අරගලයේ රතු රෝස මල රෝසා ලක්සම්බර්ග්

02 වැනි කොටස

 

 

රචකයන් ආරූඪ නම් වලින් හැඳින්වූ අතර රෝසා පෙනී සිටියේ ‘ජුලියස්’ (රෝම සමූහාණ්ඩුවේ නිර්මාතෘ) යන නාමයෙනි. ඇය තම ලිපි මගින් ඉමහත් විප්ලවයක් කළාය. ජර්මන් රජය විසින් නැවත ඇය සිරභාරයට ගත් අතර වසර දෙකහමාරක් සිරගෙවල් දෙකක දුක්වේදනා විඳි රෝසා හැකි හැමවිටම ඇගේ අදහස් මුදාහැරියාය. ඇය අන්තෝනියෝ ග්‍රාම්චි මෙන් සිපිරි ගෙදරදී සිය ලිවීම අඛණ්ඩව සිදුකළාය. ඇගේ දේශපාලන මිතුරෝ ඈ ලියූ ලිපි නැවත නැවතත් ප්‍රසිද්ධියට පත්කරන්නට කටයුතු කළහ.

1917 දී යුද විරෝධී ස්පාටසිස්ට් ලීගය, ජර්මානු සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයෙන් බිඳී ගිය යුද විරෝධී පක්ෂයක් වූ නිදහස් සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය සමග අනුගත විය. මෙම සන්ධානගත වීම පාලක කයිසර්ගේ අස්වීමේ සිට ජර්මානු විප්ලවය (1918 - 1919) දක්වාම ඉදිරියට ගිය අතර පළමු වන ලෝක යුද්ධය අවසන් වූවා මෙන්ම ජර්මනිය තුළ අධිරාජ්‍යවාදී ආධිපත්‍යය බිඳ වැටෙන්නට පටන් ගත්තේද එතැන් සිටය. කයිසර් ගේ අස්වීමත් සමග නැවත සිරගත කොට සිටි රෝසා 1918 නොවැම්බර් මස 08 දින නිදහස් කෙරුණු අතර පක්ෂ නායකත්වය දැරූ කාල් ලිබ්නෙක්ට් ඊට පසුදා නිදහස් කරනු ලැබීය.


ජර්මානු විප්ලවය අතරතුර 1918 නොවැම්බර් මස මැදදී ඇය ස්පාටසිස්ට් ව්‍යාපාරයේ ප්‍රධාන ප්‍රකාශනය වූ ඍැා ත්‍ක්ට (රතු කොඩිය) පුවත්පත ආරම්භ කළාය. එම පුවත්පත මගින් සියලු දේශපාලන සිරකරුවන් සඳහා පොදු සමාව ලබා ගැනීමට සහ මරණ දඬුවම අහෝසි කිරීම සඳහා දැවැන්ත උද්ඝෝෂණයක් ගෙන යන ලදී. 1919 ජනවාරි 01 වැනිදා ස්පාටසිස්ට් ලීගය, නිදහස් සමාජවාදීන් හා ජර්මානු ජාත්‍යන්තර කොමියුනිස්ට්වාදීහු එක්ව රෝසා ලක්සම්බර්ග් හා කාල් ලීබ්නෙක්ට් ගේ නායකත්වය යටතේ ජර්මානු කොමියුනිස්ට් පක්ෂය නිර්මාණය කරන ලදී.


