(නිමල කොඩිතුවක්කු)
 
අධිවේගී මාර්ගයේ ගමන් ගන්නා මගී ප්‍රවාහන බස්රථ කොට්ටාවේ සිට ධාවනය වන බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී(ධාවන) ඒ. එච්. පණ්ඩුක මහතා ලංකාදීපයට පැවසීය.

 
හෝමාගම පොලිස් බල ප්‍රදේශයට නිරෝධායන ඇඳිරිනීතිය පැනවීම හේතුවෙන් මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය වසා දමා ඇති බැවින් මෙම පියවර ගෙන ඇතැයිද ඒ මහතා කියාසිටියේය.
 
ඒ අනුව එම බස් රථ සේවාව භාවිතා කරන මගීන් කොට්ටාව නගරය වෙත පැමිණෙන ලෙසට පණ්ඩුක මහතා මගී ජනතාවගෙන් ඉල්ලීමක් කරනු ලබයි.
 
හෙට(29) මධ්‍යම රාත්‍රිය සිට බස්නාහිර පළාත තුළට කිසිදු බස් රථයක් ඇතුලුවීම හෝ පිටවීම සිදු නොවන බවද ඔහු සඳහන් කළේය. බස්නාහිර පළාතට  නිරෝධායන ඇඳිරිනීතිය පැනවීම හේතුවෙන් මෙම පියවරගත් බව පණ්ඩුක මහතා සඳහන් කළේය. නිරෝධායන ඇඳිරිනීතිය අවසන් වනතෙක් මෙම තීරණය ක්‍රියාත්මක බවද ඔහු පැවසීය.
 
එම කාළය තුළ අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සඳහා මුහුන දෙන අපේක්ෂකයන්ට සහ රෝහල් ප්‍රවාහන සේවා ඇතුලු අත්‍යවශ්‍ය ප්‍රවාහන සේවා පමණක් බස්නාහිර පළාත තුළ ක්‍රියාත්මක බවද ඔහු වැඩිදුරටත් පැවසීය.