යහපාලන ආණ්ඩුවේ රාජ්‍ය අමාත්‍ය පදවියක් හොබවන රන්ජන් රාමනායක භික්ෂු සමාජය ගැන කරන ලදැයි කියන ප්‍රකාශයක් පිළිබඳව ලොකු කලබගෑනියක් හටගෙන තිබේ. ඔහු එම ප්‍රකාශය මගින් මෙරට භික්ෂු සමාජය දැඩි විවේචනයට ලක්කර ඇත. “යූ ටියුබ්” මාධ්‍ය ඔස්සේ සාකච්ඡාවකට සහභාගී වෙමින් රන්ජන් රාමනායක විසින් කරන ලද ප්‍රකාශය වැරැදීමක් හෝ වැරදි අර්ථ දැක්වීමක් නොව ඔහු විසින් පුවත් මැවීමට හෝ “පොරක් වීම” සඳහා කරන ලද්දක් සේ සමාජයේ කතාබහට ලක්ව ඇත.
ඔහු මහජන නියෝජිතයෙකි. මහජන නියෝජිතයකු වන්නට පෙර හෙතෙම ශ්‍රී ලාංකික සමාජයේ සාමාජිකයෙකි. නළුවෙකි. ප්‍රකට චරිතයකි. මෙවන් අයට සමහරුන් කියන්නේ ජනමත ප්‍රධානීන් කියාය. ජනමත ප්‍රධානියකු මහජන නියෝජිතයකු වනවිට ඔහු හැසිරිය යුත්තේ සංයමයෙනි. එහෙත් රන්ජන් රාමනායක තවත් වරක් හැසිරී ඇත්තේ සමාජයේ විවේචනයට ලක්වන ආකාරයටය.
මෙවන් සංඝයාවහන්සේලාගෙන් ආණ්ඩුව කරන හැටි ගැන දේශපාලන ලොක්කන් උපදෙස් ගන්නේ ඇයිදැයි ඔහු ප්‍රශ්න කර ඇත. මේ කතාවට මාධ්‍ය ප්‍රචාරයක් ලැබීමෙන් රන්ජන් තෙමේගේ ප්‍රචාරක අරමුණ නම් ඉටු වී ඇත. එහෙත් දේශපාලනඥයකු වශයෙන් මෙන්ම මෙරට සමාජයේ සාමාජිකයකු ලෙස රන්ජන් මෙරට බහුතර දේශපාලනඥයන්ගේත් බෞද්ධ අබෞද්ධ යහපත් සමාජයේත් විවේචනයට පාත්‍රවී තිබේ. ඔහුට ඒ ගැන සතුටක් තිබෙන්නට පිළිවන. මෙම ප්‍රකාශයෙන් අපහසුතාවට පත් රන්ජන් නියෝජනය කරන එ.ජා.පයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඔහුගෙන් කරුණු විමසූ විට සහ අමාත්‍යවරුන් ගණනාවක්ම ඔහුට භික්ෂූන්වහන්සේලාගෙන් සමාව ගන්නා ලෙස දැන්වූ විට ලබාදුන් පිළිතුරෙන් පෙනී යන්නේ රන්ජන් තමාගේ ප්‍රකාශය ගැන එතරම් තැකීමක් නොකරන බවයි.
භික්ෂූන්වහන්සේගෙන් සමාව ගන්නැයි කී අයට රන්ජන් දුන් පිළිතුර අනුව ඔහු කළ දේ ගැන සමාව නොගත යුතු බව පවසමින් කියා ඇත්තේ තමන් ගරුතර මහා සංඝරත්නය අපහාසයටත් නින්දාවටත් ලක්කර නොමැති බවයි. ඒ නිසා සමාව ගැනීමක් අවශ්‍ය නොවන බවද හෙතෙම ප්‍රකාශ කර ඇත. එහෙත් ඔහුගේ පක්ෂයේ නායක හා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා රන්ජන් රාමනායකගේ අදහස තරයේම ප්‍රතික්ෂේප කරන බවට විශේෂ ප්‍රකාශයක් කර තිබේ. මහා සංඝරත්නය ගැන සැමවිටම ගෞරව සම්ප්‍රයුක්තව ක්‍රියා කරන තමන්ගේත් තම පක්ෂයේත් මතය එය නොවන බවට අග්‍රාමාත්‍යවරයා කර ඇති ප්‍රකාශයෙන් ද එය ඉතා පැහැදිලිය. මේ අතර තමන් එවැනි ප්‍රකාශයක් නොකළ බවත් එම වෙබ් අඩවියට විරුද්ධව නඩු මගට යන බවත් රන්ජන් රාමනායක කියයි.
