IMG-LOGO

2025 ජනවාරි මස 22 වන බදාදා


පිළිතුරු සොයා ගිහින් ගැටළු ළංකර ගැනීම

විජේරාම පාරේ පිහිටි මහින්ද රාජපක්ෂ මහතාගේ නිවසේදී ඔහු හා ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයින් අතර හමුවක් පැවැත්විණ. වත්මන් ආර්ථික අර්බුදය විසඳීම සඳහා ගැනීමට සුදුසු ඕනෑම තීන්දුවක් හෝ පියවරක් ගැනීමේ බලය රාජපක්ෂ වෙත පැවරීමට ඔවුහු ඒකමතිකව එකඟ වූහ.

මෙයත් සමග ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සහ ඒකාබද්ධ විපක්ෂයේ කැමැත්ත තමා අනාගතයේදී ගැනීමට යන තීරණ අරබයා දිනාගැනීමට මහින්ද රාජපක්ෂ මහතා සමත්ව ඇතත්, ජනපති සිරිසේන මහතා සමග එකඟතාවයක් ඇති කරගැනීම සඳහා ඉතාම දිගු ගමනක් යෑමට තිබේ.

මෛත්‍රී - මහින්ද හමුව ගෙවුණු ඉරිදා දිනයේ එක්සත් ජාතික පක්ෂ සාමාජිකයන් අතර ද කතාබහට ලක්වූ මාතෘකාවක් විය. 

එදින උදැෑසනම අගමැති වික්‍රමසිංහ මහතා ලන්ඩනයේ සිට ජනපති සිරිසේන මහතාව දුරකතනය ඔස්සේ ඇමතුවේය. නෝර්වේ රාජ්‍යයේ යෙදුණු නිල සංචාරයෙන් පසු ඔහුලන්ඩන් නුවරට පැමිණියා පමණි. මෙවැනි සාකච්ඡාවක් සදහා තුඩු දුන් හේතු පවතින්නේදැයි ඔහු ජනපතිවරයාගෙන් විමසූ බව තතු දත් ආරංචි මාර්ගයක් සඳහන් කළේය. 

සීෂෙල්ස් බලා යෙදී තිබුණු නිල සංචාරයට ප්‍රථමයෙන් එක්සත් ජාතික පක්ෂ අමාත්‍යවරුන් වන මලික් සමරවික්‍රම සහ මංගල සමරවීර යන මහත්වරු ඔහු හමුවට එනු ඇතැයි සිරිසේන මහතා සමග පැවැති දුරකතන සංවාදයේ දී වික්‍රමසිංහ මහතා කියා සිටියේ ය.

මෙම හමුව පැවැත්වීමට යොදා තිබුණේ ඉරිදා දින සන්ධ්‍යා භාගයයි. එදින නුවර සිටි මලික් සමරවික්‍රම මහතාට ගැටලුවක් පැනනැගී තිබිණ. නුවර සිට කොළඹ බලා යාමට තමාට හෙලිකොප්ටර යානයක් සූදානම් කර දිය හැකිදැයි ඔහු ශ්‍රී ලංකා ගුවන් හමුදාවෙන් විමසුවේ ය. නමුත් අයහපත් කාලගුණ තත්ත්වය නිසා ඔහු වෙනුවෙන් හෙලිකොප්ටර යානයක් සපයා දීමේ හැකියාවක් ගුවන් හමුදාවට නොතිබිණ. 

මහා මාර්ගය භාවිතා කිරීම යනු පැය 5 කට ආසන්න කාලයක රථවාහන තදබදයකට මැදිවීමට සිදුවන්නක් නිසා සමරවික්‍රම මහතා තීරණය කළේ නුවර සිට කොළඹ බලා දිවෙන නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය තෝරා ගැනීමටය. බී්‍රෆ් කේසයක් අතින් ගෙන නුවර දුම්රිය ස්ථානයට පැමිණි ඔහු කොළඹ දක්වා වන ප්‍රවේශපත්‍රයක් මිල දී ගෙන දුම්රියට ගොඩවූයේ තනිවමය. ඉතාම ඉක්මනින්ම ඔහුව මැදිරියේ සිටි මගීන් දෙදෙනෙකුගේ අවධානයට ලක්විය.

