(සිරංගිකා ලොකුකරවිට)

ගාල්ල නගරයෙන් අද (11) දින කොරෝනා ආසාදිතයන් 25ක් අලුතෙන් වාර්තාවීමත් සමඟ මෙතෙක් සංචරන සීමා පනවා තිබූ වසම් 6 ට අමතරව දංගෙදර සහ දෙද්දුගොඩ දකුණ යන ග්‍රාම නිලධාරී වසම් දෙකට ද අද (11) සිට සංචරණ සීමා පනවා තිබේ.

මෙම තීරණ ගනු ලැබුවේ අද (11) සවස ආණ්ඩුකාර විලී ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡාවක දී ය.

පෙරේදා (09) ගාල්ල නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ කරන ලද පීසීආර් පරීක්ෂණ 1729කින් කොටසක ප්‍රතිඵල ලැබී ඇති අතර මේ වනවිට ඉන් 25 දෙනකු කොරෝනා ආසාදිතයන් බව හඳුනාගෙන තිබේ.  ඊට අමතරව සැක සහිත 20 දෙනකු පිළිබඳ තවදුරටත් විශ්ලේෂනණ කටයුතු සිදුකෙරෙමින් පවතින අතර සෞඛ්‍ය අංශ පවසන්නේ තවත් පීසීආර් පරීක්ෂණ ගණනාවක ප්‍රතිඵල ලැබීමට නියමිත බවය.

ගාල්ල නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ කොන්ගහ, තලාපිටිය, මිලිද්දුව, මකුළුව, දෙද්දුගොඩ උතුර, ඇත්තිලිගොඩ දකුණ යන මෙතෙක් සීමා සහිත සංචරණ සීමා පනවා තිබූ ග්‍රාම නිලධාරී වසම් ද ඇතුළුව දංගෙදර නැගෙනහිර සහ දෙද්දුගොඩ දකුණ ග්‍රාම නිලධාරී වසම් දෙකට ද දැඩි සංචරණ සීමා පැනවීමට කටයුතු කර ඇත. නැවත දැනුම් දෙනතුරු මෙම ප්‍රදේශවල පදිංචි කිසිදු පුද්ගලයකුට අත්‍යාවශ්‍ය නොවන හේතුවකට තම නිවසින් පිටතට යා නොහැකි අතර පිටස්තර පුද්ගලයන්ට මෙම ප්‍රදේශයට ඇතුළුවීමට ද අවසර නොලැබේ.