දේශපාලනඥයෝ පුවත් මවති. අතීතයේ ගාල්ලේ ඩබ්. දහනායක, පිලිප් ගුණවර්ධන, සෝමවීර චන්ද්‍රසිරි, ඒ. ජේ. රණසිංහ ආදීහු විවිධාකාරයේ පුවත් මවා ප්‍රසිද්ධියට පත් වූහ. එහෙත් ඒ කිසිවෙක් අපේ සංස්කෘතික උරුමයට හා සමාජ සම්මතයට විකෘති ලෙස අභියෝග කළේ නැත. කට තිබෙන ඕනෑම කෙනකුට නිෂ්ඵල වචන කතා කරන්නත් අවශ්‍යනම් කුණුහරුප කියන්නටත් පිළිවන. එහෙත් ජනමත ප්‍රධානියකු වනවිට පුවත් මවන්නට ගොස් හත්පොළේ ගාගත යුතු නැත. අතීතයේ එක් වතාවක අගමැති ධුරය දැරූ සර් ජෝන් කොතලාවල මහතා භික්ෂූන්වහන්සේගේ තට්ටයේ තාර ගාන්නට ඕනෑ යැයි කියා කරගත් හරිය දන්නෝ දනිති. ඔහු තනිවම එහි ප්‍රතිඵල භුක්ති වින්දා නම් කමක් නැත. රටට මහත් සේවාවක් කළ එක්සත් ජාතික පක්ෂය ද ආසන අටට බස්සවා ආණ්ඩුව ද නැතිකර ගත්තේය. සර් ජෝන් සමඟ සසඳන විට රන්ජන් යනු දේශපාලන පැංචෙකි. එහෙත් මෙවන් දේශපාලන පැංචන්ගේ කතා නිසා බහුතර සංඝ සමාජය එ.ජා.පය ගැන ද වපර ඇසින් බලන්නට ඉඩ තිබේ. අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ද ඔහුගෙන් මේ ගැන පැහැදිලි කිරීමක් ඉල්ලා තිබේ. ඔහු මේ සම්බන්ධයෙන් අගමැතිවරයා හමුවී සාකච්ඡා කිරීමට නියමිත බව ද වාර්තා විය.
රන්ජන් මේ ආකාරයට අධිකරණය ගැන ද පණ්ඩිත කතා කියන්නට ගොස් ප්‍රශ්න මතුකරගෙන තිබේ. නීතිය හමුවේ දැන් ඔහු පරීක්ෂාවට ලක්වෙමින් සිටී. එසේ නීතිය හමුවේ පරීක්ෂාවට ලක්වෙද්දීත් ඔහු එයින් පාඩමක් ඉගෙන ගන්නේ නැතුව සමාජය ඉදිරියේ පරීක්ෂාවට භාජන වන තැනට කරුණු සලසාගෙන ඇත. ඔහු හැප්පුණේ සමාජයේ වැරැදි පිරිසක් සමඟය. හොඳ බෞද්ධයකුවත් හොඳ කතෝලිකයකුවත් හොඳ ඉස්ලාම් භක්තිකයකුවත් අන්‍යාගමිකයකුවත් තමන්ගේ ආගමික නායකයන්ට අපහාස උපහාස කරනවා දකින්නට අසන්නට කැමති නැත. ඒ අයට සමාජ සම්මත ගෞරවයක් තිබේ. ඒ ගෞරවය හා භක්තිය ප්‍රශ්න කරන්නට යායුතු නැත.