“අර ඉන්නේ මලික් නේද?” එක් අයෙක් අනෙකාගෙන් විමසුවේය.

“වෙන්න බැහැ... එයා කවදාවත් දුම්රියේ යන එකක් නැහැ. මෙයා මෙඩිකල් රෙප් (ඖෂධ ප්‍රවර්ධකයෙක්) වෙන්න ඕනේ” අනෙකා කීවේය.

දෙදෙනගේ සංවාදය හමුවේ සමරවික්‍රම මහතා තම මුහුණ තව තවත් තමන් කියවමින් සිටි ග්‍රන්ථයේ පිටු අතර සගවාගත්තේ විමසුම් ඇස්වලින් මිදීමටය. 

‘ද චැලෙන්ජස් ඔෆ් ගවර්නන්ස් ඉන් අ කම්පෙල්ක්ස් වර්ල්ඞ් (සංකීර්ණ ලෝකයක ආණ්ඩුකරනයේ අභියෝග) එහි නාමය විය. එහි කතුරවයා වූයේ සිංගප්පූරුවේ රාජ්‍ය සේවයේ හිටපු ප්‍රධානියකු වූ පීටර් හෝය. සිංගප්පූරු ප්‍රතිපත්ති අධ්‍යන ආයතනය පවත්වන ලද දේශන 4 ක තොරතුරු ඇතුළත් මෙම ග්‍රන්ථය මුද්‍රණ ද්වාරයෙන් ප්‍රසිද්ධ කැරුණේ 2017 දෙසැම්බර් මාසයේදීය.

කොළඹදී පළමුව එක්සත් ජාතික පක්ෂ සභාපති කබීර් හෂීම් මහතා මුණගැසුනු සමරවීර සහ සමරවික්‍රම දෙපළ උද්ගතව තිබෙන ගැටලු පිළිබදව සාකච්ඡා කළහ. අනතුරුව ඔවුහු ජනපති සිරිසේන මහතා හමුවිය. සාකච්ඡාවට ගැනුණු අනෙක් කරුණු අතර ජනපතිවරයා එක්සත් ජාතික පක්ෂය හා අමනාපයෙන් සිටින්නේ මන්දැයි කියාත් ඔව්හු විමසූහ. තිදෙන අතර සාකච්ඡාව පැවතියේ සුහදව හා මිත්‍රශීලීවය.

භාරකාර රජයක සාකච්ඡාවට පෙර තීරණයක් ගතයුතුව තිබූ සහ බොහෝ දෙනාගේ අවධානයට ලක්ව තිබූ කාරණා 2ක් අතුරින් එකක් වූයේ නව අගවිනිසුරුවරයෙක් පත් කිරීමයි. එය ගෙවුණු සතියේ වෙනස්ම මගක් ගත්තේය. 

වත්මන් නීතිපති ජයන්ත ජයසූරිය මහතා නව අගවිනිසුරුවරයා ලෙස පත් කළ යුතුයැයි අගමැති වික්‍රමසිංහ මහතා සිය නිර්දේශය ඉදිරිපත් කර තිබිණ. නමුත් ජනපති සිරිසේන මහතාගේ අවධානය යොමුව තිබුණේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් අතරින් ජේ්‍යෂ්ඨත්වයේ ඉහළම තැන සිටින ඊවා වනසුන්දර මහත්මියටය. 

පෙර අවස්ථාවල අනුගමනය කෙරුණු ක්‍රියාපිළිවෙත්වලට අනුව අගවිනිසුරුවරයා ලෙස පත්වීමට නියමිතව තිබූයේ මේ දෙදෙනගෙන් එක් අයෙකි. නමුත් ජනපති සිරිසේන මහතා රටේ නව අගවිනිසුරුවරයා ලෙස නම් කළේ විනිසුරු නලින් පෙරේරා මහතාවය. 

