච්චේරියේදී ප්‍රකාශ කළ අවස්ථාවෙහි පරාජයට පත්වූ අපේක්‍ෂකයා වන සී. ගුණසේකර මහතා සමග අතට අතදී කථා කරයි. වමෙන් සිටින්නේ ඡන්දය විමසීම භාර නිලධාරි තැන්පත් පී. කුමාරස්වාමි ඒජන්ත මහතාය.

 

බණ්ඩාරනායක මහතා තම මව් පක්‍ෂයවූ එජාපයෙන් එළියට ආවේත් මහජන එක්සත් පෙරමුණ සමග නව මාවතකට පිවිසියේත් සතුරා කෙරෙහි වෛරයෙන් නොව ජනතාවගේ ප්‍රාර්ථනා පලගැන්වීමටය. එලෙසම සිරිමාවෝ මැතිණියද සමාජවාදීන් සමග අත්වැල් බැඳගත්තේත් එම ප්‍රගතිශීලී ගමන පෙරට ගෙන යාමටය. නමුත් ඔවුන්ට අන්තවාදින්ගේ හිංසනයට ලක්වීමට සිදුවිණ. 


1947 අගෝස්තු මහ මැතිවරණයේදී බණ්ඩාරනායක මැතිඳුන් අත්තනගල්ල අසුන දිනුවේ අතිවිශාල වැඩි ඡන්ද ගණනකිනි. කොළඹ කච්චේරියේදී ඡන්ද ගණන් කළ අවස්ථාවේ ජයග්‍රහණය ලැබූ එතුමා කළ පළමු කාර්ය වූයේ පරාජිත අපේක්‍ෂකයාවූ සී. ගුණසේකර වෙතට පැමිණ අතට අතදී උණුසුම් ලෙස කතාකිරීමය. එසේම යම් යම් වකවානුවලදී තමන්ට දේශපාලනික ලෙස අභියෝග කළාවූ ඩඞ්ලි, ජේ. ආර්., ඇන්. ඇම්. හා චෙල්වනායගම් වැනි විවිධ දේශපාලන මතධාරීන් සමග තර්කයෙන්, මෙන්ම ප්‍රතිපත්තිමය තීරණවලින් සටන් කළ නායකයකු ලෙසද බණ්ඩාරනායක ප්‍රසිද්ධියක් උසුලයි. 


මෙවැනිම දේශපාලනික හා පෞද්ගලික ප්‍රහාර රැසකට බණ්ඩාරනායක මැතිනියටද මුහුණදීමට සිදුවූ අතර සී. පී. ද සිල්වා ඇතුළු මැති ඇමැතිවරුන්ගේ දේශපාලන කුමන්ත්‍රණය සිට තමන්ගේ ආණ්ඩුව පරාජය වූ අවස්ථාවේ ඇය එය හැඳින්වූයේ “පිටිපස්සෙන් සිට පිහියෙන් ඇනීමක්” ලෙසය. එම කියමන අදටත් ගැළපෙන්නේ “ආප්ප න්‍යායට පමණි” ඇය සතුරාට පාඩමක් ඉගැන්වූයේ ජනතාව ලවාම ඔවුන් පරාද කරමිනි. 


දේශපාලනයේ සතුරන් හෝ මිතුරන් හෝ නොමැත යන වදන සැබෑ කරමින් කලක් මිතුරු සිටි අය පසුව සතුරන් වූ හැටිත් සතුරන්ව සිටි අය මිතුරන් වී ඇමැති පදවි ලැබූ අයුරුත් බණ්ඩාරනායක මැතිනියට අරුමයක් නොවිණ. 


අපහාසයේදීද පරාජයේදීද නොසැලුණු ඇය ස්වාමිපුරුෂයාගේ මරණයේදීද, පක්‍ෂයේ අභ්‍යන්තර කඩාවැටීම් වලදීද, තමන්ගේ ප්‍රජා අයිතිය අහිමිවූ කුරිරු අවස්ථාවේද, රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණ හා 71 තරුණ කැරැල්ල වැනි සන්නද්ධ අවස්ථාවන්හිදීද නොසැලී නොබියව හැසිරුණාය. ජාත්‍යන්තර ගැටලු වලදීද කිසිදා ඇගේ දර්ශනයට බාධාවක් නොවිණ. 


“චාම් ජීවිත ගතකිරීමට පුරුදු වන්න. සුඛවිහරණය සඳහා ඔබේ මුදල් වැය නොකරන්න” යැයි මින්නේරිය ගුවන්තොටු -පොළේ පැවති රැස්වීමකදී වරක් ඇය පැවසුවාය. “පොළොන්නරුව පෙරදිග ධාන්‍යාගාරය බවට යළි පත්කිරීමට අත දෙන ලෙස” ජනතාවගෙන් ඇය ඉල්ලා සිටියාය. ඇය හෙළ බතට, එළවළුවට හා මාළුවට ඇලුම්කළ ගෘහණියක බැවිණි. 