තමන් මහජන සේවකයකු යැයි ද කියන රන්ජන් රාමනායක තෙමේ නළුවකු ලෙස කිසියම් නමක් දිනා සිටින්නෙකි. එහෙත් අන්‍යයන්ට අපහාස උපහාස කර රටේ ගෞරවපූර්වක සංස්ථාවක් සමච්චලයට ලක්කොට කැපී පෙනෙන්නට ගියහොත් රන්ජන්ට ඇඩ්‍රස් නැතිවන බව කියනුම වටී. දැනටමත් ඒ සීමාවට ඔහු පැමිණ තිබේ. එක් පැත්තකින් ඔහු අධිකරණය හමුවේද ගැටලුකාරී තත්ත්වයකට මුහුණ දී සිටී. අනෙක් පසින් මහා සංඝරත්නය ගැන කළැයි කියන ප්‍රකාශයකින් අවැඩක් කරගෙන තිබේ.
රන්ජන් රාමනායක දේශපාලකයකු වශයෙන් කරන කියන කතාවලදී පරිස්සම් විය යුතුය. ඔහු දේශපාලන වශයෙන් අමාරුවේ වැටුණාට කාටවත් කම් නැත. එහෙත් ඔහු නියෝජනය කරන පක්ෂයට ද ඔහුගේ මේ කතා වාතයක් වී ඇති බව අගමැතිතුමාටම රන්ජන්ගේ කතාව ප්‍රතික්ෂේප කරන්නට සිදුවීමෙන් පෙනේ. ඒ ගැන රන්ජන්ට දැන් කළ හැකි කාරණා කිහිපයක් සිහිපත් කර දෙනු කැමැත්තෙමු. ඉන් පළමුවැන්න දැන්වත් කට පරිස්සම් කර ගැනීමයි. දෙවැන්න ඔහු අදහන ආගමේ හැටියට පව් සමාකර ගැනීමයි. යමෙකු අතින් වරදක් සිදු වූ විට එයට සමාව භජනය කරන්නේ නම් සමාව දීම බෞද්ධයන්ගේ උතුම් ගතියකි. ඒ නිසා රන්ජන් රාජ්‍ය අමාත්‍ය තෙමේ නිහතමානීවී දැන්වත් ඔහු අතින් සිදු වූ වරදට සමාව භජනය කළ යුතුය. නොඑසේව ඔහු කියන ලද කතාව තහවුරු කරන්නට තව තවත් උත්සාහ කළහොත් සිදුවන්නේ සමාජ අගෞරවයට පාත්‍රව දේශපාලනයේ අවලංගු කාසියක් වීමටයි. ඒ සඳහා ඉඩහසර ලැබෙන ලබන වසර මහා මැතිවරණ වසර බව ද සිහිකටයුතුය.
COMMENTS
දේශපාලනඥයින්ගේ ඒකම අභිප්‍රාය වඩ වඩාත් ප්‍රසිද්ධ වීමයි. රන්ජන් මන්ත්‍රීතුමා අවංකවම මෙවැනි ප්‍රකාශ වරින් වර කරන්නේ තම ප්‍රසිද්ධිය ප්‍රවර්ධනයට මිසක් කිසිවෙකුට හිංසා අපහාස කරන්න නම් නොවෙයි. එවැනි ශුන්‍ය ප්‍රකාශ අලලා ඒවා විශ්ලේෂණය කරන අයයි ඇත්තම තමයි... මොළය පරීක්ෂා කර ගත යුත්තේ.
තමා කලයි කියන ප්‍රකාශයක් පිලිබඳ සමාජ මාධ්‍ය වාර්තාවක් ප්‍රතික්ෂේප කරන රන්ජන්, පළකර ඇත්තේ විකුර්ති කරන ලද ප්‍රකාශයක් බව කියයි. එහෙත් ප්‍රසිද්ධ මාධ්‍ය හා බහුතර සංඝ සමාජය කිසිදු පරීක්ෂණයකින් තොරව ඔහු වැරදිකරුවෙක් කොට හමාරය. හැමෝම ඉල්ලන සාධාරණය යුක්තිය කෝ? සමාජ මාධ්‍යකරුවා නිවැරදියයි තීරණය කර රන්ජන් කියන දේ ප්‍රතික්ෂේප කරන්නේ කවර නම් නීතිමය රාමුවක් තුලද ? පුජක සමාජය තුල අකටයුතු කෙරේනම් අපාගත වීමේ බිය මිනිසා තුල ඇතිකළේ ශිෂ්ට ලෝකය ඇතිවුනද පටන්ය. දැන් එය අත්අඩංගුවට පත්වීමේ බියද ගෙන දෙන්නක් වන පාට පෙනේ.