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ ජේ්‍යෂ්ඨත්වය සැළකූ විට ඔහුට හිමිවන්නේ පස්වැනි තැන වුවත්, තම තීරණය සාධාරණීකරනය කරමින් ජනපතිවරයා කියා සිටියේ පහළම තලයේ සිට ඉහළම තලය දක්වා දිවෙන විනිසුරු නලීන් පෙරේරා මහතාගේ 30 වසරකට සේවය සැළකිල්ලට ගෙන නව අගවිනිසුරුවරයා ලෙස ඔහු නම් කරන බවයි. කෙසේවුව ද, එම තීරණයට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ වැඩි ප්‍රසාදයක් හිමි නොවිණ. එහි නායකයෝ බොහෝමයක් කෝපයට පත්ව සිටියහ.

ඉතාම මූලික කරුණක් සම්බන්ධයෙන් පවා නිවැරදි තීරණයක් ගත නොහැකි ජනපතිවරයා ඊට වඩා වැඩි වැදගත්කමක් ඇති කරුණු සම්බන්ධයෙන් කෙසේ නම් තීරණ ගනු ඇතිදැයි ඔවුහු විමසූහ. ජනපතිවරයාගේ නිර්දේශය එක්සත් ජාතික පක්ෂයද පිළිගත් අතර දේශපාලන පක්ෂවලට අයත් නොවන නව සාමාජිකයන් තිදෙනෙකු පත්කිරීමෙන් නැවත වතාවක් බලගැන්වුනු ව්‍යවස්ථාදායක සභාවට අවසානයේ එය ඉදිරිපත් කෙරිණ.

ජනපතිවරයා සිටියේ දැඩි පීඩනයකට ලක්වය. විවිධ ක්ෂේත්‍රවල නියෝජිතයන් සහ ඇතැම් පාර්ලිමෙන්තු මන්ත්‍රීවරුන් මෙන්ම අමාත්‍යවරුන්ද නව අගවිනිසුරුවරිය ලෙස ඊවා වනසුන්දර පත්කිරීම සම්බන්ධයෙන් ඔහු වෙත විරෝධය දක්වා තිබිණ. වෘත්තිමය විනිසුරුවරුන්ගේ සංවිධානයක් ඔහු වෙත පෙන්වා දී තිබුනේ වසර 25 ක කාලයක් නීති ක්ෂේත්‍රයේ සේවය කළ විනිසුරු පාරින්ද රණසිංහ මහතා අගවිනිසුරුවරයා ලෙස පත්කිරීමෙන් පසු ඒසා කාලයක් නීති ක්ෂේත්‍රයේ රැදී සිටි කිසිවෙක් හෝ රටේ අගවිනිසුරුවරයා ලෙස නම් කර නොමැති බවය. 

ජනපති සිරිසේන මහතා තමන් යටතේ වන නිර්දේශ දෙකක් (ඊවා වනසුන්දරද ඇතුලුව) ව්‍යවස්ථා සභාවට ඉදිරිපත් කරනු ඇතැයි අපේක්ෂා කෙරුණද ඔහු ඉදිරිපත් කළේ විනිසුරු නලින් පෙරේරා මහතාගේ නාම යෝජනාව පමණකි. නව අගවිනිසුරු ලෙස පත්වූ නලින් පෙරේරා මහතාට අගවිනිසුරුවරයා ලෙස කටයුතු කළ හැක්කේ තවත් මාස කිහිපයක් දක්වා පමණක් වන අතර අගවිනිසුරුවරයකුගේ විශ්‍රාම යාමේ වසය අවුරුදු 65න් එළැඹීම එයට හේතුවයි. ඒ අනුව ලබන වසරේ මුල් භාගයේ 65 වැනි වියට එළැඹෙනු ඇති ඔහු විශ්‍රාම යනු ඇත.