1946 වකවානුවේ බි්‍රතාන්‍ය පාලනයන්ගේ විශ්වාසය දිනාගත් සිංහල ප්‍රභූවරුන් අතර සර් සලමන් ඩයස් බණ්ඩාරනායකයන්ට හිමිවන්නේ අද්විතීය ස්ථානයකි. ඔහුගේ ආරෝහ පරිනාහ දේහ සම්පත්තිය හා මහාත්ම ගුණය පිළිබඳව දෙස් විදෙස් පුවත්පත් පුළුල් ප්‍රචාරයක් දී තිබිණි. 

 

1956 බණ්ඩාරනායක ආණ්ඩුව බිහිවූදා බණ්ඩාරනායක මහතා සිය පියාණන්ගේ සොහොන් ගැබ වෙත ගිය අයුරු.

 

තෙතිස් වියේදීම මහමුදලි තනතුරට හිමිකම් පෑ ඔහු වින්ඩිසර් ආදිපාදවරයා හෙවත් වේල්ස් කුමාරයා ලෙස ප්‍රචලිත වූ බි්‍රතාන්‍යයේ ඔටුන්න හිමි කුමරුගේ සමීපතම මිත්‍රයකු විය.

 

එහෙත් සියනෑ කෝරළයම අත්පත් කරගත හැකි තරමේ ඉඩම් දේපොළ ධනය හා තේජස ඇතිව විසීමට දෛවයෙන් උරුමය තිබූ එතුමා කිසි විටක සාමාන්‍ය ජනතාව සූරාකෑ බවක් සඳහන් නොවේ. ඒ වෙනුවට තම ඉඩකඩම් නිර්ධන පන්තියේ ජනතාවගේ අවශ්‍යතා සඳහා කැප කළ බව “සර් සොලමන්” චරිතාපදානයේ සඳහන් වේ. 


“මිනිසාගේ පරම යුතුකම මිනිසාට සේවය කිරීමයි” යනුවෙන් තම පුතණුවන්වූ ඇස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායක අගමැතිඳුන්ගේ දර්ශනයට මූලාශ්‍රය ලැබෙන්නට ඇත්තේද පියා ගැමි ජනතාවට කළාවූ මෙම උපකාර නිසා විය යුතුය. 1946 අගෝස්තු 6 වැනිදා “සිංහල බලය” පුවත්පතේ මුදලිතුමාගේ අභාවය ගැන පළවූයේ මෙවන් වදනකි. 


“සර් සලමන් ඩයස් බණ්ඩාරනායක මහමුදලිතුමන් වෙතින් ඉඩම් හිමියන්වී ජීවිතාලෝකය උදාකරගත්තෝ අනන්තය. මහමුදලි පදවිය තුළ පුරා තිස් එක් අවුරුද්දක් ගෙවූ කාලය පුරාම යුක්තියත් සාධාරණයත් එතුමා ජනතාවට සැලසුවේය. ජනතාව වෙනුවෙන් අන්තර්ජාතික මණ්ඩල පවා නියෝජනය කළ මෙම මහත්මාගේ අභාවය නිසා සිංහල ජාතිය දිළිඳු වුණේය. ලංකාද්විපය අඳුරු වුණේය.”


එහි මෙසේද සටහනක් වෙයි. 


“එහෙත් තම අංශයට වෙනත් අංශයක යෙදෙමින් ජාතියටත්, ඡන්ම භූමියටත්, උත්තරීතර සේවාවක යෙදෙන කවදා හෝ එහි මස්තකවතංශවීමේ උරුමය ලැබූ පුත්‍රරත්නයක් ජාතියට කැප කර අභාවප්‍රාප්තවූ මෙබඳු පින්වතුන් පහළවන ජාතියක් කවදාවත් අභාග්‍ය සම්පන්න නොවන්නේය. අසරණ නොවන්නේය” යනුයි. 


රාජ්‍ය පාලනයට පුතු පිළියෙල කිරීම භාරධූර කාර්යයකි. “තොටිල්ල පදවන අත ලොව පාලනය කරයි” යන අනාගත වැකියද ඊට සමාන බව බණ්ඩාරනායකවරු ඔප්පු කළහ. 


තමන්ට නිවැරදි මග පෙන්වූ තම පියාණන්ගේ සොහොන් ගැබ වෙත 1956 මහජන ආණ්ඩුව බිහිවූ දිනම සුදෝ සුදු මල් කලඹ රැගෙන ප්‍රිය බිරිඳ හා දරුවන් සමග ගොස් ගුණානුස්මරණය කළ අයුරු පැරණි කළගුණ දත් ජනතාවට අමතක නොවේ.

 

 

 

 

පුෂ්පනාත් ජයසිරි මල්ලිකාරච්චි