රන්ජන් කියන කතාව හරි
මොහු දේශපාලන පැංචෙක් නොව දේශපාලන කිරිපණුවෙකි.
මෙයාට ඒලෙවල් කරන්න කලින් පහේ ශිෂ්‍යත්වය කරන්න කියන්න
පාදඩ පාලකයන් මවලා දීපු සිහින ලෝකවල ජීවත් වෙන අපේ රටේ ගොඩක් දෙනෙකුට රන්ජන් රාමනායක කියන දේවල් ඇලජික් වෙන්න පුළුවන්. ඇත්ත ඇති සැටියෙන් කෙලින් කතා කරලා අපේ අයට පුරුදු නෑ. එ්කට හේතුව සත්‍ය පෙනී පෙනී බොරුව ඇදහීමයි. නමුත් පටු දේශපාලන වාසි නොතකා ඇත්ත කතා කරන සමාජයක නම් රන්ජන් රාමනායක සත්‍යවාදියෙක් ලෙස පිලිගනීවි. පිළිගෙන ඔහු පෙන්වාදෙන ගැටලුවට විසඳුම් සොයාවි. නමුත් මේ රටේ එවැනි දෙයක් බලාපොරොත්තු විය නොහැකියි.
රෝගය පිළිබඳ දන්වාදුන් දොස්තරට බනින එක නවත්වලා ඉදිරිපත් වෙලා තියෙන පරික්ෂණ වාර්තාවන් සලකාබලා රෝගයට ප්‍රතිකාර කලානම් වඩා හොඳයි නේද
රන්ජන් ගැන විශ්ලේෂණය කරලා.. ඒත් ඇයි එයාගේ කතාවෙන් කියැවෙන කරුණු විශ්ලේෂණය කරන්නේ නැත්තේ... ඒවා ඇත්ත වුණත් දැක්කේ නැතිවිදියට ඉන්න ඕනනිසාද..?
රන්ජන්ගේ පිහිටෙන් අද මාධ්‍ය හොඳට හම්බකරනවා. ඡන්ද නැති දේශපාලකයෝ හොඳට ලකුණු දාගනන්වා.
අධිකරණ පද්ධතිය සහ සංග සමාජය ගැන රන්ජන්ගේ කතාවේ යම් ඇත්තක් තියෙනවා. මෙම සමාජ සංස්ථා දෙකෙහිම සුළු පිරිසක් සම්බන්දයෙන් මෙම කතා සත්‍යයි. වරද මෙම කිහිපදෙනෙකුට අදාල සත්‍ය සියළුදෙනා සම්බන්දයෙන් සාමාන්‍යකරණය කිරීමට යාමයි.
එක එක පෞද්ගලික හේතු මත සත්‍ය පිළිගැනීමට මිනිස්ස්සු අකමැති උනත් මේවා සත්‍ය බව ඔවුන්ගේ සිත් දනී.
රන්ජන් ගේ කතාවෙන් කියැවෙන කරුණු විශ්ලේෂණය කරන්නේ නැත්තේ ?... ඒවා ඇත්ත වුණත් දැක්කේ නැතිවිදියට ඉන්න ඕන නිසාද..?
හිතට එකඟව අද බොහෝ භික්ෂුන්ට වැඳ නමස්කාර කළහැකිද? හිතට එකඟව වැඳ නමස්කාර කිරීමට භික්ෂුන් වහන්සේලා දකින්නට රාමනායක මහතා උත්සාහ දරනවා වෙන්නට පුළුවන. කුණු ගොඩක් වී ඇති ශ්‍රිලංකාවේ දේශපාලනය අද දුඟද හමන තරමට පත්වී ඇත්තේද වාසියට කුණු ඉවත් නොවීමයි. බුදුන් වහන්සේගේ උතුම් ධර්මයත් අපි ඒ තත්ත්වයට පත්වීමට ඉඩහරිමුද? සත්‍ය දකින පුද්ගලයා වැරදි කරුවෙක් වෙන්නේ මොන ධර්මයකද?