සාමාජිකයන් පුරප්පාඩු වීම නිසා අක්‍රීයව තිබූ ව්‍යවස්ථාදායක සභාව සිවිල් සමාජ නියෝජිතයන් තිදෙනෙකුගේ පත්කිරීම සමග නැවත ව්‍යවස්ථාපිත කර තිබුනේ ඊට දින කිහිපයකට පෙරය. විශ්‍රාමික රාජ්‍ය තාන්ත්‍රිකයකු වන ජයන්ත ධනපාල, තානාපති ජාවිඞ් යූසුෂ් සහ නීති කථිකාචාර්ය නාගනාදන් සෙල්වකුමාරන් යන මහත්වරු ඔවුහු වූහ. පැහැදිලි බහුතරයක් තිබූ අවස්ථාවක ව්‍යවස්ථා කවුන්සියලේ සාමාජිකයෝ සියලු දෙන නව අගවිනිසුරු ලෙස පත්කිරීම සදහා ඉදිරිපත් වුනු නලින් පෙරේරා මහතාගේ නාම යෝජනාව ඒකමතිකව පිළිගත්හ. 

සිකුරාදා රැයේ ඔහු ජනපති සිරිසේන මහතා ඉදිරියේ දිව්රුම් දුන්නේය. අගමැති වික්‍රමසිංහ මහතාද ඔහුට පක්ෂව මනාපය ලබාදුන්නේය. 
සාමාජිකයෝ වුවද, ව්‍යවස්ථා කවුන්සිලයට පැමිණ නොසිටියෝ වූයේ බිමල් රත්නායක මහතා (වියට්නාමයේ සිටි නිසා ඔහු වෙනුවට ජනතා විමුක්ති පෙරමුණ විජිත හේරත් මහතා සම්බන්ධ කර තිබිණ), චමල් රාජපක්ෂ මහතා (ජපානයේ සිටි නිසා ඔහු වෙනුවට ජෝන් සෙනෙවිරත්න මහතා සහභාගීව සිටියේය), මහින්ද සමරසිංහ මහතා (චීනයේ සිටි නිසා ඔහු වෙනුවට පාඨළී චම්පික රණවක මහතා සහභාගීව සිටියේය) සහ අධිකරණ ඇමැතිනී තලතා අතුකෝරළ මහත්මියයි. ජයන්ත ධනපාල මහතාද සිටියේ චීනයේය. ජනපති සිරිසේන මහතා ඉදිරිපත් කර තිබෙන නාම යෝජනාව තමන් පිළිගන්නා බව සමරසිංහ මහතා කතානායක කරූ ජයසූරිය මහතාට ලියා දන්වා තිබිණ.

නම සදහන් කිරීමට අකමැති වූ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ප්‍රබලයෙක් මේ සම්බන්ධයෙන් සන්ඬේ ටයිම්ස් හා අදහස් දැක්වූයේ මෙළෙසය.

“අගවිනිසුරුවරයා පත් කිරීම සම්බන්ධයෙන් අපි ගැටලුවක් ඇති කරන්නේ නැහැ. දැනට අපට ඒ ගැන ගැටළුවක් නැති වුනත් වැඩි කැමැත්තකුත් නැහැ”

අගවිනිසුරුවරයා පත් කිරීම සදහා ව්‍යවස්ථා කවුන්සිලයට නාම යෝජනාව ඉදිරිපත් කිරීමෙහිලා ඒකාබද්ධ විපක්ෂයේ අදහස් විමසීමක් සිදුකෙරුනේදැයි විමසූ විට...“කොහෙත්ම නැහැ.ඒක ජනපතිවරයාට අයිති දෙයක්” යැයි ඔහු කීවේ ය.

නමුත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ඉහළම තලයේ ඇතැමෙකුගේ අදහස වන්නේ ජනපති සිරිසේන මහතා දැනටමත් ඔහුගේ වචනයට පිටින් කටයුතු කරමින් සිටින බවය.

බොහෝ දෙනාගේ අවධානය යොමුව තිබෙන්නේ වත්මන් පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා වෙතටය. ඔහුතම ඉල්ලා අස්වන ලිපිය භාරදෙනු ඇති බවට වාර්තා පළව ඇතත් එවැන්නක් නිල වශයෙන් තහවුරු කර නොමැත. 

ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සහ ජනපති ආරක්ෂක අංශයේ හිටපු ප්‍රධානී එස්.එම්.වික්‍රමසිංහ මහතා නව පොලිස්පතිවරයා ලෙස පත්කෙරෙනු ඇති බවට බලවත් ඉඟි මේ වන විටත් පළව තිබේ. දකුණු කොරියාවේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස පිරිනැමුනු පත්වීමක් ප්‍රතික්ෂේප කිරීමට ජයසුන්දර මහතා කටයුතු කළ බව ජනපති කාර්යාලයේ ආරංචි මාර්ග සදහන් කළේය.

මේ අතර එක්සත් ජාතික පක්ෂයේ ඇතැම් කණ්ඩායම් ඔහුගෙන් ඉල්ලා සිට ඇත්තේ තනතුරේ දිගටම රැඳෙමින් සටන් වදින ලෙසය. 
පොලිස්පතිවරයා ඉවත් කිරීමට ජනපති සිරිසේන මහතා අපොහොසත් වන්නේ නම් එය මේ දක්වා ඔහු හිටපු ජනපති රාජපක්ෂ මහතා සමග පැවැති සාකච්ඡාවල ප්‍රගතිය අනතුරේ හෙළන්නක් වනු ඇත. එවැන්නක් සිදුවීම යනු ඔහු තවදුරටත් තනි වීම පමණක් නොව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේද කෝපයට නතු වීමය. එක්සත් ජාතික පක්ෂය, ඒකාබද්ධ විපක්ෂය සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේද ඉලක්කයක් බවට පත්වීමය. 

ජනපති සිරිසේන මහතා හමුවේ තිබෙන අර්බුදය එයයි.

භාරකාර රජයක් පිහිටුවීමෙහිලා අවංකව කටයුතු කරන බව පෙන්වීමට සති දෙකක කාලයක් ජනපතිවරයාට ලබාදීමට සූදානම් බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මුල් පෙල ආරංචි මාර්ගයක් සදහන් කළේ ය.

ජනපතිවරයා සීෂෙල්ස්හි නිල සංචාරයක නිරතව සිටි බැවින්ද අගමැතිවරයා බි්‍රතාන්‍යයේ සිටි බැවින්ද ගෙවුනු සතියේ පුරා දිනයක කාලයක් ශ්‍රී ලංකාව පැවතියේ රට පාලනය කිරීමට නායකයකු නොමැතිවය. දෙදෙන නොමැති අවස්ථාවක එම තැන ගත යුත්තේ කතානායකවරයා වුවත් ඔහුට එවැන්නක් සම්බන්ධයෙන් දැනුම්වත් කිරීමක් කර නොතිබිණ.

ඉදිරියටත් එවැනි අවස්ථාවන් සනිටුහන් වන ලකුණු පෙනෙන්නට ඇත. පෝලන්තයේ සංචාරයක නිරත වීමට නියමිත ජනපති සිරිසේන මහතා නැවත කොළඹට පැමිණි වහාම චීනය බලා පිටත්ව යනු ඇත. බොහෝවිට ඔහුට නොවැම්බර් මස 5 වැනිදාට යෙදී තිබෙන අයවැය කතාව මඟහැරීමට ඉඩ තිබේ. මේ අතර අගමැතිවරයා ඉන්දියාවේ සංචාරයක නිරත වීමටද නියමිතය.

මෛත්‍රී - මහින්ද සංවාදය ඉදිරියට යනු ඇත්තේ ඉටු කරන බවට තමන් පවසා සිටි දේ කොපමණ දුරකට ඉටු කිරීමට ජනපති සිරිසේන මහතා කටයුතු කරනු ඇතිදැයි යන්න මතය. එය කණපිට හැරුණහොත් ජනපතිවරයාට සිදුවන හානිය බරපතලය. නමුත් රාජපක්ෂ මහතාට අත්වන්නේ පැහැදිලි වාසියකි.