1919 ජනවාරි මාසයේ බර්ලින් හි ස්පාටසිස්ට්වරුන්ගේ කැරැලිකාරී නැගිටීම, නොසැලකිලිමත් කමින් සිදුකරන ලද බරපතළ වැරැද්දක් ලෙස සැලකූ නමුත් තමාගේ අනුදැනුමකින් තොරව නැගී සිටීමට අණදී තිබුණු හෙයින් පසුව ඊට සහයෝගය දැක්වූවාය. සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ නායක ෆෙඞ්රික් ඊබට් කැරැල්ල මැඩපැවැත්වීමට හමුදාවට අණ කළේය. රෝසා හා කාල්ලීබ්නෙක්ට් 1919 ජනවාරි 15 වැනි දින බර්ලිනයේදී රසිගල් බළකායේ අශ්වාරෝහක හමුදාව මගින් අත්අඩංගුවට ගන්නා ලද අතර බර්ලිනයේ ඊඞ්න් හෝටලයේ පවත්වාගෙන ගිය තම හමුදා මූලස්ථානය කරා රැගෙන එනු ලැබිණි. එහිදී මොවුන් දෙදෙනාව කපිතන් වොල්ඩමර් පැබ්ට්ස් හා ලුතිනන් හොර්ස්ට් ෆොන් ෆ්ලුග් හාර්ටුගේ විසින් විවිධ වධබන්ධන වලට ලක්කරමින් ප්‍රශ්න කරනු ලැබිණි. අවසානයේ රෝසා හා කාල් ලීබ්නෙක්ට් මරා දැමීමට අණ කෙරුණු අතර ඔටෝරුංග් නම් සොල්දාදුවා රෝසාගේ හිසට රයිෆල් බඳින් පහර දුන්නේය. එසැණින් බිම ඇදවැටුණු ඇයට නැවතවරක් හිසට රයිෆල් පහරක් එල්ල විය. සිහිසුන්ව බිම ඇද වැටී සිටි ඇයව මෝටර් රථයකට දමා ගත් ඝාතකයෝ නැවත නැවතත් පිස්තෝල මිටින් පහර දෙන්නට වූහ. අනතුරුව ලුතිනන් හොර්ස්ට් විසින් රෝසාගේ හිසට පිස්තෝලය එල්ල කර වෙඩි තැබුවේය. මෙසේ ඇයව ඝාතනය කොට බර්ලිනයේ ලෑන්ඞ්වර් ඇළට විසිකර දැමූහ.
එසේම කාල් ලීබ්නෙක්ට්ටද වෙඩි තබා ඝාතනය කළ අතර ඔහුගේ සිරුර හඳුනා නොගත් පුද්ගලයෙකු සේ නම් කොට රෝහල් මෘත ශරීරාගාරයට බාරදෙනු ලැබිණි. රෝසා ලක්සම්බර්ග්ගේ මරණය සම්බන්ධයෙන් ඝාතකයන් වාර්තාව තබන ලද්දේ රෝසා ලක්සම්බර්ග්ගේ ක්‍රියාකාරකම් නිසා කෝපාන්විත කැරලිකරුවන් විසින් ඝාතනය කළ බවය. පැනයාමට තැත් කිරීමේදී කල් ලීබ්නෙක්ට් වෙත වෙඩි තැබූ බව වාර්තා කරන ලදී. රෝසාගේ ඝාතනයෙන් මාස හතරකට පමණ පසු එනම් 1919 ජුනි 01 වන දින ඇයගේ සිරුර සොයා ගැනීමට හැකිවූ අතර බර්ලිනයේ චැරිටි රෝහලේදී මරණ පරික්ෂණය පැවැත්විණි.


මිය යන විට 48 හැවිරිදි වියෙහි පසුවූ රෝසා ලක්සම්බර්ග්, මරා දමනු ලැබූ දිනයේ අවසන් වරට ඇය මෙසේ ලියා තිබුණාය. “බර්ලිනයේ අණ දෙන්නනි, ඔබලා අඥාන හෙංචයියන් පිරිසකි. ඔබලාගේ අණ සුළං ප්‍රවාහයට ගසාගෙන යනු ඇත. හෙට දවසේ විප්ලවයේ කාහල නාදය සියල්ල අබිබවා නැගී එනු ඇත. මා ඔබලාගේ භීතිය විය, අද දවසේද භීතිය වෙමි, අනාගතයේද භීතිය වන්නෙමි.”
දේශපාලනික වශයෙන් පරිණත වූ කම්කරු පංතියක අවශ්‍යතාව අවධාරණය කිරීම සහ ඒ කරා කම්කරු පංතිය අවබෝධයකින් යුතුව මෙහෙයවීමේ වැඩපිළිවෙළ කෙරෙහි රෝසා ක්‍රියාකාරීව දායක වූවාය. මාක්ස්, එංගල්ස්, ලෙනින් හා ට්‍රොට්ස්කි අනුව යමින් රෝසා පූර්ණ විශ්වාසය තැබුවේ චපල, වැනෙන මධ්‍යම පංතිය කෙරෙහි නොව විප්ලවීය ක්‍රය ශක්තියෙන් සැපිරුණු කම්කරු පංතිය කෙරෙහි පමණි. රෝසා හා ලෙනින් ප්‍රමුඛ සැබෑ වාමාංශිකයෝ තම අධිරාජ්‍යවාදී යුධ විරෝධී ස්ථාවරයෙහි නොසෙල්වී සිටියෝය. රෝසා තම මිතුරා වූ කාල්ලීබ්නෙක්ට් හා මිතුරිය වූ ක්ලාරා සෙට්කින් සමග එකතුව යුධ විරෝධී අරගලය ඉදිරියටම ගෙන ගියාය.


පළමුවෙනි ලෝක යුද්ධය 1918 අවසන් කිරීමට රෝසාගෙන් ලැබුණු දායකත්වය ඉතිහාසය අමතක නොකරනු ඇත. රෝසා ලක්සම්බර්ග් නම්වූ වීරෝදාර කාන්තාව පිළිබඳව බර්ටෝල් බ්‍රෙෂ්ට් මෙසේ ලියා ඇත. “ධනපතියන් ඔබ නසා දැමූහ. නිර්ධනයන් හා ජීවිතය ගැන කියා දුන් නිසා දැන් ඉතින් ඒ රතු රෝස මල අතුරුදන්.”

 

 

එම්. තාරික් 
ඡායාරූප අන්තර්ජාලයෙනි