රට බේරා ගැනීමට තමා මිත්‍රත්වයේ දැෑත දිගු කළ බවත් නමුත් කිසිවෙකුත් එය පිළිනොගත් බව පවසා සිට මෙම සමස්ථ පරිච්ඡේදයම ඔහුට වාසි වන ලෙස වසා දැමීමට රාජපක්ෂ මහතාට අවස්ථාව තිබේ. නමුත් අහෝ, තමන්ගේ වුවමනාවට රාජපක්ෂ මහතා හමුවට ගිය ජනපති සිරිසේන මහතාට අවසානයේ ලැබෙනු ඇත්තේ පිළිතුරු නොව, නව ගැටලු ගොන්නකි.

 



අදහස් (0)

පිළිතුරු සොයා ගිහින් ගැටළු ළංකර ගැනීම

ඔබේ අදහස් එවන්න

 

 

කොලම

වාහන ආනයනයේ වාසි - අවාසි
2025 ජනවාරි මස 20 684 1

තීරණාත්මක ආර්ථික අභියෝගවලට මුහුණ දීම සඳහා ශ්‍රී ලංකාව වාහන ආනයන තහනම හඳුන්වා දෙන ලදි. විදේශ මුදල් අර්බුදය සහ වර්ධනය වෙමින් පැවැති ණය ගැටලු මධ්‍යයේ ක්‍


දවස් සියයේ විපරමක්
2025 ජනවාරි මස 17 394 0

වත්මන් ආණ්ඩුව බලයට පත්වී දින සියයක් ගතවී හමාරය. මේ කාලයේ ප්‍රගතිය පිළිබඳව විවිධ සාකච්ඡා මේ දිනවල මතු වෙමින් තිබේ. ඒවා අතරින් වැඩියෙන් තියෙන්නේ ආණ්ඩුව


ශ්‍රී ලංකා සංකල්පය සපලවේද?
2025 ජනවාරි මස 13 511 0

ජනාධිපති අනුර කුමාර දිසානායක සිය රජයේ වඩාත් වැදගත් ව්‍යාපෘතිය වූ “පිරිසුදු ශ්‍රී ලංකාවක්” වැඩසටහන 2025 වසර ආරම්භයේ දියත් කරනු ලැබුවේ, ජනාධිපති ලේකම් කර


එක රැයේ තීන්දුවෙන් අසරණවීම
2025 ජනවාරි මස 10 1114 16

ආණ්ඩුව රටට දැනෙන යමක් කිරීමේ දැඩි අවශ්‍යතාවකින් පෙළෙන බව පෙනේ. ඒ, සාමාන්‍යයෙන් අලු‍තින් පත් වූ ඕනෑම ආණ්ඩුවක ස්වභාවයයි. විශේෂයෙන්ම මාලිමා ආණ්ඩුව පත් වූ


ආර්ථික අභියෝග ජය මාර්ග
2025 ජනවාරි මස 06 240 0

2024 වර්ෂය ආර්ථික ජයග්‍රහණ ගණනාවක් අත්කරගත් වසරක් ලෙස සැලකිය හැකි වේ. ඒ මන්ද යත් ඊට වසර දෙකකට මත්තෙන් ලාංකික ඉතිහාසයේ මුහුණ දුන් දරුණුතම ආර්ථික අර්බුදය හ


සත්‍යය වටා ඒකරාශිවීමේ අවශ්‍යතාව
2025 ජනවාරි මස 03 391 2

මෙවර මා ලියන්නේ නව වසරේ පළමු කිවිදා දැක්මය. 2024 වර්ෂය රටේ පාලනයේ බරපතළ වෙනසක් සිදු වූ වසරකි. රටේ පාලන බලය රැක ගැනීමට එවකට බලයේ සිටි SLPP + UNP ආණ්ඩුවට හැකියාවක්


මේවාටත් කැමතිවනු ඇති

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 468 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 625 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 345 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

Our Group Site